BYD වාහන ගැන වාර්තා කිරීම්වලට අදාළව මාධ්‍ය ආයතනවලට චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්? 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඉතා කෂණිකව, පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වඩාත් ඵලදායී ලෙස යොදා ගත හැකි සමාජ මාධ්‍යවේදිකා  ඇතැම් අවස්ථාවල වඩාත් හානිකර බලපෑම් සිදුකළ හැකි ව්‍යාජ තොරතුරු පළ කිරීම සඳහා ද යොදා ගන්නා ආකාරයක් දැක ගත හැකියි. එය ඇතැම් අවස්ථාවල දේශීය වශයෙන් පමණක් නොව රාජ්‍යතාන්ත්‍රික අර්බූදවලට මුල පුරන ආකාරයේ ඒවා ද විය හැකියි. ඒ ආකාරයට චීන තනාපති කාර්යාලය හා මාධ්‍ය ඈඳා ගනිමින් පළ කරන ලද සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ සොයා බැලීමක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

BYD වංචාව හෙළි කිරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය ශ්රී ලංකා මාධ්යයට තර්ජනය කරන්නේ ඇයි? යන ශීර්ෂය යටතේ මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ බව කියන ලිපියක් ද සහිතවයි. එහි වැඩිදුරටත්  සඳහන් වන්නේ, කරුණු 3ක් යටතේ දූෂණය ආවරණය කිරීමේ අරමුණින් මාධ්‍ය නිහඩ කිරීම රාජ්‍යතාන්ත්‍රිකභාවය නොවන බවත් එය බලහත්කාරයක් බවයි.
චීන ව්‍යවසායන්ට අදාළව නොමග යවන සුළු මාධ්‍ය වාර්තාකරණය දැඩි කනස්සල්ල පළ කිරීම යන ශීර්ෂය යටතේ ඉකුත් අගෝස්තු 01 දාතමින් යුතුව පිටු 3කින් සමන්විතව මෙම ලිිපිය නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගේ අත්සන සහ තානාපති කාර්යාල මුද්‍රාව ද සහිතව ජාතික සහ ඩිජිටල් මාධ්‍ය ආයතනවල ප්‍රධාන කර්තෘවරුන් වෙත යොමු කරන ලද අදාළ ලිපියේ පිටපතක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට ද යොමු කර ඇති බව සඳහන් ය. 

ලිපියේ සඳහන්ව ඇත්තේ, ගෝලීය වශයෙන් නමක් දිනා සිටින කීර්තිමත් චීන ව්‍යවසායකයෙකු වන BYD Auto Co., Ltd නිෂ්පාදනය කරන ලද විදුලි වාහන ආනයනය සහ රේගු කටයුතු සම්බන්ධව මෑත කාලීනව පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ චීන තානාපති කාර්යාලය සිය කනස්සල්ල පළ කරන බවයි. 

තව ද වාහන ආනයනයේදී තාක්ෂණික වැරදි, රේගු අක්‍රමිකතා සිදුවූ බවට සහ බදු වංචා කර ඇති බව කියමින් පුවත්පත් සහ සාමාජ මාධ්‍ය වේදිකාවල පළ වූ සටහන් තහවුරු නොකරන ලද කරණු සහිත නොමග යවන සුළු ඒවා බව ද එහි සඳහන් ය. වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙවැනි වගකීම් විරහිත ප්‍රචාරණයන් හරහා අදාළ සමාගමට මෙන්ම චීන සමූහාණ්ඩුවේ ප්‍රතිරූපයට ද සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි. 

තනාපති කාර්යාලය මෙය බැරෑරුම් කරුණක් ලෙස සලකන බවත් සානථ නොකළ, සාක්ෂි රහිත තොරතුරු ප්‍රචාරය හරහා ශ්‍රී ලංකා – චීන දිගු කාලීන සබඳතාවලට ද හානි සිදුවන බවත් එහි සඳහන් ය. තව ද මහජනතාව මෙවැනි වාර්තා වැරදි ආකාරයෙන් තේරූම් ගැනීම තුළ එය ද්වීපාර්ශවීය වෙළඳ කටයුතු සඳහා ද  එය අහිතරක ලෙස බලපෑමක් සිදු කරන බව සඳහන් වේ.  

චීන ව්‍යවසායන්ට අදාළව තවදුරටත් පක්ෂග්‍රාහී, අපහාසාත්මක හෝ සනාථ නොකරන ලද තොරතුරු වාර්තා කිරීමෙන් සහ බෙදා හැරීමෙන් වළකින ලෙස  මෙරට සියලුම මාධ්‍ය වේදිකාවලින් ඉල්ලීමක් කරන බවත් එසේ සිදු කිරීමට අපොහොසත් වන්නේ නම්,  චීන රජය සහ වෙළඳ ආයතන ජාත්‍යන්තර නීතිය යටතේ නීතිමය පියවර ගැනීමට බලකෙරෙන බව ද සඳහන් ය. 

තවද, අදාළ ලිපිය මගින් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ, මහජන චීන සමූහාණ්ඩුව හෝ එහි ව්‍යවසායකයින් අපහාසයට ලක් කරන අකාරයෙන් ප්‍රකාශන භාවිත කිරීමෙන් වළකින ලෙස සියලුම ජාතික තලයේ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය වෙත මාර්ගේාපදේශයක් නිකුත් කරන ලෙසයි. 

ශ්‍රී ලංකාව චීනය ඇතුළු ජාත්‍යන්තර ප්‍ර්‍රජාවගෙන්  පුළුල් ආයෝජන, තාක්ෂණික හුවමාරුකර ගැනීම් සහ සහයෝගීතාව අපේක්ෂා කරන මොහොතක, මාධ්‍ය වාර්තාකරණයේදී වෘත්තීයභාවය, නිරවද්‍යතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ වාතාවරණයක් ඇති කිරීම ඉතා වැදගත් බව එිහ වැඩිදුරටත් සඳහන්ව ඇත. 

Facebook | Archived Link

මතභේදාත්මක BYD වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ බව කියන මෙම ලිපිය තවදුරටත් ෆේස්බුක් ඔස්සෙ පළ මෙලෙස පළ වී තිබිණ. 

Facebook | Archived Link Facebook | Archived Link

X සමාජ මාධ්‍ය වේදිකාවේ ද චීන තානාපති කාර්යාලය නිකුත් කළ බව කියන මෙම ලිපිය මෙලස පළ කර තිබෙනු දැකගත හැකි වූයේ, මේ ආකාරයෙනි.  

X | Archived Link

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් නිකුත් කළ ලිපියක් බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන මෙම සටහන්වල සත්‍යතාව විමර්ශනය  කිරීමට අප මෙලෙස පියවර ගත්තේ ය.  

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

තවදුරටත් රේගු භාරයේ තිබෙන ආන්දෝලනාත්මක BYD විදුලි වාහන මේ දිනවල මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළුව සමාජ මාධ්‍යවේදිකාවල ද සුවිශේෂි උනන්දුවක් දක්වන මාතෘකාවකි.

එවැනි වට පිටාවක් තුළ සමාජ මාධ්‍ය ධාරාවල සංසරණය වන  ආකාරයෙන් BYD විදුලි වාහන තොගයට අදාළව මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව චීන තානාපති කාර්යාලය සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ මාධ්‍යට කිසියම් ආකාරයේ බලපෑමක් සිදු කරන ආකාරයේ  බරපතළ ගනයේ ලිපියක් නිකුත් කර තිබුණේ නම්, එය මෙරට මාධ්‍ය විසින් විකාශය කර, ඊට අදාළව ක්‍රියාත්මක වනවා පමණක් නොව  මාධ්‍ය ධාරා ඇතුළුව මෙරට ජනතාව නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය නොකරනු ඇති. එහෙත් පසුගිය දින කිහිපයේ ප්‍රධාන ගනයේ ඇතුළු කිසිදු මාධ්‍යක් මෙවැනි ලිපියක් පිළිබඳ වාර්තාකරණයක් හෝ සමාජයෙන් ද මෙවැන්නකට එරෙහි ප්‍රතිචාර දැක්වීම් කිසිවක් වාර්තා වී නොමැත. එමෙන් ම BYD වාහන සම්බන්ධ දිගටම මාධ්‍ය වාර්තා කර තිබූ අතර එහි වාර්තා කිරීමේ අඩුවක් හෝ දැක ගන්නට නොලැබුණි. 

ඒ අනුව මෙම ලිපිය පිළිබඳව මතු වූ සැකය මත අප තවදුරටත් කරුණු සොයා බැලීමක් සිදු කළේ ය. 

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රතිචාරය 

වෙත සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන අකාරයෙන් මෙරට මාධ්‍ය ප්‍රධානීන් වෙත තානාපති කාර්යාල ලිපි ශීර්ෂය සහිතව, චීන තානාපතිවරයාගේ අත්සනින් යුතුව ලිපියක් නිකුත් කර ඇත් ද යන්න සම්බන්ධව අප මෙරට චීන තානාපති කාර්යාලයෙන් විමසීමක් සිදු කළේ ය. 

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ බහුපාර්ශ්වික කටයුතු, මාධ්‍ය සහ මාධ්‍ය පිළිබඳ නිලධාරී Xing Chaoyang සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ ලිපිය තරයේ ප්‍රතික්ෂේප කළ අතර ඔහු කියා සිටියේ, එය අසත්‍ය කරුණු ඇතුළත් ව්‍යාජ ලිපියක් බවයි.  මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍යයක් ද, වාර්තා කර තිබුණේ මෙලෙසින්

ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයාගේ ප්‍රතිචාරය 

සමාජ මාධ්‍යයේ සංසරණය වන චීන තානාපති කාර්යාලය මාධ්‍ය ප්‍රධානීන් වෙත යොමු කරන ලද බව කියන ලිපිය පිටපතක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට ද යොමු කළ බව අදාළ සමාජ මාධ්‍ය සටහනේ සඳහන්ව ඇති බැවින් අප මේ පිළිබඳව  ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයාගෙන් විමසා සිටියේ ය.  ලේකම්වරයා පැවසුවේ, එවැනි ආකාරයේ කිසිදු ලිපියක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට ලැබී නොමැති බවත් එය අසත්‍ය කරණු ඇතුළත් ව්‍යාජ ලිපියක් බවත් ය.     

මේ අතර 2023 වසරේදී ද චීන තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය සහිත එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද බව කියන මේ මෙවැනිම ආකාරයේ සමාජය නොමගයවන සුළු ආකාරයේ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී තිබූ අතර එය ව්‍යාජ ලිපියක් බවට චීන තානාපති කාර්යාලය ද තහවුරු කර තිබිණ. විස්තරය මෙතැනින් 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය යැයි සඳහන් කරමින් 2023 වසරේදී සමාජ මාධ්‍යයේ සංසරණය වූ මෙම ව්‍යාජ ලිපිය පිළිබඳව factcrescendo අප සිදු කළ කරුණු  විමර්ශනය පහතින්. 

Also Read: චීනයේ BYD වාහන මිල අඩු කිරීම නිසා ලංකාවෙ BYD වාහන මිලත් පහළ යනවා ද?

මතභේදාත්මක BYD විදුලි වාහනවලට මොක ද වෙන්නේ? 

මතභේදයට තුඩු දී ඇති  රේගුව විසින් රඳවාගෙන සිටින BYD විදුලි වාහන පිළිබඳ කතාබහ මේ වනවිට නතර වී ඇත්තේ, අධිකරණයේ ය. 

රේගුව විසින් රඳවාගෙන සිටින BYD විදුලි වාහන 991 ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට එකඟ වී ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම කරණු අනාවරණය වී ඇත්තේ,  John Keells CD Auto Private Limited ගොනු කරන ලද පෙත්සම  අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය. 

ඒ අනුව, බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසු වාහන නිදහස් කරනු ඇති.

රේගුව විසින් මෙම වාහන රඳවා තබා ගැනීමේ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දැනුම් දී තිබූ අතර නීතිඥවරිය වැඩිදුරටත් කරණු දක්වමින් අධිකරණයට පෙන්වා දී තිබුණේ, බැංකු ඇපකරයක් මත අදාළ වාහන මුදා හැරීමේ හැකියාව රේගුව සතුව ඇති බවයි. 

පෙත්සම යළි කැඳවීම සැප්තැම්බර් මස 03 වනදා කැඳවීමට නියමිතයි. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :මේ අනුව පැහැදිලි වන්නේ, BYD විදුලි වාහන සම්බන්ධ මාධ්‍ය වාර්තා කිරීම්වලට අදාළව කනසල්ල පළ කරමින් චීන තානාපති කාර්යාලය නිකුත් කර ඇති බව පැවසෙන සමාජ මාධ්‍ය ජාලාවල පළ වී ඇති ලිපිය ව්‍යාජ එකක් බවයි. තව ද එය චීන තානාපති කාර්යාල ලිපි ශීර්ෂය, චීන තානාපතිවරයාගේ අත්සන ව්‍යාජව භාවිත කරමින් සමාජය නොමග යැවීමේ අරමුණින් සකසා සමාජ මාධ්‍යයේ පළ කරන  ලද සටහනක් බව පැහැදිලි වේ.

Avatar

Title:BYD වාහන ගැන වාර්තා කිරීම්වලට අදාළව මාධ්‍ය ආයතනවලට චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්? 

Fact Check By: Sagarika 

Result: False


Leave a Reply