දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
‘අමුක ඩුමුක’ගීතය හරහා ජනප්‍රියට පත් රුක්ෂාන් සෙනුර කළුතරදී ඝාතනයට ලක් වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර මෙම පුවතේ නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“රුකා මල්ලිගේ සිරුර මැටි වලකින් හම්බෙයි” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් TikTok ඔස්සේ හුවමාරු වුණා. මෙහිදී හිරු පුවත් ඔස්සේ පළ වූ පුවතක් ලෙස පෙන්වා දෙමින් මෙම වීඩියෝව පළ කර තිබූ අතර එම පුවතින් දැක්වුණේ, පුද්ගලයෙකුට පහර දී ගෙල කපා ඝාතනය කර මළ සිරුර මැටි වලකට දැමූ සැකකරුවන් දෙදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවටගෙන ඇති බව ත්, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ගැටලුවක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවයි එහි සඳහන් වුණේ. මෙහි ඝාතනයට ලක් වූ පුද්ගලයා රුකා (රුක්ෂාන් සෙනුර) බවටයි දක්වා තිබුණේ. ඒ බවට හැඟවීමට රුක්ෂාන් සෙනුරගේ ඡායාරූපයක් ද, එම වීඩියෝවට එකතු කර තිබුණා.
මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර ඔස්සේ ද, පෙනී යන්නේ මෙම පුවත සත්‍ය පුවතක් ද, යන්න බොහෝ දෙනෙකු විමසිලිමත් වී ඇති බවයි.
මේ හේතුවෙන් අප මෙම පුවත සත්‍යය ද, යන්න පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
‘අමුක ඩුමුක’ ගීතයට නර්ථන විලාසයක් එක් කරමින් සමාජ මාධ්‍ය ජනප්‍රියත්වයට පත් වූ රුකා නැත්නම් රුක්ෂාන් සෙනුර සත්‍ය වශයෙන් ම ඝාතනය කළ බවට පුවතක් වාර්තා වී ඇත්දැයි අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළා. නමුදු එවැනි පුවතක් පළ වී ඇති බවට දැක ගන්නට නොලැබිණි.
රුක්ෂාන් සෙනුරගේ සමාජ මාධ්‍ය ගිණුම් පිරික්සීමේදී මෙම පුවත වාර්තා වූ මැයි 30 වන දිනට පසුව එම ගිණුම් යාවත් කාලීන වී තිබූ අතර මෙම ලිපිය ලියන අද දින(ජූනි 12) සිට බැලූ විට පසුගිය ජූනි 08 වන දා තෙක් ඔහුගේ ෆේස්බුක් පිටුව යාවත් කාලීන වී තිබුණා. එමෙන් ම ඔහුගේ TikTok ගිණුම ද, පසුගිය 10 වන දා තෙක් යාවත්කාලීන කර තිබුණා.
එමෙන් ම ඉහත TikTok වීඩියෝවේ හිරු පුවත් වල පළ වී තිබූ පුවතක් ලෙසට දක්වා තිබූ බැවින් අප එම මාධ්‍ය හරහා මෙම පුවත පරීක්ෂා කරනු ලැබුවා.
ඒ අනුව අපට දැක ගන්නට ලැබුණේ පසුගිය මැයි 30 වන දා වාර්තා කර තීබු පුවතක දැක්වුණේ, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් පුද්ගලයෙකුට පහර දී ගෙල කපා ඝාතනය කර මළ සිරුර මැටි වලකට දැමූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් පුවතක් වාර්තා කර ඇතත්, එලෙසින් ඝාතනයට ලක් වූ පුද්ගලයා රුක්ෂාන් සෙනුර යනුවෙන් සඳහන් නොකරන අතර ඔහුගේ ඡායාරූපයක් හෝ පළ වී නොමැති බවක් දැක ගන්නට ලැබේ. TikTok වීඩියෝව සඳහා යොදාගෙන තිබූ හිරු පුවත් හි පළ වූ සත්‍ය වීඩියෝව පහතින්.
ඒ අනුව මෙම සත්‍ය වීඩියෝව සංස්කරණය කරමින් රුක්ෂාන් සෙනුරගේ ඡායාරූපය යොදා ගෙන ඇති බව මින් පැහැදිලි වේ.
කෙසේ වෙතත් අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා කළුතර පොලිස් ස්ථානයෙන් සහ කළුතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද, මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ, මෙලෙසින් ඝාතනයට ලක් වූ පුද්ලයා කළුතර ප්‍රදේශයේ උග්ගල්බඩ පදිංචි වයස 48ක පමණ පුද්ගලයෙක් බව ත්, මොහු පසුගිය මැයි 06 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත් වූ දින ඝාතනය කර ඇති බව ත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයා නොවන බවයි.
එමෙන් ම 2023 වසරේ Youtube නාලිකාවක වැඩසටහනකදී රුක්ෂාන් සෙනුරට වයස අවුරුදු 16ක් බව පවසන අතර ඒ අනුව ඔහුට 2025 වසර වන විට අවුරුදු 18 ක් පමණක් වන බැවින් සහ ඔහු ජීවත් වන්නේ වෙන්නප්පුව ප්‍රදේශයේ බැවින් මොහු ඉහත ඝාතනයට ලක් වූ පුද්ගලයා නොවන බව ට තවදුරටත් තහවුරු වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පුද්ගලයෙකුට පහර දී ගෙල කපා ඝාතනය කර මළ සිරුර මැටි වලකට දැමූ සැකකරුවන් දෙදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවටගෙන ඇති බව ට පළ වූ පුවතේ ඝාතනයට ලක් වී ඇත්තේ, ‘අමුක ඩුමුක’ හරහා ජනප්‍රියත්වයට පත් රුක්ෂාන් සෙනුර බවට පළ වූ පුවත් අසත්‍ය වන අතර එය සත්‍ය ලෙසින් පළ වූ පුවතක වීඩියෝවක් සංස්කරණය කරමින් නිර්මාණය කර තිබේ. මෙම සත්‍ය සිදුවීමේදී ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 48ක් පමණ වන වෙනත් පුද්ගලයෙක් බවට පොලීසිය සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තහවුරු කරයි.

Title:‘අමුක ඩුමුක’ රුකාගේ සිරුර මැටි වලකින් හමු වූ බවට ව්‍යාජ පුවතක්!
Fact Check By: Pavithra SandamaliResult: Misleading
