නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යටතේ 10-11 ශ්‍රේණිවලදී ඉතිහාසය ඇතුළත්ව විෂයන් 14ක්! විභාගය පැවත්වෙන්නේ විෂයන් 7කටයි!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙරට පාසල් විෂය ධාරාවේ සංයුතිය හා ගුණාත්මක භාවය, කලින් කලට සමාජයේ කතිකාවත් වලට මුලපුරන මාතෘකාවක් වනවා. ළමා කළ සිට සිසුවෙකු අධ්‍යාපනය හදාරා අවසන්ව ලෝකයට විවර වන විට, ඉගෙනුම් ලැබූ විෂය ධාරා ප්‍රායෝගිකව සහ රැකියාවකට පිවිසීමට කෙතරම් ප්‍රයෝජනවත් වනවාද සහ එම විෂය ධාරා ඔස්සේ දැනුමෙන් සන්නද්ධ වූ මෙන්ම සාරධර්ම සහිත මිනිසෙකු බිහිකිරීමට කෙතරම් දුරට ඉවහල් වනවාද යන්න පිළිබඳ වාද විවාද පවතිනවා.

මෙවන් පසුබිමක කලක් තිස්සේ සාකච්ඡා වෙමින් පැවති ජාතික ජන බලවේග රජය යටතේ ක්‍රීයාත්මක කිරීමට සැලසෙන නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද මේ දිනවල සමාජයේ දැඩිකතා බහට ලක් වෙනවා.

ඒ පාසල් විෂය මාලාවෙන් ‘ඉතිහාසය’ විෂය ඉවත් කර තිබේද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් නිර්මාණය වීමත් සමගයි. මෙය සත්‍යයක් ද, යන්න අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඉතිහාස විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කර ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මෙවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

පාසල් විෂය නිර්දේශයේ සත්‍ය වශයෙන් ම ඉතිහාස විශය ඉවත් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුලි 11 වෙනිදා පාර්ලිමේන්තුවේ දී පවත්වා තිබුණා.

මෙහිදී නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක සහ අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ගෝපදේශන මූලධර්ම, නව ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යාපනයේ ප්‍රධාන වැදගත්ම කොටස් හෝ මූලික සංරචක , විෂය මාලා ප්‍රතිසංස්කරණය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සහ ගුරු පුහුණුව යන මූලික කාරණා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කළ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයේ දක්වා තිබුණා.

කෙසේ වෙතත් මෙහි දක්වා තිබුණු විෂය මාලා ප්‍රතිසංස්කරණයේ ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි ඉතිහාස විෂය අනිවාර්ය විෂයන් වලින් ඉවත් කොට ඇත්ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කරනු ලැබුවා.

අධ්‍යාපන අදියරයන් සහ එහි සිදු කරන ලද ප්‍රධාන වෙනස්කම්

පාසල් විෂය නිර්දේශ සංශෝධන යටතේ, අධ්‍යාපන අදියරයන් සහ එහි සිදු කරන ලද ප්‍රධාන වෙනස්කම් මෙසේය.

  • ජ්‍යෙෂ්ඨ ද්විතීයික අදියර 2වන අධ්‍යාපනය(Senior Secondary Phase 2 Education)

12-13 ශ්‍රේණිය : 

මොඩියුලර් සහ ක්‍රෙඩිට් පදනම් කරගත් විෂයමාලා

අධ්‍යයන ධාරා හතරක්(4) සහ කුසලතා ධාරාවක්(1)

  • ජ්‍යෙෂ්ඨ ද්විතීයික අදියර 1වන අධ්‍යාපනය(Senior Secondary Phase 1 Education)

10-11 ශ්‍රේණිය :

මොඩියුලර් සහ ක්‍රෙඩිට් පදනම් කරගත් විෂයමාලා

තේරීම් සහ අමතර අධ්‍යයන විෂයයන් සඳහා අධ්‍යාපනමය සහ කුසලතා මාර්ග දෙකම හඳුන්වාදීම

විෂයයන් 7 ක් සඳහා ජාතික මට්ටමේ තක්සේරුව

  • කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය

6-9 ශ්‍රේණිය :

මොඩියුලර් සහ ක්‍රෙඩිට් පදනම් කරගත් විෂයමාලාව

මූලික අධ්‍යයනය සහ අමතර අධ්‍යයනයන් හඳුන්වාදීම

9 ශ්‍රේණියේ නිපුණතා තක්සේරුව හඳුන්වා දීම

  • ප්‍රාථමික අධ්‍යාපනය
    1-5 ශ්‍රේණිය :

ක්‍රියාකාරකම් මූලික ඒකාබද්ධ විෂය නිර්දේශය

  • මුල් ළමාවිය අධ්‍යාපනය
    පූර්ව අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර ඇත

6-9 ශ්‍රේණියට අදාළ විෂය මාලාවේ ඉතිහාස විෂය අනිවාර්ය විෂයක්

නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණය වලට අනුව කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය යටතේ 6-9 ශ්‍රේණියට අදාළ විෂය මාලාවේ ඉතිහාසය විෂය අනිවාර්ය විෂයක් බවට දැක ගන්නට ලැබෙනවා. එනම් ඉහත සමාජ මාධ්‍ය සටහන් මෙම කාණ්ඩයේ විෂය නිර්දේශය සම්බන්ධයෙන් නොවන බවට පැහැදිලි වේ.

10-11 ශ්‍රේණිය යටතේ ඉතිහාස විෂය ඉවත් වූ බවට පළ වූ සටහන් සඳහා මුල් වූ හේතු

සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්ව ඇත්තේ, 10-11 ශ්‍රේණිය යටතේ, සමාන්‍ය මූලික විෂය නිර්දේශය අනුව අනිවාර්ය විෂය 5 ඇතුළත ඉතිහාස විෂය අයත් නොවන බව ත්, තෝරා ගන්නා විෂයකට ඉතිහාසය ඇතුළත් කර ඇති බැවින් ඉතිහාස විෂය තෝරා ගන්නා සිසුන්ට පමණක් එම විෂය හැදෑරීමට අවස්ථාව උදා කරමින් අනික් සිසුන්ට එම විෂය ඉගෙන ගැනීමට අවස්ථාව අවහිර කර ඇති බවකි.

ඒ සඳහා හේතුව වූයේ මෙම වාර්තා වූ සටහන පහතින්.

මේ පිළිබඳ පරීක්ෂා කර බැලීමට 10-11 ශ්‍රේණි සඳහා අයත්වන විෂය මාලාව කුමක්ද යන්න සහ එහි ව්‍යුහය කුමක්ද යන්න පිළිබඳ අපගේ අවධානය යොමු කළා.

10-11 ශ්‍රේණියේ විෂය නිර්දේශය කාණ්ඩ 3කින්

මෙම වාර්තාවේ දක්වා තිබුණේ, 10-11 ශ්‍රේණියේ විෂය නිර්දේශය කාණ්ඩ 3කින් සමන් විත වන බවයි.

  1. 10-11 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා සමාන්‍ය මූලික විෂය නිර්දේශයට අනිවාර්ය විෂයන් 5ක් සහ තෝරා ගැනීමට විෂයන් 2ක් තිබේ.‍ ඒ සඳහා ක්‍රෙඩිට් 18ක් හිමි වේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ එම සටහන වේ. (Common Core Curriculum)

2.එමෙන් ම අමතර අධ්‍යයනයන් සඳහා සිසුන් උසස් පෙළ සඳහා තෝරා ගැනීමට බලාපොරොත්තුවන ධාරාව(ප්‍රධාන ධාරා 3) යටතේ විෂයන් 4 ක් හෝ කුසලතා අංශයේ විෂයන් 4ක් මේ සඳහා අයත් වේ. ඒ සඳහා ක්‍රෙඩිට් 14 ක් හිමි වේ.(Further Learning)

3.තීර්යක් කුසලතා(Transversal Skills) – ක්‍රෙඩිට් 3 ක් හිමි වේ.

(නිශ්චිත විෂයයකට හෝ රැකියාවකට සීමා නොවන නමුත් ජීවිතයේ, ඉගෙනීමේ සහ රැකියාවේ විවිධ ක්ෂේත්‍ර හරහා ප්‍රයෝජනවත් වන අත්‍යවශ්‍ය කුසලතා වේ. නමුත් මෙම මොඩියුලය ආරම්භ කරනු ලබන්නේ ඒවාට නිසි ලෙස සහාය වීමට ප්‍රමාණවත් පුද්ගලයින් සහ පහසුකම් ඇති විට පමණි.)

10 -11 ශ්‍රේණියේ විෂය නිර්දේශය සඳහා විෂයන් 14ක්

ඉහත කාණ්ඩ අනුව 10 -11 ශ්‍රේණියේ විෂය නිර්දේශය සඳහා විෂයන් 14ක් ඇතුළත් වේ. ඒ අනුව විෂයන් 14 සමන්විත වන්නේ මෙලෙසින්.

පළවෙනි කාණ්ඩයේ (Common Core Curriculum) අනිවාර්ය විෂයන් 5 සඳහා (Compulsory Subjects), 

  • මව් භාෂාව,ඉංග්‍රීසි භාෂාව,ගණිතය,විද්‍යාව, ආගම සහ සාරධර්ම යන විෂයන් අයත් වේ.

මෙම පළවෙනි කාණ්ඩයේම තෝරා ගැනීමට සිදුවන විෂයන් 2 සඳහා අදාළ විෂය මාලාව මෙසේය.

  • දෙවන ජාතික භාෂාව
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • ඉතිහාසය
  • පුරවැසි අධ්‍යාපනය
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • තාක්ෂණය: කෘෂිකර්ම කළමනාකරණ තාක්ෂණය,නිර්මාණ සහ ඉංජිනේරු තාක්ෂණය, ආහාර සහ පාරිභෝගික තාක්ෂණය, කලාත්මක නිෂ්පාදන තාක්ෂණය(අත්කම්, විලාසිතා, අලංකරණය, ඩිජිටල් නිර්මාණ වැනි නිෂ්පාදන සෑදීමේදී කලාව සහ නවෝත්පාදන), ජලජ ජෛව සම්පත් තාක්ෂණය
  • භූගෝල විද්‍යාව
  • සෞන්දර්ය අධ්‍යාපනය (පෙරදිග සංගීතය, බටහිර සංගීතය, කර්ණාටක සංගීතය,නැටුම්, භරත නාට්‍යම්, කලා නාට්‍ය සහ රංග කලාව)
  • ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය

ඒ අනුව පළවන කාණ්ඩයේ අනිවාර්ය විෂයන් 5 සහ තෝරා ගන්නා විෂයන් 2 ද, ඇතුළුව සම්පූර්ණ විෂයන් 7ක් සිසුවෙකුට හැදෑරීමට සිදුවේ.

දෙවන කාණ්ඩය යටතේ අමතර විෂයන් සඳහා (Further Learning)

මෙහිදී වැඩිදුර අධ්‍යනය සඳහා උසස්පෙළ අරමුණු කොට ගෙන ප්‍රධාන අංශයකින් විෂයන් 4ක්, අනිවාර්ය විෂයන් 2කින් එක්(1) කුසලතා විෂයකින් සමන් විත වේ. එනම් මේ කාණ්ඩය යටතේ විෂයන් 7ක් හැදෑරීමට සිදු වේ. 

පහත සඳහන් එක් අංශයකින් විෂයන් 4ක් තෝරා ගැනීමට සිදුවේ.

  • S T E M(විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය) අංශය 

මෙම අංශයට අදාළ විෂයන් වන්නේ,

ව්‍යවහාරික ගණිතය,ශුද්ධ ගණිතය, ජීව විද්‍යාව,රසායන විද්‍යාව, භෞතික විද්‍යාව,සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය,පරිගණක විද්‍යාව, දත්ත විද්‍යාව,කෘෂිකාර්මික විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය, ජෛව ඉංජිනේරු තාක්ෂණය,ආහාර හා පාරිභෝගික තාක්ෂණය,ගුවන්යාන අධ්‍යයනය

  • මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අංශය

මෙම අංශයට අදාළ විෂයන් වන්නේ,

භාෂාව සහ සාහිත්‍යය, මාධ්‍ය සහ සන්නිවේදනය, විදේශීය භාෂා, සම්භාව්‍ය භාෂාව, සිවිල් අධ්‍යාපනය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, දර්ශන විද්‍යාව/තර්ක ශාස්ත්‍රය, පෙරදිග සංගීතය, බටහිර සංගීතය, කර්ණාටක සංගීතය, නැටුම්, භරත නාට්‍යම්, කලා, නාට්‍ය හා රංග කලාව, සිනමා අධ්‍යයනය

  • කළමනාකරණය සහ ව්‍යවසායකත්ව අංශය

මෙම අංශයට අදාළ විෂයන් වන්නේ,

ආර්ථික විද්‍යාව,තොරතුරු සහ සන්නිවේදනය, තාක්ෂණය, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයන, ව්‍යාපාර සංඛ්‍යාලේඛන, ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය, සැපයුම් දාම කළමනාකරණය

  • කුසලතා අංශය

මෙම අංශයට අදාළ විෂයන් වන්නේ,

ඉදිකිරීම් සහ යටිතල පහසුකම්,නිර්මාණාත්මක කර්මාන්ත, ප්‍රාථමික කර්මාන්ත, සමාජ හා ප්‍රජා සේවය, නිෂ්පාදන හා තාක්ෂණය

තෙවන කාණ්ඩයේ තීර්යක් කුසලතා අධ්‍යනය සඳහා (Transversal Modules)

මෙම කාණ්ඩයට අදාළ විෂයන් වන්නේ, 

සාහිත්‍යය පිළිබඳ වටිනාකම් අවබෝධය,මාධ්‍ය අධ්‍යයනය,කර්මාන්තික අත්දැකීම්, සේවා අංශ අධ්‍යනය, ගෝලීය අධ්‍යයන,සමාජ සේවා, සෞඛ්‍ය සහ ක්‍රීඩා, ව්‍යවහාරික තාක්ෂණය, සෞන්දර්යය අගය කිරීම,චිත්‍රපට අධ්‍යයනය,වෘත්තීය සූදානම සඳහා පදනම,ඩිජිටල් පුරවැසිභාවයයි.

ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයන් 2වන කාණ්ඩය යටතේ අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි

10-11 ශ්‍රේණියේ සමාන්‍ය මූලික විෂය නිර්දේශයේ අනිවාර්ය විෂයන් 5 ඇතුළත (මව් භාෂාව,ඉංග්‍රීසි භාෂාව,ගණිතය,විද්‍යාව, ආගම සහ සාරධර්ම) ඉතිහාස විෂය අයත් නොවූවත්, විෂය නිර්දේශයේ ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයන් 2වන කාණ්ඩය යටතේ අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කර ඇති බව එම වාර්තාව පිරික්සීමේදී දැක ගන්නට ලැබේ. අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යොමු කර ඇති සම්පූර්ණ වාර්තාව මෙතනින්.

පළවෙනි කාණ්ඩය යටතේ(Common Core Curriculam) අනිවාර්ය විෂය 5 සහ එම කාණ්ඩයේ ම තෝරා ගන්නා විෂයන් 2 ඇතුළු එම කාණ්ඩයේ සමස්ථ විෂයන් 7ක් ද, වැඩිදුර අධ්‍යනය සඳහා උසස්පෙළ අරමුණු කොට ගෙන හැදෑරීමට සිදුවන 2වන කාණ්ඩයේ(Further Learning) විෂයන් 7ක් ද,

එනම්,

  • S T E M අංශය : මෙම අංශයෙන් තෝරා ගන්නා විෂයන් හතර + ඉතිහාසය+සෞන්දර්ය(මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අංශයෙන්) + කුසලතා අංශයෙන් තෝරා ගන්නා එක්(1) විෂයක්.

හෝ

  • මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අංශය : මෙම අංශයෙන් තෝරා ගන්නා විෂයන් හතර + S T E M අංශයෙන් තෝරා ගන්නා විෂයන් 2ක්  + කුසලතා අංශයෙන් තෝරා ගන්නා එක්(1) විෂයක්.

හෝ

  • කළමනාකරණය සහ ව්‍යවසායකත්ව අංශය : මෙම අංශයෙන් තෝරා ගන්නා විෂයන් හතර + ඉතිහාසය+සෞන්දර්ය(ලිබරල් කලා ධාරාව)  + කුසලතා අංශයෙන් තෝරා ගන්නා එක්(1) විෂයක්.

හෝ

  • කුසලතා අංශය: මෙම අංශයෙන් තෝරා ගන්නා විෂයන් හතර + ඉතිහාසය+සෞන්දර්ය(ලිබරල් කලා ධාරාව)  + වෙනත් ඕනෑම විෂය ධාරාවකින් එක් විෂයයක් හැදෑරීමට සිදු වේ.

ඉහත කොටස අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ වාර්තාවේ දක්වා ඇති සටහන් වලින් පැහැදිලි කරන ලදී.

පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය ඉවත් කර ඇති බවට පළ වන අසත්‍ය තොරතුරු පිළිබඳ දැනුවත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ මෙලෙසින්.

<iframe src=”https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fweb.facebook.com%2Fnewslk%2Fvideos%2F1791314944757618%2F&show_text=true&width=476&t=0″ width=”476″ height=”591″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share” allowFullScreen=”true”></iframe>

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැහැදිලි කිරීම

අප මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියෙකු සම්බන්ධ කර ගනු ලැබුවා.

