දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වශයෙන් කටයුතු කළ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වුණු අසාර්දීන් මොයිනුදීන් මහතා අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්වී තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් සහ සමාජ මාධ්‍ය ඔස්සේ අදාල නියෝජ්‍ය නගරාධිපතිවරයා ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු ලෙස දක්වමින් නොමඟ යවන සුළු ලෙස කරුණු වාර්තා කරන ආකාරය බහුලව නිරීක්‍ෂණය කළ හැකි වුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මාලිමාවේ කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති ලක්ෂ 30 ක අල්ලසක් ලබා ගැනීමේ දී හසු වී ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

අදාළ සටහන සහ ඊට සමාන තවත් සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.



Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අසාර්දින් මොයිනුදීන් රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදී බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ඉල්ලා ඇත. ව්‍යාපාරිකයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මේ පිළිබඳව පැමිණිල්ලක් කර ඇත. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම සැලසුම් කර තිබෙනවා. සැකකරු 2026 මැයි 09 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අත්අඩංගුවට පත් කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මාලිමාවේ සාමාජිකයකු නොවේ
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත් වුණු අසාර්දින් මොයිනුදීන් කුරුණෑගල මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට සහාය ලබාදී නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාගෙන තිබුණි. අල්ලස් සිදුවීමෙන් පසු, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
පසුගිය පළාත් පාලන ආයතනය ඡන්ද විමසීමේදී කුරුණෑගල මහ නගර සභාවේ ආසන බෙදී ගිය ආකාරය මෙතනින්

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ සභිකයින් 22න් 10ක් හිමි වූයේ ජාතික ජන බලවේගය පක්ෂයටය. බෝනස් මන්ත්‍රී ධුරය සමඟ සමගි ජන බලවේගය පක්ෂයට මන්ත්‍රී ධුර 5ක් ද, ශ්‍රී ලංකා මහජන පක්ෂයට මන්ත්‍රී ධුර 2ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, පොදුජන එක්සත් පෙරමුණට, සමස්ත ලංකා මහජන කොංග්‍රසයට, එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජාතික පෙරමුණ පක්ෂයට එක් මන්ත්‍රී ධුරය බැඟින් ද හිමිවී තිබේ. මේ අනුව කිසිදු දේශපාලන පක්ෂයකට සියයට පනහක බලයක් හිමි නොවීම හේතුවෙන් නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසුමක් පැවැත්වීමට සිදු වී තිබේ. එහිදී නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට රහස් ජන්දයක් පැවැත්විය යුතු බවට ජාතික ජන බලවේගය පක්ෂය යෝජනා කර ඇති අතර, විවෘත ජන්දයක් පැවැත්විය යුතු බවට සමගි ජන බලවේගය පක්ෂය යෝජනා කර ඇත. ඒ අනුව කුමන ජන්ද ක්‍රමයක්ද ක්‍රියාත්මක කළ යුත්තේ යන්න සඳහා පැවත්වූ ඡන්ද විමසුමේදී රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 2 කින් සම්මත වී ඇත. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම් නායක ආනන්ද සහබන්දු මහතා ජන්ද 12ක් හිමිකරගෙන ඇති අතර, සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද සුමේධ අරුණ ශාන්ත මහතාට හිමි වූයේ ඡන්ද 10කි. එම ප්‍රතිඵලයට අනුව කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ආනන්ද සහබන්දු මහතා තේරී පත් වී තිබේ. නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පවත්වන ලද රහස් ඡන්දයෙන් ජාතික ජන බලවේගය පක්ෂය විසින් යෝජනා කරන ලද සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ මොයිනුදීන් අසාරුඩීන් මහතා වැඩි ඡන්ද 2කින් ජයග්‍රහණය කර කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙසින් පත් වී තිබෙනවා. ඔහුට ඡන්ද 12ක් ලැබුණු අතර ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ ගාමිණි පෙරමුණගේ මහතාට ඡන්ද 10ක් ලැබී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
කුරුණෑගල මහනගර සභාව – ජාතික ජන බලවේගය
අප විසින් මේ සම්බන්ධයෙන් තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් විසින් සඳහන් කළේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් කුරුණෑගල මහ නගර සභාවේ ආසන 10ක් දිනාගත් බවත්, මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් මන්ත්‍රී ආසන දෙකක අවශ්‍යතාවය තිබූ බවත්, ඒ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වුණු අසාර්දීන් මොයිනුදීන් මහතා සහ තවත් ස්වාධීන අපේක්ෂකයකුගේ සහය හිමි වූ බවත් ඒ අනුව මාලිමාව කුරුණෑගල මහ නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කළ බවත් සඳහන් කළා. එහිදී මෙම සහාය දැක්වූ මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් කොන්දේසියක් ලෙස නියෝජ්‍ය නගරාධිපති ධූරය වසර දෙක බැගින් අවශ්‍ය බව ඉදිරිපත් කළ බවත්, ඒ අනුව මෙම මන්ත්‍රීවරයා නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගය විසින් යෝජනා කළ බවත්, ඒ අනුව ඔහු නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ බවත් සඳහන් කළා. නමුත් මෙම නියෝජ්‍ය නගරාධිපතිවරයා ජාතික ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලා කුරුණෑගල මහ නගර සභාවට තේරීපත් වූ අයෙකු හෝ ජාතික ජන බලවේගයේ කණ්ඩායමට අයත් කෙනෙකු නොවන බවත්, එම මොහොතේදී නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය සහයෝගය පමණක් ඔහුගෙන් ලබාගත් බවත් වැඩි දුරටත් සඳහන් කළා.
ජාතික ජන බලවේගය
අල්ලස් ලබා ගැනීමට යාමේදී අත්අඩංගුවට පත් කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මාලිමා සාමාජිකයකු බවට පැතිර යන සටහන් සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු කර ගැනීම සඳහා මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන්ද විමසීමක් කළ අතර, එහිදී ඔවුන් විසින් තහවුරු කළේ, අත්අඩංගුවට පත් කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මාලිමාවේ සමාජිකයකු නොවන බවත් ඔහු හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වුණු මන්ත්‍රීවරයකු බවත් ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අල්ලස් ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත් කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ජාතික ජන බලවේගයේ අයෙකු ලෙස දක්වමින් හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. අදාල නියෝජ්‍ය නගරාධිපතිවරයා රිෂාඩ් බදුයුදීන් මහතා විසින් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරීපත් වූ මන්ත්‍රීවරයකු වන අතර, කුරුණෑගල මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී ඔහු ජාතික ජන බලවේගයට සහාය ලබා දී තිබෙනවා. එහිදී ඇති කරගත් කොන්දේසියකට අනුව කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගය විසින් ඔහු යෝජනා කර ඇති අතර, ඒ අනුව නියෝජන නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති ඡන්දයෙන් ඔහු කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්වී තිබෙනවා. කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් සහ ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය විසින් තහවුරු කළේ, මෙම පුද්ගලයා ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු හෝ ජාතික ජන බලවේගයේ කුරුණෑගල මහ නගර සභා කණ්ඩායමේ අයෙකු නොවන බවයි.


