දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
2026 වසරේ මැයි මස පුන් පොහොය දෙකක් යෙදී තිබීම තුළ මෙරට වෙසක් සැමරුම පවත්වන දිනය සම්බන්ධව මෑතකාලීනව සංවාදාත්මක තත්ත්වයක් ගොඩ නැගී තිබිණ. ඒ අනුව මේ වනවිට මැයි 30 රාජ්‍ය වෙසක් සැමරුම පැවැත්වෙන බවටත් පොහොයට පසු දා මැයි 31 ඉරිදා රජයේ නිවාඩු දිනයක් ලෙසටත් රජය ප්‍රකාශයට පත් කර තිබේ. මේ ඒ පිළිබඳව සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
31 ඉරිදා නිවාඩු දිනයක් කියලා ගැසට් කරලා හරි පිළිවෙළයි දැන් යනුවෙන් සඳහන් කරමින් මෙම සටහන පළ කර තිබේ.


මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
බෞද්ධ සම්ප්රදායේ අතිශය වැදගත් හා පූජනීය පුන් පොහොය දිනය ලෙස සැලකෙන්නේ, වෙසක් පුන් පොහොය දිනයයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සිහිපත් කිරීම සඳහා ලොව පුරා බෞද්ධයන් විසින් වෙසක් පොහොය දිනය සමරනු ලබන අතර 2026 වසරේ ලෝකවාසී බෞද්ධ ජනතාව සමරනු ලබන්නේ, ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුන්‍ය මහෝත්සවයයි.
ශ්‍රී ලංකාවේ වෙසක් පොහොය ආගමික හා සංස්කෘතික අර්ථයෙන් විශේෂ වැදගත්කමක් දරන අතර වෙසක් පෝදා බෞද්ධ ජනතාව පන්සල් වෙත ගොස් වන්දනාමාන කිරීම, සිල් සමාදන් වීම, දානමය ක්‍රියා සිදු කිරීම සහ පහන්, වෙසක් කූඩු, ආලෝක පූජා වැනි අලංකාර අංග මගින් ආගමික භක්තිය ප්‍රකාශ කරයි.
2026 දින දර්ශනයට අනුව වෙසක් පෝය මැයි 01 වැනිදා
2026 ශ්‍රී ලංකා දින දර්ශනයට අනුව මැයි මාසයේදී පුන් පොහොය දෙකක් යෙදී ඇති අතර ඒ අනුව වෙසක් පොහොය යෙදී තිබුණේ, ලෝක කම්කරු දිනය යෙදී ඇති මැයි 01 වැනිදාටයි. ඒ අනුව මැයි පළමු වැනිදාට පසු දින එනම් මැයි 02 වැනිදා (සෙනසුරාදා) රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණ. දින දර්ශනයට අනුව මැයි 30 පොහොය නම් කර ඇත්තේ, අධිපොසොන් පුර පසළොස්වක පොහෝ දිනය ලෙසයි.

2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන්නැයි, මහනා හිමිවරුන්ගෙන් ඉල්ලීමක්
තෛනිකායික මහනා හිමිවරුන්ගේ අත්සනින් 2025.12.20 වැනිදා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක දැක්වෙන්නේ, සිද්ධාර්ථ කුමාරොත්පත්තියත්, සම්බුද්ධත්වයට පත් වීමත්, සම්බුද්ධ පරිනිර්වාණයත් විසා නැකතෙන් ම සිදු වී බැවින් නක්ෂත්රානුකූලව ද වෙසක් පුන් පොහෝ දිනය විසා නැකතට යෙදෙන පසළොස්වක දිනක ම යොදා ගැනීම චිරාගත චාරිත්‍රය බවයි.
එහෙත් එහි දැක්වෙන්නේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026.05.01 දින වෙසක් පුන් පොහෝ දිනය ලෙස ද 2026.05.30 දින අධිපොසොන් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ද යොදා ඇති නමුත් පළමු වැනිදාට විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මහා නායක හිමිවරුන් ප්රමුඛ කාරක මහා සංඝ සභාවන් නක්ෂත්ර ප්රවීණයන්ගේ ද අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලව ද විසා නැකත යෙදෙන මැයි 30 දින වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස යොදා ගැනීම සුදුසු බවට තීරණය කළ බවයි.
ඒ අනුව 2026 වසරේ මැයි 30 වැනිදා වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව ද මැයි 30 වැනි දින යොදා ගැනීමට රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙසත් මහ නා හිමිවරුන් අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.

මේ අතර මල්වතු විහාරයේ, උපලේඛනාධිකාරි මහවෙල රතනපාල හිමියන්ගෙන් ද අප මේ පිළිබඳව විමසීමක් සිදු කළා. උන්වහන්සේ ද සඳහන් කළේ, බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවන්පෑම සිදුව ඇති විසා නැකතෙන් වන අතර එම නැකත මැයි 01 වැනිදාට යෙදී ඇති පොහෙය දිනය යෙදී නොමැති බවයි. එහෙත් මැයි 30 පොහෙය දිනයට විසා නැකත යෙදී ඇති බැවින් අට්ඨ කතාවල එන විග්රහයන් සමග ගළපා විසා නැකත යෙදෙන 30 වැනිදා වෙසක් පෝය ලෙස සැලකිය යුතු වන බවට මහානායක හිමිවරුන් සිව් දෙනාම ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කළ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වැනිදා
2026 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රදේශයේ පිහිටි මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මාර්තු 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා. මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය ‘අභිත්ථරෙථ කල්‍යාණෙ ‘ (පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු) යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කර ඇති අතර 2026 වර්ෂයේ මැයි මස 27 දින සිට ජුනි මස 02 දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම කාලසීමාව තුළ විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධාන කර රට පුරා ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි. වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින්
ඒ අනුව පසුව මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු – අස්ගිරි මහනා හිමිවරුන් දැනුම්වත් කර තිබිණ. මහ නාහිමිවරුන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මීට පෙර මැයි 01 වැනිදාට වෙසක් පෙහොය යෙදෙන බවට පොහොය කමිටුව නිර්දේශ කර තිබූ නමුත් තෛනිකායික මහ නා හිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මැයි 30 වැනිදා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත් ඕනෑම පොහොය දිනයක් ආගමික කටයුතුවල නිතර විය හැකි බැවින් මැයි 01 වැනිදාට යෙදෙන පොහොය දිනයේදීත් ආගමික වතාවත්වල නිරතවීමට කිසිදු බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මැයි 31 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
නිවාඩු පනතට අනුව 2026 වසර සඳහා වන රාජයේ සහ බැංකු නිවාඩු ලෙස 2025 වසරේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් නිකුත් කරල ලද ගැසට් නිවේදනය අනුව වෙසක් පෝය දිනයට පසුදින නිවාඩුව ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ, මැයි 01 වැනිදාට පසු දින එනම් මැයි 02 සෙනසුරාදා දිනයයි. නමුත් මහා නාහිමිවරුන් ඇතුළු පාර්ශවවල ඉල්ලීම පරිදි මැයි 30 වැනිදාට යෙදෙන පෝය දිනයේදී රජය රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට තීරණය කිරීම මත වෙසක් පෝයට පසු දින නිවාඩු යෙදිය යුතු වන්නේ, මැයි 31 වනදා ය. දින දර්ශනයට අනුව මැයි 31 යෙදී ඇත්තේ, සති අන්තයේ ඉරිදා දිනයි. කෙසේ වෙතත් මැයි 30 වැනිදා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බව නිවේදනය කළ අවස්ථාවේ වෙසක් පෝයට පසුදින නිවාඩුවට අදාළ පෙර ගැසට් පත්‍රයේ වෙනසක් සිදුව නොතිබිණ.
එහෙත් අප්‍රේල් මස 21 වනදා රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් 2016 මැයි 02 දින ලබාදී තිබූ රජයේ නිවාඩුව 2026 මැයි 31 ලෙස සංශෝධනය කෙරිණ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ, මාර්තු 30 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි වෙසක් සතිය මැයි 27 දින සිට ජුනි 2 දක්වා ප්‍රකාශයට පත්කර ඇති බැවින් 1971 අංක 29 දරන නිවාඩු පනතේ 10 (1) (ආ) වන වගන්තියෙන් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සංශෝධනය සිදුකරන බවයි.

මැයි 31 වන ඉරිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවට වන පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබිණ.
වෙසක් පොහොයට පසුදින (ඉරිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීම
මැයි 31 වන ඉරිදා රාජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අප රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සිදු කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ, මැයි 31 ඉරිදා දිනයක් වුව ද වෙසක් දිනයට අදාළ කාර්යයන් මැයි මස 30 දිනට සිදු කරනු ලබන බැවින් සහ මීට පෙරදී ද වෙසක් පොහොය දිනට පසු දින ඉරිදා දිනයක් යෙදුණ හොත් එදින නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇති බැවින් මෙලෙස 2026 මැයි 31 ඉරිදා දින නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇති බවයි.
මේ අතර අප්‍රේල් 22 වනදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා ද සඳහන් කර සිටියේ, වෙසක් පොහොයට පසුදින ඉරිදා දිනයන් යෙදුණු අවස්ථාවල එම දිනයන් නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කිරීම මීට පෙර ද වාර්තා වී ඇති බවයි.
ඒ අනුව ඉරිදා දිනයන් රජයේ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කළ අවස්ථා පූර්වයෙන් වාර්තා වී තිබේ දැයි අප පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා. අප කළ පරීක්ෂාවේදී 2016 වසරේ වෙසක් පොහොය දිනය සෙනසුරාදාට යෙදී තිබී ඇති බවත් ඒ අනුව වෙසක් පොහොයට පසුදින ඉරිදා රජයේ නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර තිබී ඇති බවත් මෙලෙස දැකගත හැකි විය.

මේ අනුව පැහැදිලි වන්නේ, 2026 වසරේ මැයි මාසයේ පුන් පොහොය දෙකක් යෙදී ඇති බවත් මුලින් මැයි 01 වැනිදාට යෙදෙන පොහොය දිනය වෙසක් පොහොය ලෙස ප්‍රකාශයට පත්වී තිබූ නමුත් මහ නා හිමිවරුන් ප්‍රමූඛ පාර්ශවවල ඉල්ලීම පාදක කර ගනිමින් විසා නැකත යෙදී ඇති මැයි 30 වනදා පොහොය දිනයේ වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වීමට රජය තීරණය කර ඇති බවයි. මේ අතර මුලින් වෙසක් පොහොයට පසුදින නිවාඩුව ලෙස 2025 වසරේදී 2026 මැයි 02 වැනිදා ප්‍රකාශයට පත් කර තිබුණ ද වෙසක් සතිය මැයි 27 දින සිට ජුනි 2 දක්වා පැවැත්වීමට තීරණය කිරීම මත වෙසක් පෝයට පසුදින නිවාඩුව මැයි 31 බවට ප්‍රකාශ කර තිබේ. තවද ඉරිදා දිනයන් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය නොවන බව ද පැහැදිලි වේ.
Facebook | Twitter | Instagram | Google News | TikTok


