දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
එක් පාර්ශවයක් නීතිපතිවරයාට පක්ෂවත් තවත් පාර්ශවයක් නීතිපතිවරයාට විරුද්ධවත් අදහස් පළ කරන වටපිටාවක් තුළ නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශාල කතිකාවක් නිර්මාණය වී තිබේ. ඒ අතර, අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත නීතිපතිවරයා සම්බන්ධයෙන් සිදු කළ බව කියමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී තිබුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
‘නීතිපතිවරයා ගියේ නැත්නම් යවන හැටි අපි දන්නවා – ලාල්කාන්තගෙන් තවත් සැර කතාවක්’ යන සඳහනින් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා නීතිපතිවරයා සම්බන්ධව ප්‍රකාශයක් සිදු කර ඇති බව කියමින් මෙම සටහන පළ කර තිබේ. බැලූ බැල්මට පෙනී යන්නේ, හිරු නිව්ස් ෆේස්බුක් ගිණුමේ පසුගිය 23 වැනිදා මෙම සටහන පළ කර ඇති බවයි.

Facebook | Archived Link Facebook | Archived Link
ඊට ලැබී තිබූ ප්‍රතිචාර මගින් සහ එය සමාජ මාධ්‍යයේ හුවමාරුවී ඇති වාර ගණන සැලකීමේදී තවදුරටත් පැහැදිලි වන්නේ, සත්‍ය ලෙසම අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇතැයි, බොහෝ පරිශීලකයින් විශ්වාසය පළ කර ඇති බවයි.
මෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඇමති ලාල් කාන්ත සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ
නීතීපතිවරයා පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයෙන් කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇතැයි, සමාජ මාධ්‍යයේ සංසරණය වන්නේ, මිහින්තලේ විහාරාධිපති හිමියන් සම්බන්ධයෙන් මෙන්ම අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෑතකාලීනව සිදු කළ අදහස් පළ කිරීම් පිළිබඳව සමාජයේ තවදුරටත් කතාබහ වෙමින් ඇති පසුබිමකදී ය. තව ද ‘විප්ලවීය ව්‍යවහාරයේ දෘෂ්ඨිවාදී සලකුණ ලෙනින් කියවමු’ මැයෙන් පසුගිය 21 වනදා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් ද මේ වනවිට සමාජ සංවාදයට බඳුන්වී තිබේ. දේශපාලනිකව ආණ්ඩුවට විවිධ ආකාරයේ විවේචන, ප්‍රහාර එල්ල කරන පිරිස් කුමන තරාතිමක, තනතුරක පසුවුව ද ඊට පෙරළා දරුණු ප්‍රහාර එල්ල කරන බවට අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා.
මං කළු කෝට් කාරයෙක්, මං ජාතික ඇඳුම ඇදලා ඉන්නේ, මං සිවුර ඇඳලා ඉන්නේ ඒ හින්දා ගහන්න බෑ. ඒගොල්ලන්ට කියන්නෙ තියෙන්නේ දේශපාලනය කරන්න එනවා නම්, ඒවා පැත්තකින් තියලා එන්න හැබැයි දෙන්න ඕන විවේචනය මොකක් ඇදන් හිටියත් අදාළ නෑ අපි ගහනවා. එහෙම නැත්නම් සමහර දේවල්වලින් වහගෙන ඉන්න අයට හරි හැටි දේශපාලන ප්‍රහාරය එල්ල කරන්න සිද්ද වෙන්නේ නෑ අකුලාගෙන බලාගෙන ඉන්න වෙන්නේ. ඒක කිව්වේ කාටද කියලත් මෙතන ඉන්න සහෝදර සහෝදරියන්ට අදහසක් ඇති අපිට, දේශපාලනිකව විවිධ ප්‍රහාරයන් එල්ල කරද්දි හැමෝම දැනගන්න ඕන අපිත් යම් මොහොතක පෙරළා පහර දෙනවා දරුණුම විදිහට – ඇමති ලාල් කාන්ත
සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ සටහනක් හිරු ෆේස්බුක් පිටුවේ නැහැ
මෙවැනි වටපිටාවක් තුළ නීතිපතිවරයා ඉවත් නොවන්නේ නම්, ඉවත් කරන හැටි දන්නවා යනුවෙන් අමාත්‍යවරයා සිදු කළ බව කියන ප්‍රකාශයක් හිරු පුවත් නිල ෆේස්බුක් පිටුවේ දැකගන්නට ලැබෙන්නේ නැහැ. එසේම හිරු ඩිජිටල් අංශය ද අපට තහවුරු කර සිටියේ හුවමාරු වන්නේ සිය ආකෘතිය යොදාගත් ව්‍යාජ සංස්කරණයක් බවත්, තමන් එවැන්නක් පළකර තිබුනේ නැති බවයි.
අමාත්‍යවරයා සිදු කළ බව කියන එවැනි ප්‍රකාශයක් වෙනත් ධාරාවේ මාධ්‍යක් විසින් හෝ විකාශය කර නොමැති බව අප තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී තහවුරු විය.
කෙසේ වෙතත් පසුගිය 24 වැනිදා මහනුවරදී පැවති වැඩසටහනකින් පසු නීතිපති හා විගණකාධිපති පත්කිරීම සම්බන්ධයෙන් රජයට එල්ලවන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, බංකොළොත් දේශපාලනඥයින් විගණකාධිපති සහ නීතිපති සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න මතුකරන බවත් ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය වන ධනාත්මක ක්‍රියාමාර්ග වේගයෙන් ගන්නා බවත් ය.
නමුත් මේ අවස්ථාවේදී හෝ අමාත්‍ය ලාල් කාන්ත විසින් නීතිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවට මාධ්‍ය වාර්තා නොමැත.
කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
නීතිපතිතවරයා සම්බන්ධයෙන් ලාල් කාන්ත අමාත්‍යවරයා සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ දැයි අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසා සිටියා. මාධ්‍ය ලේකම් කියා සිටියේ අමාත්‍යවරයා සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදු කර නොමැති බවයි.
මේ අනුව පවත්නා සාක්ෂි මත පැහැදිලි වන්නේ, කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා නීතීපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදු කර නොමැති බවයි.
නීතිපතිවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය
2024 වසරේදී මෙරට 49 වන නීතිපතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් වත්මන් නීතීපති කේ.ඒ. පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ මත පළ වෙමින් තිබේ. ඇතැම් පාර්ශව නීතිපතිවරයාට විරුද්ධව අදහස් පළ කරන වටපිටාවක් තුළ තවත් පිරිසක් නීතිපතිවරයා පක්ෂව අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකියි.
බරපතළ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ඇති ලිපි ගොනු යට ගසමින් ඇතැයි, චෝදනා කරමින් පසුගිය 21 වනදා නිතීපති දෙපාර්තතමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණේ එවැනි වටපිටාවක් තුළයි. විරෝධතාවට එක්වූ පිරිස පෙන්වා දුන්නේ, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු බරපතළ අපරාධ ගණනාවකට අදාළව වත්මන් නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ බරපතළ ගැටලුවක් පවතින බවයි.
ඒ අතර එදිනම පස්වරුවේ නීතිඥයින් පිරිසක් නීතිපතිවරයාට සහය පළ කරමින් නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ තිබූණා. නීතිපතිවරයා එම නීතීඥවරුන් හමුවේ ප්‍රකාශ කර තිබුණේ, තමන් නීතියට ඉහළින් සිටින අයකු නොවන බවත්, තමන් වරදක් සිදුකර තිබේ නම්, ඊට එරෙහිව ඕනෑම අයෙකුට අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ හැකියාව ඇති බවත් ය.
මේ අතර නීතිපතිවරයා ඉලක්ක කර ගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් පිළිබඳව නීතිඥ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් කනස්සල්ල පළ කර තිබුණා.
නීතිපතිවරයා සම්බන්ධ පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වූ අතර නීතිපති ධුරය සම්බන්ධව විපක්ෂ නායකවරයා සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අධිකරණ අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
නීතිපති ඉවත් කිරීමේ සූදානම පිළිබඳ මතවලට ආණ්ඩුවේ ප්‍රතිචාර
නීතිපතිවරයා ඉවත් කිරීමක්, දෝශාභියෝගයක් ගෙන ඒමක් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ කිසිදු සාකච්ඡාවක් සිදුව නැතැයි, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ, නීතිපතිවරයා සම්බන්ධව සමාජ මාධ්‍යයේ විවිධ මත පළ වන බවත්, සමාජ මාධ්‍ය ජාලාවල පළ වන ප්‍රකාශනයන්ට ආණ්ඩුවේ සම්බන්ධයක් නොමැති බවත් ය.
නීතිපතිවරයාට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමක් පිළිබඳ ආණ්ඩුවේ දැනට සාකච්ඡාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක නලින් ජයතිස්ස මහතා ද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ, ජනතාව බලපොරොත්තු වන වේගයෙන් හා කාර්යක්ෂමතාවෙන් යම් රාජ්‍ය ආයතනයක් ක්‍රියා නොකරන්නේ නම්, එකී රාජ්‍ය ආයතනවලට, නිලධාරීන්ට ඇතැම් චෝදනා එල්ලවීම ස්වාභාවික බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයට ‘නීතිපතිවරයා ගියේ නැත්නම් යවන හැටි අපි දන්නවා යනුවෙන්’ කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන හිරු පුවත් ආකෘතිය ව්‍යාජව භාවිත කරමින් සකසන ලද සමාජය නොමගයවන සුළු ආකාරයේ අසත්‍ය සටහනකි.
Title:නීතිපති ගියේ නැත්නම් යවන හැටි අපි දන්නවා යනුවෙන් ඇමති ලාල් කාන්ත ප්‍රකාශයක් කළා ද?
Fact Check By: Sagarika ChathumaliResult: False


