
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය දා මියන්මාරයේ ප්‍රබල භූ කම්පන තත්වයන් ඇති වූ අතර ම ඊයේ දිනයේ පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. මෙවැනි පසුබිමක් තුළ මෙරට ද සුනාමි අවදානමක් ඇති බවට ඇඟවෙන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරුවන බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“ලංකාවටත් අවදානම් තත්වයක්? මුහුදු ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් ගැන නිවේදනයක් – රතු නිවේදනයක් ! සියලු දෙනා දැනුවත් කරන්න” යනුවෙන් සඳහන් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.
එම පළ කිරීමත් සමඟ “අනතුරු ඇඟවීමක්.. ලංකාවේ ජනතාව අවදානමෙන්.. පරිස්සමෙන්!” යනුවෙන් ද සටහනක් ද තබා තිබුණේ මෙලෙසින්.
ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් අයුරින් මුහුදු ප්‍රදේශයන් ආශ්‍රිතව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේද යන්න සමබන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සාමාන්‍යයෙන් දිනපතා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කරන අතර මුහුදු ආශ්‍රිතව යම් කැළඹිලි ස්වභාවයක් හෝ මුහුදේ රළු ස්වභාවයක් හෝ ඇත්නම් එම තොරතුරු ඉදිරිපත් කරනු ඇත.
විශේෂයෙන් කාලගුණය සම්බන්ධව හෝ මුහුද ආශ්‍රිතව අවදානම් තත්වයක් පවතීනම් එය ද අනිවාර්යෙන් ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මාධ්‍ය ඔස්සේ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම කඩිනමින් සිදුකරනු ලබනවා.
ඒ අනුව පසුගිය සතියේ සිට අද (31) දක්වා කාලගුණ අවදානම් තත්වයක් සමබ්න්ධයෙන් හෝ රතු නිවේදනයක් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කිරීමක් සිදුව තිබේද යන්න අප සොයා බැලීමක් සිදුකළ අතර එහිදී මුහුද ආශ්‍රිතව කිසිඳු අවදානම් තත්වයක් හෝ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදුකර තිබුණේ නෑ.
පසුගිය 28 වන දින කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අකුණු සහ තද වැසි ඇතිවීම පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් පමණක් නිකුත් කර තිබුණු අතර එය ආපාදා කලමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ පළ කර තිබුණේ මෙලෙසින්.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා දිනපතා කලගුණය සහ මුහුදු ප්‍රදේශයේ ස්වභාවය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකරන අතර අද (31) දිනයේ ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය වාර්තා කර තිබුණේ, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බවටයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් එහි සඳහන් කර ඇත.
ඒ අනුව මුහුද ආශ්රිත කිසිඳු රතු නිවේදනයක්, අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව පැහැදිලි වනවා.
එමෙන් ම මෙරට ප්‍රධාන මාධ්‍ය විසින් හෝ මුහුද ආශ්රිත අවදානම් තත්වයක් හෝ සුනාමි අනතුරු ඇඟවීමක් සම්බන්ධ දැනුවත් කිරීමක් සිදුකර නොමැත.
වැඩිදුරටත් මේ බව තහවුරු කර ගැනීම සඳහා අප ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයෙන් ද විමසීමක් සිදුකළා.
ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය
ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයෙන් අප කළ විමසීමේදී කියා සිටියේ මෙරටට කිසිඳු සුනාමි අවදානමක් හෝ මුහුද ආශ්රිත අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බවයි. එවැනි අවදානමක් නොමැති බවත්, යම් අවදානම් තත්වයක් පවතීනම් එය අනිවාර්යෙන් පූර්ව දැනුම්දීමක් සිදුකරමින් මහජනතාව දැනුවත් කරන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනු ලබනවා.
ඊයේ (30) ටොංගා රාජ්‍යයට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම්
පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඊයේ (30) පසුකම්පන 3ක් සිදුව ඇති බව වාර්තා කරනු ලැබුවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර ඇත්තේ (USGS) එම පසුකම්පන රික්ටර් මාපක 6.1ක්, 4.9ක් සහ 5.8ක් වශයෙන් වාර්තා වී ඇති බවයි.
එම පසුකම්පන ඇතිවීමට පැය කිහිපකට පෙර රික්ටර් මාපකයේ 7.oක ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවා. එහි ප්‍රභලත්වය කිලෝමීටර් 29ක් ගැඹුරින් සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, භයානක සුනාමි රළ, භූකම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300ක් පමණ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ හැකි බවටයි ඊයේ දිනයේ වාර්තා කර තිබුණේ.
කෙසේ වෙතත් පැය කිහිපයකට පසු ටොංගා රාජ්‍යයේ ආපදා කළමනාකරණ කාර්යාලය මගින් එම අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
දූපත් 171කින් සමන්විත ටොංගා හි ජනගහනය 100,000ට තරමක් වැඩි අතර, බොහෝ ජනතාව ජීවත් වන්නේ ටොංගාටාපු නම් ප්‍රධාන දූපතේය.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, මෙරට කිසිඳු සුනාමි අනතුරු ඇඟවීමක් හෝ මුහුදු රළ ඉහළ යාමක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් සිදුකර නොමැති බවයි.

Title:මුහුදු ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් ගැන රතු නිවේදනයක් නිකුත් කළා ද?
Fact Check By: Piumika LakshaniResult: False