සිසුන් විභාගයට පෙනී සිටින්නේ විෂයන් 7කටයි

විෂයන් 14ක් සාමාන්‍යපෙළ සිසුන් සඳහා පෙනී සිටිනවාද යන්න පිළිබඳ අප  විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, සිසුන් වාර විභාග සඳහා පෙනී සිටින්නේ ඉහත වාර්තාවේ දක්වා ඇති පළමු කාණ්ඩයේ(Common core curriculum) විෂයන් 07 සඳහා පමණක් බවයි.

අනෙක් විෂයන් 7 ඇගයීම් ලකුණු වාර විභාගයට එකතු වෙයි

නමුත් දෙවන කාණ්ඩයේ(Further Learning) උසස්පෙළ තමන් තෝරා ගන්නා විෂය මත 10-11 ශ්‍රේණියේ පාසල් සිසුන්ට තමන් විසින් තෝරා ගන්නා අංශයේ විෂයන් 4 මෙන් ම අනිවාර්ය විෂයනුත් ඇතුළුව විෂයන් 7ක් අධ්‍යාපනය ලැබීමට සිදු වූවත්, දෙවන කාණ්ඩයේ මෙම විෂයන් 7 සඳහා වාර විභාග පැවැත්වෙන්නේ නැති බව සඳහන් කළා. එසේ වුවද මෙම විෂයන් සඳහා මොඩියුල ලෙස ඉගැන්වෙන බව ත්, මේ සඳහා ඇගයීම් සිදු කර ඉන් සිසුන් ලබා ගන්නා ලකුණු ශිෂ්‍ය කාර්ය සාධනය GPA පද්ධතියක් හරහා වාර්තා කෙරෙන බැවින් මෙම විෂයන් සිසුන්ට නොසලකා හැරීමට නොහැකි බව ත්, ඇය පෙන්වා දුන්නා.

මෙම වාර්තා මේ දිනවල පළාත් අධ්‍යාපන බලධාරීන් සඳහා ඉදිරිපත් කරන වාර්තාවක් බවත්, ජනතාවට පැහැදිලි කිරීමට පහසු ආකාරයන් මේ පිළිබඳ පැහැදිලි වාර්තාවක් ඉදිරියේදී එළිදක්වන බව ත් ඇය සඳහන් කළා.

කෙසේ නමුත් ඉතිහාසය විෂය සියලුම ළමුන්ට හැදෑරීමට සිදුවූවත්, ඉහත පළමු කාණ්ඩය යටතේ ඉතිහාසය අනිවාර්ය විෂය ධාරාවට ඇතුළත් නොවීමත්, තෝරා ගැනීමට සිදුවන විෂය ධාරාවන් වලට අයත් වීම මත ඉතිහාසය තෝරා ගන්නා සිසුන්ට පමණක් එම විභාගයට මුහුණ දීමට වරම් ලැබේ. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු අ.පො.ස. (සා/පෙළ) විභාගය 2029 වසරේදී දී පවත්වනු ලබයි 

2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම

සෑම පන්ති කාමර කාලයක්ම මිනිත්තු 50 ක් වන අතර, මුළු පාසල් කාලය මිනිත්තු 30 කින් දීර්ඝ කෙරේ.

2029 වසරේ සිට 9 ශ්‍රේණියේ සිසුන් සඳහා කුසලතා පරීක්ෂණයක් හඳුන්වා දෙනු ලැබේ.

මෙම තක්සේරුව ඇගයීමට ලක් කරනු ලබන්නේ:
අ) සාක්ෂරතාවය ආ) සංඛ්‍යාත්මක බව ඇ) නිශ්චිත ක්ෂේත්‍රයක වැඩිදුර අධ්‍යයන කටයුතු කරගෙන යාමේ ප්‍රවණතාවය.

අධ්‍යයන හෝ වෘත්තීය විෂය ධාරාවන්ගෙන් විෂයයන් තෝරා ගැනීමට සිසුන්ට අවස්ථාව ලබා දෙනු ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු අ.පො.ස. (සා/පෙළ) විභාගය 2029 දී පවත්වනු ලබන අතර, ඒ අනුව අ.පො.ස. (උ/පෙළ) විභාගය පැවැත්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්පූර්ණ වාර්තාව

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Avatar

Title:නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යටතේ 10-11 ශ්‍රේණිවලදී ඉතිහාසය ඇතුළත්ව විෂයන් 14ක්! විභාගය පැවත්වෙන්නේ විෂයන් 7කටයි!

Fact Check By: Pavithra Sandamali  

Result: Insight


Leave a Reply