දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ආයතන, සංවිධාන, සංගම්වල ලිපි ශීර්ෂ, පුද්ගල අත්සන් ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද ලිපි ලේඛන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම බහුලව දැකගතහැකියි. මේ දිනවල ක්‍රියාත්මක තැපැල් වෘත්තිකයින්ගේ වැඩවර්ජනයට අදාළව නිකුත් කර ඇති බව කියන සමාජය නොමග යවන සුළු ආකාරයේ ලිපියක් පිළිබඳ විමසා බැලීමක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
‘අරගලයට ජය !’ යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති පහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ලද බව කියන ලිපියකට අදාළ සමාජ මාධ්‍ය සටහනකි.
එම සංගමයේ ලිපි ශීර්ෂය ද සහිතව ඉකුත් 21 වැනිදා නිකුත් කළ බව කියන මෙම ලිපියේ දැක්වෙන්නේ, තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක ගැටලුවලට විසඳුම් ලබා නොදීම හා සේවක අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිව පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩවර්ජනය 21 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කිරීමට තීරණය කර ඇති බවයි. පසුගිය දින කිහිපයේ පැවති සාකච්ඡා ගණනාවකින් පසු ඒකමතිකව මෙම තීරණයට එළැඹි බව ද එහි සඳහන් ය.
ලිපියෙහි දෙවන කොටසේ සඳහන් වන්නේ, වැඩ වර්ජනය සාර්ථක කර ගැනීම සඳහා එක්වූ සමස්ත සාමාජිකයින්ට ස්තුතිය පළ කරන බවත් මෙතෙක් ඉතිහාසය තුළ කිසිදු වෘත්තිය අයිතියක් පාලකයා විසින් බන්දේසියක තබා ලබා දී නොමැත යනුවෙනි.
ඉතිහාසයේ වෘත්තිය සමිති නායකත්වය ලේ, දහඩිය හෙළා දිනා ගත් අයිතිවාසිකම් හෙට දවසට රැක ගැනීම අප සැමගේ වගකීම හා යුතුකම බව ද එම ලිපිය මගින් සිහිපත් කර තිබේ.
එසේම, පසුගිය දින කිහිපයේ ජනතාවට සිදුවූ අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කර ඇති අදාළ ලිපිය අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත යනුවෙන් සඳහන් කරමින් අවසන් කර ඇත.
තව ද නිකුත් කර ඇති මෙම ලිපියේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සහ සභාපතිගේ අත්සන් සහ නිල මුද්‍රා ද දැකගත හැකියි. එම ලිපිය ඇතුළත් සමාජ මාධ්‍ය සටහන පහතින්.
21 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් වෘත්තික වැඩවර්ජනය අවසන් කළ බවට වන ඉහත ලිපිය තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ ආකාරයෙනි.
(Facebook | Archived Link) (Facebook | Archived Link)
(Facebook | Archived Link) (Facebook | Archived Link)
ඒ අනුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බහුලව සංසරණය වූ මෙම ලිපිය සැබෑ ලෙසම තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද ලිපියක් ද සහ එහි සඳහන් පරිදි තැපැල් වර්ජනය අවසන් වී තිබේ ද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදු කළේ ය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් පරිදි ඉල්ලීම් 19ක් මුල්කරගමින් ඉකුත් 17 වැනිදා ආරම්භ කළ තැපැල් වර්ජනය 21 මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කළේ නම්, එය ප්‍රධාන ධාරාවේ ඇතුළු සියලු මාධ්‍ය විසින් වාර්තාතා කරන පුමුඛ පුවතක් විය යුතු ය. මන්ද වර්ජනය ආරම්භ වූ දා සිට අඛණ්ඩව සියලුම මාධ්‍ය විසින් වර්ජනයට අදාළ නවතම තත්ත්වයන් පිළිබඳව පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබූ බැවිනි.
ඒ අනුව අප 21 , 22 දෙදිනයන්හි විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වාර්තා පරීක්ෂා කර බැලුව ද ඉහත සමාජ මාධ්‍ය සටහනේ සඳහන් පරිදි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් වර්ජනය අවසන් කරන බව කියන ලිපියක් පිළිබඳ හෝ වර්ජනය අවසන් කළ බවට වන කිසිදු පුවත් වාර්තාවක් දැකගත නොහැකි වූ අතර සියලු පුවත් වාර්තාවන්හි දැක්වණේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. පුවත් වාර්තා මෙතැනින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්.
ගැටළු සහගත තැන් රැසක් දැකගන්නට ලැබෙන ලිපියක්
එසේම අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියේ අන්තර්ගය සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කිරීමේ දී ගැටලු සහගත තැන් කිහිපයක් නිරීක්ෂණය විය. මෙම ලිපියේ අවසානය සහ මැද කොටස අතර එනම් ලේකම්වරයාගේ සහ සභාපතිවරයාගේ අත්සන් සහිත කොටස සහ ලිපියේ මැද කොටස අතර විශාල පරතරයක් දැකිය හැකිය.
දීර්ඝ ඉතිහාසයක් ඇති විශාල සාමාජික සංඛ්‍යාවක් සිටින සමාජිකයින් තැපැල් හා විදුලිසංදේශ නිලධාරීන්ගේ සංගමය වැනි ප්රමුඛ පෙළ වෘත්තිය සමිතියක් මේ ආකාරයට රටේම අවධානය යොමුව ඇති වරජනයකට අදාළව මෙවැනි පිළිවෙළක් නැති ලිපියක් නිකුත් කරයි ද යන්න ගැටලු සහගත ය .
තව ද මෙම ලිපියේ අන්තර්ගතය තළ වැඩවර්ජනය සාර්ථක කර ගැනීමට එක්වූ සාමාජිකයින්ට ප්‍රණාමය පුද කරන බව සඳහන් කර ඇති අතර එලෙස වර්ජනය සාර්ථක වූයේ නම්, ඔවුන් සිය ඉල්ලීම් දිනා සිටිය යුතුය.
එහෙත් ඉල්ලීම්වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව මෙහි කිසිදු සඳහනක් නැත. එසේ නොමැති නම්, වර්ජනය අවසන් කිරීමට හේතුව මෙහි පැහැදිලිව සඳහන් විය යුතු ය එහෙත් ලිපියේ කිසිදු තැනක වර්ජනය අවසන් කරන හේතුව සඳහන් කර නොමැත. ඒ අනුව මෙම ලිපිය ව්‍යාජ ලිපියක් ද යන සැකය තවදුරටත් තහවුරු වේ.
තැපැල් හා විදුලසංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල ජයසුන්දර මහතාගේ ප්‍රතිචාරය
මේ අතර වර්ජනය අවසන් කරන බවට මෙවැනි ලිපියක් නිකුත් කළේ නම්, නිරන්තරව තොරතුරු යාවත්කාලීන වන තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ නිල ෆේස්බුක් පිටුවේ ද එය පළ කර තිබිය යුතු ය. එහෙත් එවැනි ලිපියක් එහි දැකගන්නට නොමැත.
මේ අනුව වැඩිදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියට අදාළව එම සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල ජයසුන්දර විසින්, අගෝස්තු 21 වනදා සවස්වරුවේ ෆේස්බුක් Live වීඩියෝවක් ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබු අයුරු දැක ගන්නට ලැබෙනවා.
එහිදී ඔහු පවසන්නේ සංගමයේ ලිපි ශීර්ෂය සහ ලේකම්වරයා වන තමාගේ සහ සභාපතිවරයාගේ අත්සන් ද අවභාවිත කරමින් සකසන ලද ව්‍යාජ ලිපියක් මේ අයුරින් සමාජ මාධ්‍යයේ සංසරණය වන බවයි.
අප තැපැල් හා විදුලසංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල ජයසුන්දර මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර, ඔහු පැවසුවේ, අත්දැකීම් සම්භාරයක් සහිත දීර්ඝ ඉතිහාසයක් ඇති තැපැල් හා විදුලසංදේශ නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයේ ලද බොළඳ ආකාරයේ ලිපි නිකුත් නොකරන බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ, සංගමයේ ලිපි ශීර්ෂය සහ ලේකම් සහ සභාපතිගේ අත්සන් වංචනකිව යොදමින් සැකසු ව්‍යාජ ලිපියක් බවයි.
මේ අතර වැඩවර්ජනය දියාරු කිරීමේ උත්සාහයන් සහ විවිධ මර්දන ක්‍රියාපිළිවෙත් දියත් වුව ද තැපැල් සේවක වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ ය.
එසේම, විෂය භාර අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි, අපේක්ෂා කරන බව සඳහන් කළ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය. ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණ හොත් වරජ්නය දැඩි කරන බවත් මංජුල ජයසුන්දර මහතා පවසා සිටියා.
තැපැල් වර්ජනයේ අලුත්ම තත්ත්වය
අතිකාල දීමනා සහ බඳවාගැනීම් ගැටලු ඇතුළු ඉල්ලීම් 19ක් මුල් කරගෙන ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෘත්තීය සමිති 22ක් ඉකුත් 17 වැනිදා ආරම්භ කළ දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය අද (23) 6 වන දිනටත් ක්‍රියාත්මකයි. ඒ අනුව අද දිනයේත් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා තැපැල් මධ්‍යස්ථාන වසා දමා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා.
වර්ජනය හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීමට ජනතාව පීඩාවට පත්වුණා. මේ අතර වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ පාර්සල් හා තැපැල් භාණ්ඩ ඊයේ (22) යුදහමුදා සාමාජිකයින්ගේ මැදිහත්වීමෙන් ඒ ඒ ප්‍රදේශවලට රැගෙන යනු ලැබුවා.
මේ අතර ලංකා තැපැල් සේවා සංගමය පවසා ඇත්තේ, එළඹෙන සඳුදා සිට තැපැල් සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට හැකියාව පවතින බවයි. කෙසේ වෙතත් තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා විශය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
මේ අතර වර්ජනයේ නිරත තැපැල් සේවකයින් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ඊයේ සත්‍යග්‍රයක් ද ආරම්භ කළේ ය. මේ අතර සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සේවකයින් වහාම සේවයට වාර්තා කරන්නැයි, තැපැල්පතිවරයා දැනුම්දී තිබුණා. සේවය නොපැමිණෙන නිලධාරීන් සේවය හැර ගියා සේ සලකන බව ද නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පතිවරයා ප්‍රකාශ කර තිබුණා. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, 21 මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනය අවසන් කරන බව කියමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ලද ඒත්තු ගන්වමින් හුවමාරු වන්නේ ව්‍යාජ ලිපියක් බව, සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල ජයසුන්දර මහතා තහවුරු කර සිටින බවයි. එසේම වැඩ වර්ජනය ද අවසන් වී නොමැති අතර අද (23) වන දිනත් ක්රීයාත්මක වුණා.

Title:තැපැල් සේවකයින් වැඩ වර්ජනය අවසන් කළ බවට හුවමාරු වන ව්‍යාජ ලිපියක්!
Fact Check By: SagarikaResult: False
