පොලිස් නිලධාරියෙක් කාන්තාවක් පැහැරගෙන ගියා ද? / රාජකාරී කාලසීමාව තුළ බීමතින් නිදා සිටි පොලිස් නිලධාරීන්ට මොකද වුණේ ? 

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පොලිස් නිල ඇඳුමක් සහිත පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයෙක් දිවා කාලයේ තරුණියක් වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ වීඩියෝවක් සංසරණය වන අතර ඒ පිළිබඳව විවිධ අදහස් දක්වමින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් විවිධ තොරතුරු විමසීම් සිදුකර තිබුණා. එමෙන් ම අපගෙන් ද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ලැබුණු ඉල්ලීම් ද මත එම වීඩියෝව පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. 

එමෙන් ම පොලිස් නිල ඇඳුමෙන් මත්පැන් පානය කර යම් ස්ථානයක නිදාසිටින පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් ද මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන බැවින් අප ඒ පිළීබඳව ද කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Claim 01 :

පොලිස් නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයෙක් කාන්තාවක් වාහනයකින් පැහැරගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ මේ අයුරින්.

එම වීඩියෝව පළ කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් සටහනක් එක්කර තිබූ අතර එහි සඳහන් වන්නේ, මහ දවාලේ කාන්තාවන් පැහැරගෙන යනු ලබන අතර, මෙවර එය පොලිස් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් විසින් සිදු කර ඇති බවක්. මෙය බරපතල ආරක්ෂක ගැටළුවක් වන අතර ක්‍රියාමාර්ග අවශ්‍ය වන බවත් එහි සඳහන්වනවා.

මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ ද සංසරණය වී තිබුණේ මේ අයුරින්.

කෙසේ වෙතත් මෙම වීඩියෝ වෙත දක්වා තිබූ අදහස්වලින් මෙම සිදුවීම ලංකාවේ සිදුවීමක් ද?, කුමන ප්‍රදේශයක සිදුවීමක් ද යන්න පිළිබඳව අදහස් දක්වා තිබුණු අතර අප ඒ පිළිබඳව විමසා බැලීමක් සිදුකරනු ලැබුවා.

Claim 2 :

පොලිස් නිලධාරියෙක් යම් කමාරයක් තුළ නිදාසිටින අතර තුර එම ස්ථානයට පැමිණෙන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් එම නිදාසිටින නිලදාරියාව ඔසවාගෙන පොලිස් ජීප් රථයක් වෙත යන  වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර පොලිස් නිල ඇඳුමෙන් නිදාසිටි පොලිස් නිලධාරියා බීමත්ව සිටින බව පෙනී යනවා.

එම වීඩියෝව පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

Claim 01 :

මෙලෙස දිවා කාලයේ කාන්තාවක් පැහැරගෙන යාමක් සිදුවී තිබේ ද යන්න පිළිබඳ පරීක්ශා කිරීමේදී අප පළමුව මාධ්‍ය වාර්තා දෙස අවදානය යොමු කළ අතර එහිදී මෙම සිදුවීම ප්‍රධාන මාධ්‍ය තුළ වාර්තා කර ඇති බව අපට දැකගත හැකිවුණා. ඒ අනුව එම මාධ්‍ය වාර්තා කිරීම් මෙතනින්,මෙතනින් සහ මෙතනින්.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය

ඒ අනුව මෙය ලංකාවේ වූ සිදුවීමකි. අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා පොලීස් මාධ්‍ය ඒකකයෙන් ද විමසීමක් සිදුකළ අතර ඒ අනුව මෙම සිදුවීම පසුගිය ජනවාරි 18වන දින අංක 50 , කල්‍යාණි පාර, වැල්ලවත්ත  යන ලිපිනයේ ලංකා හොස්පිටල්  පුද්ගලික සමාගමට අයත් නේවාසිකාගාරයක් ඉදිරිපිටදී සිදුවී තිබෙන බව පොලිසිය පැවසුවා.

