දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්රසේනන මහතා සැක කටයුතු ලෙස මිය යාමත් සමග ඔහුගේ මරණය සම්බන්ධයෙන් සමාජය තුල විවිධ කතාබහ නිර්මාණය වී තිබුණා. මෙවන් පසුබිමක කපිල චන්ද්‍රසේන මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද සටහනක් ලෙසින් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. මේ සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍යය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබූ අතර ඒ හේතුවෙන් අප විසින් ඒ සම්බන්ධයෙන් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මියගිය කපිල චන්ද්‍රසේන මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලාංඡනය සහිතව නාමල් රාජපක්ෂ මහතාා විසින් නිකුත් කරන ලද සටහනක් ලෙස දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් හුවමාරු වී තිබුණා.


අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම් ද සලකා බලමින් මෙම සටහන සත්‍ය ලෙසම නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද සටහනක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා 2026 මැයි 8 දින මිය ගොස් ඇති අතර, කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි නිවසක තිබී ඔහුගේ මළ සිරුර හමු විය. ඔහු ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරන නමුත්, එය සැකකටයුතු මරණයක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලදී. 2026 මැයි 9 කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර, මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී පස් පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් මගින් පැවැත්වීමට නියම විය.
2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක (සමස්ත පොරොන්දුව ඩොලර් මිලියන 16.84කි) අල්ලසක් ලබාගත් බවට ඔහුට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල විය. මෙම දූෂණ චෝදනා මත ඔහු 2020 වසරේදී මුලින්ම අත්අඩංගුවට ගත් අතර, පසුව 2026 මාර්තු 12 වන දින අල්ලස් කොමිසම මගින් නැවත අත්අඩංගුවට ගනු ලැබීය. දින 54ක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි චන්ද්‍රසේන මහතාට මැයි 5 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැඩි කොන්දේසි සහිත ඇප නියම කරන ලදී. ඔහු ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ඇපකරුවන් දෙදෙනෙකු ව්‍යාජ පුද්ගලයින් බව අනාවරණය වීම නිසා, අධිකරණය ඔහුගේ ඇප අවලංගු කර නැවත අත්අඩංගුවට ගැනීමට 2026.05.07 දින වරෙන්තු නිකුත් කරන ලදී. 2026 මැයි 8 උදෑසන ඔහුගේ මළ සිරුර හමු වී තිබුණේ මෙවන් පසුබිමකදීය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් මෙතනින් සහ මෙතනින්.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි ආන්දෝලනයක් මතුවී ඇති පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කපිල චන්ද්‍රසේන මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් නිකුත් කර ඇති සටහනක් ලෙස දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙවන් පසුබිමකයි. අප විසින් නාමල් රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණේ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළ අතර, එම ගිණුම් කිසිවක අදාල සටහන පළ කර තිබුණේ නැහැ.
ව්‍යාජ සටහනක්
මේ සම්බන්ධයෙන් සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය විසින් අදාළ සටහන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කෙරෙහි අප්‍රසාදය ඇතිකිරීමේ අරමුණින්, සංස්කරණය කර පලකරන ලද්දක් බව දක්වා තිබුණා.

කෙසේ නමුත් 2026.05.09 වන දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ, අද වනවිට ආණ්ඩුවට, පොලිසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් කොමිසමට අවශ්‍ය ආකාරයට හැසිරුණේ නැත්නම්, සැකකරුවන් සියදිවි හානිකර ගන්නා තත්ත්වයට පත්වන තුරු බලපෑම් සිදු කරමින් පවතින බවයි. පොලිසියට අවශ්‍ය ප්‍රකාශය සටහන් කරගන්නා තෙක් සැකකරුවන් නොමරා මරන බවත්, විවිධ බලපෑම් කරන බවයි ඔහු පවසා තිබුණා. “මහින්දගේ හා නාමල්ගේ නම ප්‍රකාශ කරන” ලෙසට සැකකරුට බලපෑම් එල්ල වී ඇති බවත්, දැන් එම පුද්ගලයා මියගොස් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළ අතර, මෙයට වග කියන්නේ කවුරුන්ද යන්නත් ඔහු විමසා සිටියා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සහ ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් පළ කරන ලද සටහනක් ලෙස දක්වමින් හුවමාරු වන සටහන ව්‍යාජ ලෙස නිර්මාණය කළ සටහනක් බවයි.


