ඩො.මි. 2.5ක් සොරකම ගැන ජනපති ඇතුළු ඇමතිවරුන් කළ බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන අසත්‍ය සටහන් පෙළක්!

Economy False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සයිබර් හැකර්වරුන් මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරා ගැනීමේ ආන්දෝලනාත්මක පුවත මේ දිනවල රටේ ප්‍රධානතම මාතෘකාවක්. ඒ හා බැඳුණු පුවත් රැසක් සමාජ මාධ්‍ය හරහා ද සංසරණය වෙමින් පවතින අතර තහවුරු කර නොගත් සමාජය නොමග යවන සුළු ආකාරයේ පුවත් ද ඒ අතර වෙයි. මේ එලෙස සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Claim : 01 

අපෙන්  ඩො.මි. 2.5 සොරා ගත් ඕස්ට්‍රේලියානු හැකර්වරයා විසින් මහින්ද රාජපක්ෂට ඩොලර් මිලියන 2ක් ලබාදුන් චෙක්පත් අංක අප සතුයි. යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදුකර ඇතැයි පවසමින් අප්‍රේල් 22 වනදා මෙම සටහන පළ කර ඇත්තේ, newsfirst නිල ෆේස්බුක් පිටුවේ පළකරන ලද සටහනක් බවට හැඟී යන ආකාරයෙනි.  

Facebook | Archived Link

Fact Check 

ශ්‍රී ලංකා රජය 2025 සැප්තැම්බර් අගවන විට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට ණය පියවීමක් ලෙස ඉන් කොටසක් එනම් ඩොලර් මිලියන 2.5ක කොටසක් පියවා ඇති බවත් එම මුදල් අදාළ ණයකරු (රට) වෙත නොව පරිගණක හැකර්වරයෙකු හෝ(තුන්වන පාර්ශවයක්) වෙත හෝ යොමු කර ඇති බව දැන ගන්නට ඇතැයි, පවසමින් අප්‍රේල් 22 වන දා Free Lawyers සංවිධානය නිකුත් කරන ලද නිවේදනයක් පිළිබඳව මාධ්‍ය වාර්තා (මෙතැනින්, මෙතැනින්) පළ වීමත් සමග ඒ පිළිබඳව රටේ ම අවධානය යොමු වුණා. 

නිව්ස්ෆස්ට් හෝ වෙනත් මාධ්‍යයක් එවැනි පුවතක් වාර්තා කර නැහැ 

ජනාධිපතිවරයා සිදු කරන ලද බව කියන ප්‍රකාශය සහිත සටහන නිව්ස්ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ පළ වී තිබේදැයි අප පරීක්ෂා කර බැලූ අතර එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට කිසිදු සටහනක් එහි නොවී ය. තව ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ සහ නිල ෆේස්බුක් පිටුවේ  පළ කරන ලද සටහන්වල දිනය යොදා ඇති ස්ථාන මෙන්ම වරණයන්හි ද වෙනස්කම් කිහිපයක් පහත පරිදි නිරීක්ෂණය කළ හැකි විය. 

මේ අතර නිව්ස් ෆස්ට් ඩිජිටල් අංශයේ සහකාර කළමනාකාරු ද අප වෙත තහවුරු කර සිටියේ,  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ සටහනක් නිව්ස් ෆස්ට් නිල පිටුවේ පළ කර නොමැති බවයි. ප්‍රධාන ධාරාවේ පිළිගත් වෙනත් කිසිදු මාධ්‍යක් විසින් හෝ ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට වන කිසිදු පුවත් වාර්තාවක් හමු නොවිය. 

ජනාධිපති මාධ්‍ය අංශය 

ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය ද  ප්‍රකාශ කළා. ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ, එය ව්‍යාජ සටහනක් බවයි. 

Claim : 02 

ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවනු ලැබිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරයෙකුගේ ගිණුමකට බැරවී ඇතැයි කියන සිදුවීමට අදාළව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිදුකරන ලදැයි කියන ප්‍රකාශ කිහිපයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. 

ඒ අතරින් පහත දැක්වෙන සටහන මගින් ප්‍රකාශ වන්නේ, ආණ්ඩුව සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයන් වැඩිදියුණු කළ නිසා මේ තරම් සුළු මුදලක් වුණත් හැකර්වරුන් අතට පත්වූ ආකාරය ඉක්මනින් දැනගත් බව නි. ආමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කළ බවයි. මෙය පළ කර ඇත්තේ, ස්වාධීන රූපවාහිනි පුවත් නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සටහනක් බවට හැඟීයන අයුරිනි. 

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ සංසරණය වන තවත් සටහනක දැක්වෙන්නේ, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් බැර කර ගත්තේ රාජපක්ෂලාගේ අනුබලය ලත් චීන හැකර්ලා බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කළ බවයි. 

Facebook | Archived Link

Fact Check 

ඒ අනුව අප මූලිකවම ආණ්ඩුව සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයන් වැඩිදියුණු කළ නිසා මේ තරම් සුළු මුදලක් වුණත් හැකර්වරුන් අතට පත්වූ ආකාරය ඉක්මනින් දැනගත් බවට නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ බව කියන ප්‍රකාශයක් සහිත සටහනක් ස්වාධීන රූපවාහිනි නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබේදැයි පරීක්ෂා කළ අතර එවැනි සටහනක් එහි පළ කර නොතිබිණ. එහෙත් නිල ගිණුමේ පළ කර තිබූ සටහනක දැක්වුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත සටහන ව්‍යාජ සටහනක්  | Archived Link බවයි. එහි වැඩිදුරටත් දැක්වෙුණේ, එය ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති සන්නාමය භාවිත කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද අසත්‍ය ප්‍රවෘත්තියක් බවයි.  

මේ අතර රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් බැර කර ගත්තේ රාජපක්ෂලාගේ අනුබලය ලත් චීන හැකර්ලා බවට නි. අමාත්‍යවරයා සිදු කන ලද ප්‍රකාශයක් පිළිබඳව ද ප්‍රධාන ධාරාවේ කිසිදු පිළිගත් මාධ්‍ය ඔස්සේ පුවතක් පළ වී නොමැති බව අප සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි විය. 

සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි – නි. ඇමති 

මේ අතර නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ, තමන් සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන සටහන් සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවයි. එම සටහන්වල අන්තර්ගතය හා සඳහන් කර ඇති තොරතුරු කිසිදු ආකාරයකින් සත්‍ය නොවන බවත් ඒවා නිල මූලාශ්‍ර මගින් නිකුත් කරන ලද තොරතුරු නොවන බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. 

Facebook | Archived Link

මේ අතර නි. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ද කියා සිටියේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල දැක්වෙන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් නි. අමාත්‍යවරයා කිසිදු අවස්ථාවකදී සිදු කර නොමැති බවයි. 

Claim : 03 

ලැබී ඇති තොරතුරු අනුව භාණ්ඩාගාර හැකර් ප්‍රහාරය සඳහා රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රෝහිත රාජපක්ෂ ඉතාම කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට බලාපොරොත්තු වන බවට අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර ඇති බව කියමින් තවත් සටහනක් පළ කර ඇත්තේ, අමාත්‍යවරයාගේ ඡායාරූපයක් ද සහිතවයි. 

Facebook | Archived Link

Fact Check 

ඔස්ට්‍රේලියානු රජයට ගෙවනු ලැබිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරයෙකුගේ ගිණුමකට බැරවීමේ ආන්දෝලාත්මක සිදුවීම පිළිබඳව රජයේ පාර්ශවයෙන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද විවිධ අදහස් පළ කරමින් සිටී. සිදුවීමට අදාළව බිමල් රත්නායක අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබුණේ නම්, එවැන්නක් ප්‍රධාන ධාරාවේ පිළිගත් මාධ්‍ය ඔස්සේ ද විකාශය විය යුතු ය. සිදුවීමට අදාළව අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට කිසිදු මාධ්‍යයක් විසින් වාර්තා කර නොමැත. 

ඒ අනුව අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් හෝ මීට සමාන වෙනත් ප්‍රකාශයක් හෝ  සිදු කළේ දැයි අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද විමසා සිටියා. ඔහු ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් එය අසත්‍ය සටහනක් බවත් ය. 

ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරයෙකුගේ ගිණුමට යොමුවී ඇතැයි කියන සිදුවීම   

මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරික වශයෙන් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරයෙකු අතට පත්වී ඇතැයි කියන සිදුවීමක් පිළිබඳ Free Lawyers සංවිධානය නිවේදනයත් සමග ඒ පිළිබඳව රටේම අවධානය යොමු වී ඇති අතර පසුගිය 22 වනදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශකවරයාගෙන් ප්‍රශ්න කළේ ය. 

එහිදී එහිදි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, අදාළ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර, විමර්ශනයක් සිදුකරනවා ද නැද්ද යන්න කතානායකවරයා විසින් තීරණය කරනු ඇති බවයි. ඒ වනවිට තමන් සතුව ඇත්තේ, අදාළ ලිපිය පමණක් බවත් ඒ පිළිබඳ වැඩි විස්තර තමන් සතුව නොමැති බවත් කැබිනට් ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළා.   

මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් 

ඉකුත් 22 වනදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එහි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් අමාත්‍යංශය නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් අදාළ ආයතන වෙත පැමිණිලි කර ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් මූලික අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදුකර, අවශ්‍ය ක්‍රියායාමාර්ග ගෙන ඇති බවත් නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්  විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එහි සඳහන් විය. තව ද මේ පිළිබඳව විමර්ශන සිදුවන බැවින් එම කටයුතුවලට බාධාවක් නොවන සේ, යාවත්කාලීන තොරතුරු, සුදුසු ඉදිරි අවස්ථාවක දී ලබා දීමට කටයුතු කරන බව  ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.   

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කරුණු පැහැදිලි කිරීම 

මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියානු මූල්‍ය අපනයන සමාගමකට ගෙවිය යුතු ණය මුදලක් හැකර්වරයෙකුගේ ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අප්‍රේල් 22 වැනිදා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ අතර ඔහු එහිදී ප්‍රකාශ කළේ,  ඔස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනයත් මහා භාණ්ඩාගාරයත් අතර මුදල් පියවීමේ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගත් ඊමේල් පණිවිඩ යාන්ත්‍රණය හැක් කර අදාළ තොරතුරු හුවමාරු කරගෙන ඇති බවයි. මේ අතර පරිගණක අපරාධකරුවන් විසින් ඉන්දියාවට ගෙවීමට නියමිතව තිබූ මුදලක් ලබා ගැනීමට මෙවැනි ආකාරයෙන් ම උත්සහ දරා ඇති බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියා. 

“අපේ නොදැනුවත්භාවයෙන් ගිය මේ ගෙවීමට අමතරව හැකර්කරුවන් විසින් තවත් මෙවැනි ආකාරයට මුදල් ලබා ගැනීමට උත්සාහ දැරීමක් සිදුකර තියෙනවා. ඒ, ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධයෙන්. ඒ අනුව සැක මතු වෙච්ච නිසා විශේෂයෙන් ගිණුම් අංක වෙනස් වන බවට දැන ගත්තු පළවෙනි මොහොතේදීම මහා භාණ්ඩාගාරය විසින් නිසි පරිදි ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයටත්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටත් දැනුවත් කළා. ඔවුන් දීර්ඝ පරීක්ෂණයක් කළා. ඒ පස්සට ගිහිල්ලා ඒ කියන්නේ ඇත්තටම ණය ප්‍රතිව්‍යූහගතකරණය කරලා නැවත ගෙවීම සිදු කිරීමේ සන්නිවේදන කටයුතු ආරම්භ කරපු තැන ඉඳල ම පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන ආවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට හොයා ගන්න පුළුවන් වුණේ ඔස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුදල මේ හැකර්කරුවන්ගේ ගිණුම්වලට ගිහිල්ලා කියලා. ඒ අනුව වහා ම නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා මේ ගැන පැමිණිල්ලක් සිදුවෙමින් යනවා”

මේ අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ සහය ලබාගනිමින් අපරාධකරුවන් අල්ලා ගැනීමට හා මුදල් අය කරගැනීමට මේ වන විට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. 

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකු ඇතුළු නිලධාරී කමිටුවක් පත්කොට සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කර හඳුනාගත් අයට නීත්‍යනුකූලව විනය පියවර ගෙන ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා. 

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ගෙවීම හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු ආයතනයකට ගෙවිය යුතු මුදලක් තෙවැනි පාර්ශ්වයක් විසින් ලබාගෙන තිබෙන බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි. 

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක් 

ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ,  ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ගෙවීම්වල අක්‍රමිකතාව පිළිබඳව මෙරට මුදල් අමාත්‍යාංශය සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යයාලය දැනුවත් බවයි. ශ්‍රී ලංකා බලධාරීන් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත් විමර්ශනයට සහය වන ඔස්ට්‍රේලියානු නිලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවත් එහි සඳහන් ය. තව ද ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයට යළි පැමිණීම කිරීම සඳහා ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සිය ගිණුමේ තබන ලද සටහනේ වැඩිදුරටත් සඳහන්ව ඇත.   

මේ අතර ආණ්ඩුවට රටේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීමට නොහැකි වී ඇති බවත් සැඟවුයේ ඇයි ද යන්නත් වගකිව යුතු පිරිස් ඉල්ලා අස්වන්නේ ද? ආදී වශයෙන් විපක්ෂය ඇතුළු විවිධ පාර්ශව රැසක් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. විපක්ෂ නායකකවරයා ප්‍රශ්න කර සිටින්නේ, අහිමිවූ වාරිකයට වන්දි ගෙවිය යුත්තේ රටේ ජනතාව ද යන්නයි?  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සයිබර් හැකර්වරුන් විසින් මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඩොලර් මිලියන 2.5ක පමණ මුදලක් සොරකම් කිරීමේ සිදුවීමට අදාළව ජනාධිපතිවරයා, අමාත්‍ය බිමල් රත්නායක සහ නි. අමාත්‍ය චතුරංග අබේසිංහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. එම ඇතැම් සටහන් පිළිගත් මාධ්‍ය නාලිකාවල නිල ලාංඡන සහ ෆේස්බුක් සටහන් ආකෘති ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද අසත්‍ය සටහන් ය. කෙසේ වෙතත් මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියානු මූල්‍ය අපනයන සමාගමකට ගෙවිය යුතු ණය මුදලක් හැකර්වරයෙකුගේ ගිණුමකට බැරවීමක් පිළිබඳ කරුණු හෙළිදරව් වී ඇති අතර රජය පවසන්නේ, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන දැනුවත් කර ඇති බවත් මේ වනවිට ඊට අදාළ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. 

Result Stamp

Title: ඩො.මි. 2.5ක් සොරකම ගැන ජනපති ඇතුළු ඇමතිවරුන් කළ බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන අසත්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sagarika Chathumali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *