කටුනායක ගුවන් තොටුපළේදී චීවරධාරින් සන්තකයේ තිබී භාරයට ගත් මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහනක්!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජයේ අවධානය දිනාගෙන ඇති සිදුවීම් සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු හුවමාරු වීම සමාජ මාධ්‍ය තුළ බහුලව දැකිය හැකි තත්ත්වයක්. මෑත කාලීනව කතාබහට ලක් වූ කටුනායක ගුවන්තොටු‍පොළේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් හුවමාරු වී තිබුණු එවැනි නොමග යවනසුළු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ලංකා ඉතිහාසයේ ලොකුම කුඩු ජාවාරම ලෙස රුපියල් බිලියන 1.1ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායකදී බෞද්ධ භික්ෂූන් 22 නමක් අත්අඩංගුවට ගෙන ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.

Facebook |Archived Link

අදාළ සිදුවීම ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම බවට දක්වමින් තවත් සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook

සමාජය තුළ දැඩි කතාබහකට හේතු වී ඇති මෙම මත්ද්‍රව්‍ය වැටලීම ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම ද යන්න සොයා බැලීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 112කට අධික ප්‍රමාණයක් බැංකොක් නුවර සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති අතර, 2026.04.25 වන දින බැංකොක් සිට පැමිණෙන ගුවන් යානයකින් චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට එම තොරතුරෙන් අනාවරණය වී තිබුණා. ඒ අනුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ සැකකටයුතු චීවරධාරීන් 22 දෙනා සහ ඔවුන් සතු බෑගයන් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී රඳවා ගනු ලැබ ඇති අතර, ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සමඟ එක්ව සිදුකළ විශේෂ පරීක්ෂාවකදී, ඔවුන් සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 101යි ග්‍රෑම් 768ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 812ක් සොයාගැනීමට හැකි වී තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරීන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන ශ්‍රී ලාංකාවාසින් වන අතර, ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට උත්සාහ කර තිබෙනවා. මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධාන මෙහෙයවන්නන් කවුරුන් ද සහ මොවුන් මෙරට මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ ද යන්න පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ බව දක්වමින් පොලිස් මාධ්‍ය අංශයේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පළ කර තිබුණා. එම සම්පූර්ණ සටහන මෙතනින්.

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි.

ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් සියල්ලම පාහේ මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන බවත්, චීවරධාරින් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත් ඇතැම් භික්ෂූන් වහන්සේ තායිලන්තයේදී ගිහියන් ලෙස සැරසී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ජායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකතන තුළ තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අනාවරණය කරගෙන තිබෙන බවත් දක්වමින් දක්වමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබුණා. එම වාර්තාවන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අදාල මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධයෙන් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම හෝ මත්ද්‍රව්‍ය වැටලීම ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් විසින් දක්වා තිබුණේ නැහැ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ගොඩබිමදී සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ගොඩබිමදී සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස නිල වශයෙන් වාර්තා වන්නේ 2025 සැප්තැම්බර් 22 වනදා තංගල්ලේදී සිදුකළ මෙහෙයුම වන අතර, එහිදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණා. මෙහි වෙළඳපළ වටිනාකම රුපියල් බිලියන 10ක් (කෝටි 1,000ක්) පමණ වන අතර,මත්ද්‍රව්‍ය සමඟ T-56 ගිනිඅවියක් සහ පිස්තෝල 5ක් ද පොලිසිය භාරයට ගෙන තිබුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කර තිබුණේ මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ගොඩබිමදී වටලන ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවයි. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

මුහුදේදී සිදුකළ විශාලතම වැටලීම

2026 මාර්තු මාසයේදී දකුණු මුහුදේදී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් නාවික හමුදාව සහ පොලිසිය එක්ව අත්අඩංගුවට ගන්නා ලද අතර, මෙහි වෙළඳපල වටිනාකම රුපියල් බිලියන 10කට (කෝටි 1,000කට) අධික බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා තහවුරු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය 

අප විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් සිදු කළා. එහිදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් තහවුරු කළේ මේ සම්බන්ධයෙන් විමර්ශන තවමත් සිදුවෙමින් පවතින හෙයින් අදාල මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධයෙන් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම හෝ මත්ද්‍රව්‍ය වැටලීම ලෙස දැක්වීම නොමග යවන සුළු බවයි. නමුත් එය කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම වන බව ඔවුන් සඳහන් කළා. 

අත්අඩංගුවට ගත් චීවරධාරීන් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන අතර, මෙහෙයවූ බව කියන චීවරධාරී පුද්ගලයාත් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත්  චීවරධාරීන් පිරිස ඉරිදා (අප්‍රේල් 26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා. ඒ අනුව, එම චීවරධාරීන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් පවතී. සැකකාර චීවරධාරීන්ගේ තායිලන්ත සංචාරය සංවිධානය කළ බව පැවසෙන භික්ෂුවක සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, විදේශගතව සිට මෙරටට පැමිණි චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායකදී අත්අඩංගුවට ගත් සිදුවීම සම්බන්ධයෙන් එය ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම ලෙස දක්වන සටහන් නොමග යවන සුළු බවයි. කෙසේ වෙතත්, මෙය කටුනායක ගුවන්තොටුපළ ඉතිහාසයේ එක් වරකදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ගොඩබිමදී සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස නිල වශයෙන් වාර්තා වන්නේ 2025 සැප්තැම්බර් 22 වනදා තංගල්ලේදී සිදුකළ මෙහෙයුම වන අතර, එහිදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණා. එහි වෙළඳපළ වටිනාකම රුපියල් බිලියන 10ක් (කෝටි 1,000ක්) වූවා.

Result Stamp

Title: කටුනායක ගුවන් තොටුපළේදී චීවරධාරින් සන්තකයේ තිබී භාරයට ගත් මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහනක්!

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *