2025ට සාපේක්ෂව, 2026 ජනාධිපති වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ ගිහින්ද?  

Insight Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2026 වසර සඳහා වන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධව පසුගිය දින කිහිපයේ දැඩි කතිකාවක් නිර්මාණය වී තිබුණා. ඒ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව දැක්වෙන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමත් සමගයි. ඒ අනුව අප සිදුකළ කරුණු පැහැදිලි කිරීමක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

‘නිර්ධන පන්තියේ සහෝදරයා’ යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 2026 වසර සඳහා වන වැය ශීර්ෂය පසුගිය වසර දෙකකට සාපේක්ෂව ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරන කරමින්,  ජනපති – අගමැති වැය  ශීර්ෂ පිළිබඳ සංසන්දනාත්මක  ඉදිරිපත් කිරීමක් ද ඇතුළත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී තිබු අතර මේ තරම් අධික මුදලක් ජනපති අනුර වැය ශීර්ෂයෙන් වෙන් කරගෙන තිබෙන්නේ කුමක් සඳහා ද යන්න ද ඇතැමුන් ප්‍රශ්න කර තිබුනේ මෙලෙසින්. 

Facebook | Archived Link

ඒ අනුව විශේෂයෙන්ම 2025 සහ 2026 වසර සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධව අප සිදුකළ කරුණු පැහැදිලි කිරීම මෙසේයි.  

Explainer (කරුණු පැහැදිලි කිරීම):

ජනපති වැය ශීර්ෂය යනු..

ශ්‍රී ලංකාවේ ජනාධිපති වැය ශීර්ෂයෙහි මුලික අරමුණ වන්නේ ජනාධිපති කාර්යාලය සඳහා වාර්ෂික අයවැය ප්‍රතිපාදන කර ගැනීම වන අතර එය පාර්ලිමේන්තුව විසින් විසර්ජන පනත් කෙටුම්පත් ක්‍රියාවලිය හරහා අනුමත කරනු ලැබේ. 

මෙම ජනපති වැය ශිර්ෂයෙහි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ආවරණය කරයි: මෙහෙයුම් (Operational) ක්‍රියාකාරකම් (එදිනෙදා පරිපාලනය) සහ සංවර්ධන (Development) ක්‍රියාකාරකම් (ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති). 

ව්‍යවස්ථාමය පදනම: ව්‍යවස්ථාවේ 36 වන වගන්තිය මූලික ජනාධිපති වැටුප් සහ දීමනා සහතික කරන අතර, 148 වන වගන්තිය මගින් මහජන මූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය පාර්ලිමේන්තුවට ලබා දෙයි. ඒ අනුව, ජනාධිපතිවරයාගේ වියදම්, පුනරාවර්තන (Recurrent) වියදම් (වැටුප්, මෙහෙයුම්) සහ ප්‍රාග්ධන /මුලධන (Capital) වියදම් (යටිතල පහසුකම්, ව්‍යාපෘති) ලෙස වර්ගීකරණය කර ඇත. 

පාර්ලිමේන්තු ක්‍රියාවලිය: සෑම වසරකම, පාර්ලිමේන්තුව කියවීම් තුනක්, කමිටු අදියර විවාදයක් සහ අවසාන ඡන්දයක් ඇතුළත් විධිමත් අයවැය ක්‍රියාවලියක් හරහා ජනාධිපති වියදම් සමාලෝචනය කර අනුමත කරයි. 

2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට 

ජනාපති අනුර විදේශගත වී සිටීමත් සමඟ, 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත වැඩබලන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගරු ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පසුගිය සැප්තැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 

ජාතික ජන බලවේග රජයේ දෙවැනි අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රු. බිලියන 4434කි. මෙම විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදල් ප්‍රමාණය් මුදල් අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර එය රු. බිලියන 634කි. වැඩි විස්තර මෙතැනින් .

කෙසේවෙතත් මෙම විසර්ජන කෙටුප්මත මගින් ඉදිරිපත් වී තිබු කරුණු අතර විශේෂ අවධානයක් මාධ්‍ය හරහා යොමුකරමින් විශාල කතිකාවතකට මුල් වුයේ, ජනපති වැය ශීර්ෂය සඳහා සිදුකරන ලද යෝජිත වෙන්කිරීම් සම්බන්ධවයි.

ජනාධිපති වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව හඟවා තිබු මාධ්‍ය වාර්තා 

වයිරල් වූ සමාජ මාධ්‍ය සටහන් සඳහා මුලික වී තිබුනේ බීබීසී සිංහල පුවත් Archived Link ඔස්සේ පළකර තිබු පුවත් වාර්තාවක්. 2025 වසරේ විසර්ජන පනත් කෙටුම්පතට සාපේක්ෂව, 2026 සඳහා ඉදිරිපත් වී ඇති ජනාධිපති වැය ශීර්ෂයේ 3 ගුණයකට ආසන්න ඉහළ යාමක් මෙහි පෙන්වා දී තිබුණි. 

එකී වාර්තාව තුළ 2024, 2025 හා 2026 වසර සඳහා වන ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ වැය ශීර්ෂ පිළිබඳ සංසන්දනාත්මක දත්ත ඉදිරිපත් කිරීමක් ද සිදු කර තිබෙනු මෙලෙස දැකගත හැකි විය. 

ඒ අනුව 2025 වසරේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ පළමු විසර්ජන පනත් කෙටුම්පත තුළ, 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කොට ඇති නමුත් මෙවර 2026 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි එහි සඳහන් ය. 

ඒ වගේම, 2026 විසර්ජන පනත් කෙටුම්පත මෙතෙක් සම්මත වී නොමැති නිසා මෙම සංසන්දය සඳහා යොදාගෙන ඇත්තේ 2024 සහ 2025 විසර්ජන පනත් කෙටුම්පත්වල ඉදිරිපත් කොට තිබු වැය ශීර්ෂ පමණක් බවත් එකී වර්ෂයන් හිදී සම්මත වූ අයවැය මෙම ගණනය කිරීම් සඳහා යොදාගෙන නොමැති බවත් සඳහන් කර තිබෙනු දැකගත හැකියි.  

කෙසේවෙතත්, මෙම දත්ත යොදාගනිමින් නිර්මාණය වී තිබු ඇතැම් සමාජ මාධ්‍ය සටහන් මේ ඔස්සේ අර්ථ දක්වා තිබුනේ 2025 වසරේ සම්මත වූ වැය ශිර්ෂයට සාපේක්ෂව, 2026 දී ජනපති වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවක්.

FB 

පුවත් වාර්තාවේ ගණනය කිරීමට යොදාගෙන තිබු, ජාතික ජන බලවේග ආණ්ඩුව මුල්වරට ඉදිරිපත් කර තිබු විසර්ජන කෙටුම්පත

2024 නොවැම්බර් මස බලයට පත් වූ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ලෙස, 2025 මුල්‍ය වර්ෂය සඳහා ඉදිරිපත් කර තිබූ විසර්ජන කෙටුම්පනතේ ජනාධිපතිගේ වැය ශීර්ෂය සඳහන් ව තිබූ අයුරු පහතින්.

මෙහි දක්වා ඇති පරිදි අතිගරු ජනපතිගේ වැය සඳහා 2025 වසර සඳහා මෙහෙයුම් සහ සංවර්ධන යන වැඩපිළිවෙලවල් දෙක යටතේ, පුනරාවර්තන සහ මුලධන වියදම් ලෙස යෝජනා කර ඇති මුළු මුදල් ප්‍රමාණය මිලියන 2993 ක් නැතහොත් බිලියන 2.9ක් බව පැහැදිලියි. 

මෙම විසර්ජන පනත 2025 ජනවාරි මස පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කෙරුණු අතර (Parliament Website) එහි දී ජනපති වැය ශීර්ෂය සඳහා වෙන්කිරීම් ලෙස දැක්වෙන්නේ රුපියල් බිලියන 2.9කි.  

ඒ අනුව, BBC ගණනය කිරීම් සඳහා ද යොදාගෙන තිබුනේ මෙම අගය වන අතර 2025 පෙබරවාරි පළමු අයවැය ඉදිරිපත් කිරීමේ දී ද BBC සිංහල පුවත් සේවය විසින් 2024 ට සාපේක්ෂව 2025 හි ජනපති වැය ශීර්ෂය අඩු වීම මෙසේ පෙන්වා දී තිබුණි.

BBC වාර්තාවේ ගණනය කිරීම්වලට සලකා තිබුනේ නැති, 2025 මාර්තු මස පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් කෙටුම්පතෙහි අගයන්

අප මුදල් අමාත්‍යංශයේ පළකර දක්වා ඇති පසුගිය වසරවල් සඳහා වන විසර්ජන කෙටුම්පත් පරික්ෂා කළ අතර එහි 2025 වසර සඳහා පළවී තිබෙන්නේ 2025 මාර්තු මස නිකුත්කර තිබෙන විසර්ජන පනතක් දැකගැනීමට ලැබෙන්නේ මෙලෙසින්. 

ඒ අනුව, 2025 අංක 3 දරන විසර්ජන පනතේ  ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් ලෙසින්  2025 මාර්තු මස 21 වන දින නැවත පළ කර තිබූ ඉහතින් දැක්වෙන විසර්ජන පනතට අනුව, 2024 දෙසැම්බර් විසර්ජන පනතේ ජනාධිපති වැය ශීර්ෂ යටතේ පෙර පැවති ගණන් වලට අමතරව සංවර්ධන වැඩසටහන යටතේ මූල්‍යධන වියදම රුපියල් මිලියනය බිලියන 6කින් වැඩිකර දක්වා වැඩි වී ඇති අයුරු දක්නට ලැබේ. 

එහෙත් මේ වෙන්කිරීමට අදාළ වැඩිදුර කරුණු එම ගැසට් පත්‍රයේ දක්වා තිබුනේ නැති අතර එය බොහෝදුරට පෙබරවාරි මස 2025 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා විවාදයේ දී සම්මත වූ බව අනුමාන කළ හැක. ඒ අනුව “2025 මුදල් වර්ෂය” එනම්, 2025 ජනවාරි මස 1 වන දින සිට 2025 දෙසැම්බර් මස 31 වන දින අවසන් වන කාල සීමාව සඳහා වන වියදම් සඳහා යොමු කර තිබෙන්නේ මාර්තු මස පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතයි.

ඒ අනුව 2025 වසර වෙනුවෙන් ක්‍රියාත්මක වූ විසර්ජන පනතට අනුව ජනපති වැය ශිර්ෂයට තවත් රුපියල් බිලියන 6ක අගයක් එකතු විය යුතුය. ඒ අනුව 2025 සඳහා ජනපති වැය ශීර්ෂය වනුයේ බිලියන 2.99 + 6ක්, එනම් බිලියන 8.99ක (ආසන්න වශයෙන් බිලියන 9ක) අගයකි.

2026 වසර සඳහා යෝජිත විසර්ජන පනත් කෙටුම්පත

2026 වසර සඳහා යෝජිත ජනපති වැය ශීර්ෂය, 2026 වසර සඳහා පසුගිය දා ඉදිරිපත් කළ විසර්ජන පනතේ දක්වා තිබු අයුරු පහතින්.

මෙහි දැක්වෙන පරිදි මෙහෙයුම් සහ සංවර්ධන වැඩසටහන් දෙක සඳහා වන පුනරාවර්තන සහ මුලධන වෙන්කිරීම් හි සම්පුර්ණ අගය මිලියන 11,377.98 හෙවත් බිලියන 11.3 කි.

2025 අවසාන සහ 2026 යෝජිත වැඩිවීම (රු.) % වැඩිවීම

ජනපති වැය ශීර්ෂයේ 2025 මාර්තු (අවසන්) සහ 2026 යෝජිත විසර්ජන කෙටුම්පත්හි අගයන්ගේ සංසදනයන්.

2025 සශෝධිත2026 යෝජිතවැඩිවීම (රු)ප්‍රතිශතය
01 වැඩසටහන: මෙහෙයුම්
පුනරාවර්තන වියදම්රු. 2,518,980,000රු. 2,465,980,000-රු. 53,000,000-2.1%
ප්‍රාග්ධන වියදම්රු. 354,000,000රු. 418,000,000+රු. 64,000,000+18.1%
01 වැඩසටහනේ එකතුවරු. 2,872,980,000රු. 2,883,980,000+රු. 11,000,000+0.4%
02 වන වැඩසටහන: සංවර්ධන
පුනරාවර්තන වියදම්රු. 20,000,000රු. 200,000,000+රු. 180,000,000+900%
ප්‍රාග්ධන වියදම්රු. 6,100,000,000රු. 8,294,000,000+රු. 2,194,000,000+36.0%
02 වන වැඩසටහනේ එකතුවරු. 6,120,000,000රු. 8,494,000,000+රු. 2,374,000,000+38.8%
මුළු ජනාධිපති ප්‍රතිපාදනරු. 8,992,980,000රු. 11,377,980,000+රු. 2,385,000,000+26.5%

ඒ අනුව, 2025 වර්ෂයේ විසර්ජන පනතේ ජනපති වැය ශිර්ෂයේ සහ 2026 වර්ෂයේ ජනපති වැය ශිර්ෂයේ වෙනස වන්නේ බිලියන 2.38 ක් පමණ වන අතර එය ඇතැම් සමාජ මාධ්‍ය සටහන් පෙන්වා දුන් පරිදි තුන් ගුණයක වැඩිවීමක් නොවන 26.5% ක පමණ එනම් 1.26 ගුණයක වැඩි වීමක් බව පැහැදිලිය.

ඉහත දත්ත මත 2026 විසර්ජන පනතේ යෝජිත ජනපති වැය ශිර්ෂ වියදම්වලට අනුව මෙහෙයුම් ක්‍රියාවලි, එනම් එදිනෙදා පරිපාලනමය කටයුතු සඳහා වෙන්කෙරෙන වියදම් හි ඉතා සුළු වැඩිවීමක් දැක ගන්නට ලැබෙන අතර, සංවර්ධන වැඩසටහන් යටතේ මුලධන කටයුතු සඳහා වෙන්කිරීම් බිලියන 2ට ත් වැඩි වැඩිවීමක් පෙන්වන අතර ඒ ගැන නියෝජ්‍ය අමාත්‍යං අනිල් ජනන්ත මහතා සිදුකළ පැහැදිලි කිරීමක් ද අප පසුව දක්වා තිබෙනවා.

එසේම, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2024 වසරේ වැය ශීර්ෂය බිලියන 6.6ක් වූ අතර අයවැය විවාදයේදී එහි වෙනසක් නොවී සම්මත වූ බැවින්, එම වසරේ වැය ශීර්ෂය බිලියන 6.6ක් ලෙස ගත හැකි වුවද, ජනපති අනුරගේ 2025 වසරට අදාළ විසර්ජන පනත අයවැය විවාදයේදී විශාල වෙනසක් සමඟ (බිලියන 9 දක්වා වැඩිවීම) සං‍ශෝධනය වී තිබු බැවින්, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ 2024 ජනපති වැය ශිර්ෂයට වඩා 2025 ජනපති වැය සිර්ශය අඩකින් අඩුවූ බව සඳහන් කිරීම නොමඟ යවන සුළුය. ඇත්තට 2024 ජනපති වැය ශිර්ෂයට වඩා, 2025 ජනපති වැය ශීර්ෂය ද බිලියන 2.4ක වැඩි අගයක් ගන්නවා.

2025 සාපේක්ෂව 2026 ජනාධිපති වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ ගිය බවට වන පුවත අසත්‍යයි –  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත

2026 – විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති වැය ශීර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති මුදල 2025 වසර සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමක් බවට ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ, අදාළ සංසන්දනය සඳහා යොදාගෙන ඇති  ගණනය කිරීමේ පදනම ම නිවැරදි නොවන බවයි. 

“2025 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී බිලියන 2.9ක් ඒ කියන්නේ මිලියන 2900ක්, ඒ මිලියන 2900 කියන්නේ 2025 වර්ෂයේ දී අයවැය යෝජනාවලින් ඇතුළත් වෙන්න ඕන සංඛ්‍යා නැතුව, 2025 වැය ශීර්ෂය බවට පත් වෙන්නේ ඉන් පසුව විශේෂයෙන්ම අපි ඇතුළත් කරනවා අයිතම 2ක්, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිද්ධ කරන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට වෙන් කරන රු. මිලියන 5050 කුත් පර්යේෂණ හා නවෝද්ත්පාදන සඳහා වෙන්වූ රු. මිලියන 1000 කුත් ඒ අනුව 2025 වර්ෂයේ නිවැරදි වෙන් කිරීම බවට පත් වෙන්නේ, රු. මිලියන 9000ක්. ඒ කියන්නේ රු. බිලියන 9ක්. 

එතකොට ඔවුන් සංසන්ධනය සඳහා ඉදිරිපත් කරනවා. රු.බි. 11.37ක් කියලා මේ 11.37ට ඇතුළත් වෙනවා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යන මුදලත් පර්යේෂණ සඳහා යන මුදලත්. ඒ අනුව පළමුවෙන්ම සංසන්ධනය සඳහා යොදා ගන්න එක තාක්ෂණිකවම වැරදියි. 

මේ වැරැද්ද නිසා තමයි නොමග යන ප්‍රවෘත්තිය හදලා තියෙන්නේ, කිසිදු වැඩිවීමක් නෙමෙයි තියෙන්නෙ, යම් අඩුවීම් ප්‍රමාණයක් ” 

අමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Avatar

Title:2025ට සාපේක්ෂව, 2026 ජනාධිපති වැය ශීර්ෂයේ තුන් ගුණයකින් ඉහළ ගිහින්ද?

Fact Check By: Factcrescendo Sri Lanka 

Result: Insight


Leave a Reply