ලංකා හොස්පිටල් හි සේවය කරන හෙද නිලධාරිනියක් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවත්, පැහැරගෙන යාමට ඇයගේ ස්වාමි පුරුෂයා ලෙස සඳහන් අයෙක් හා තවත් දෙදෙනෙක් සම්බන්ධ වී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි පුද්ගලයා රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් සේවයෙන් තාවකාලිකව අත්හිටුවා සිටි හිටපු පොලිස් නිලධාරියෙකු බවයි. වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

පොලිස් පරීක්ෂණවලින් තවදුරටත් අනාවරණය වී ඇත්තේ පැහැරගත් පුද්ගලයින් විසින් කාන්තාවගේ මුදල් හා වටිනා භාණ්ඩ පැහැරගෙන ඇති බවත්, පසුව ඇය වැලිකඩ ප්‍රදේශයේදී අතරමං කර ඇති බවත්ය. තවද පැහැරගැනීම සඳහා යොදාගෙන ඇති වෑන් රථය කුලියට ලබාගත් එකක් බවද හෙළි වී තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ දිගටම සිදු කරමින් පවතින බව පොලීසිය පවසනවා. 

පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ පැහැරගැනීමට ලක්වූ කාන්තාව සහ හිටපු පොලිස් නිලධාරියා අඹු සැමියන් වන බවයි. නමුත් ඔවුන් වෙන් වී ජීවත් වී ඇති බවයි පොලිසියට අනාවරණය වෝ ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවත්ත පොලිසිය විසින් සිදු කරමින් පවතින බවත්, පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ දෙවන සැකකරු සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, ඔහු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් අයථා ලෙස භාවිතා කරමින් සිදු කරන අපරාධ සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

මෙම සිද්ධියෙන් පීඩාවට පත් කාන්තාවට අවශ්‍ය සියලු නීතිමය සහ මානසික උපකාර ලබා දීමට කටයුතු කර ඇති අතර, ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

ශ්‍රී ලංකා පොලිසිය ද මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ ඊයේ (22) නිල දැන්වීමක් ඔස්සේ දැනුවත් කිරීමක් සිදුකර තිබුණු අතර එහි විශේෂයෙන් සඳහන් කර තිබුණේ  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොලිස් නිලධාරියෙක් සමඟ සිදුකරන පැහැර ගැනීමක් දර්ශණය වන වීඩියෝව පොලිස් සේවය හැරගොස් සිටින වැඩ තහනමට ලක්වී සිටින පුද්ගලයෙක් බවයි. එම දැන්වීම සමඟ මෙම සිදුවීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා පොලිසිය කරුණු දැක්වීමක් සිදුකර තිබුණා. එම සබැඳිය මෙතනින්.

ඒ අනුව මෙම සිදුවීම පසුගිය 18 වන දින වැල්ලවත්ත ප්‍රදේශයේ ලංකා හොස්පිටල්  පුද්ගලික සමාගමට අයත් නේවාසිකාගාරය ඉදිරිපිට සිදු වූ සිදුවීමක් වන අතර මෙම සිදුවීම හා සම්බන්ධ පොලිස් නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයා වර්තමානයේ පොලිසියේ සේවය කරන අයෙක් නොවන අතර පොලිසියේ හිටපු වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙක් බව පැහැදිලිවනවා.

Claim 2 :

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු රාජකාරී කාලසීමාව තුළ බීමතින් නිදා සිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ, 

මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තම රාජකාරී කාලය අතරතුරදී පොලිස් සේවයට නොගැලපෙන අන්දමින් හැසිරෙමින් යම් ස්ථානයක නිදා සිටින ආකාරයේ වීඩියෝ පටයක් සංසරණය වෙමින් පවතින බවයි.

මේ පිළිබඳව පොලිස්පතිතුමාගේ දැඩි අවධානය යොමුව ඇති අතර මෙම සිදුවීමට අදාළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් තම දැඩි අප්‍රසාදය පළ කර ඇති බවය එම නිවේදනයේ සඳහන් වනවා.

මේ වන විට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයෙන් අනතුරුව මේ සඳහා වගකිව යුතු සියළුම නිලධාරීන්ට දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවද එහි සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ මෙම වීඩියෝවේ සිටින පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කළ බවයි. එම විමර්ශනයෙන් අනතුරුව මේ සඳහා වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට කටයුතු කරන බව ඔහු පවසනවා

ඒ අනුව මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුවී තිබෙන බවත්, මෙම සිදුවීමට අදාළ පොලිස් කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා දැඩි අප්‍රසාදය ද පළ කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන්  කරනවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:පොලිස් නිලධාරියෙක් කාන්තාවක් පැහැරගෙන ගියා ද? / රාජකාරී කාලසීමාව තුළ බීමතින් නිදා සිටි පොලිස් නිලධාරීන්ට මොකද වුණේ ?

Written By: Piumika Lakshani  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *