දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් “ලොව පොහොසත්ම රට බවට ලංකාව පත් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණු බවට” ප්‍රකාශ කළ බව හඟවමින්, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය විසින් සටහනක් වාර්තා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
“ලොව පොහොසත්ම රට බවට ලංකාව පත් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා – මාලිමා මන්ත්‍රී රවින්ද්‍ර” යනුවෙන් දක්වමින් සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

එම පුවත වෙබ් අඩවියේ ද වාර්තා කර තිබුනේ මෙලෙසින්. Web link |Archived link
සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ සටහන උපුටා දක්වමින් තවත් සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්,





Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා විසින් සැබෑ ලෙසම මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
Fact check (කරුණු විමර්ශනය කිරීම):
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ ඉහත සටහන් නිර්මාණය කිරීමට පදනම් වී ඇත්තේ කුමක්ද යන්න සොයා බැලීමේදී පැහැදිලි වූයේ 2026.06.26 දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මත පදනම්ව ඉහත සටහන් නිර්මාණය කර ඇති බවයි.
ඒ අනුව අප විසින් එදින පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා විසින් සිදු කරන ලද සම්පූර්ණ ප්‍රකාශය වෙත අවධානය යොමු කළා. ඒ මහතා විසින් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඔහුගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේද සම්පූර්ණ ප්‍රකාශය පළ කර තිබුණේ මෙලෙසින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා විසින්, සිදුකළ ප්රකාශයේදී ඒ මහතා විසින් පවසන්නේ,
“ඔබ දකින්න ඇති සතියකට දෙකකට ඉස්සෙල්ලා ග්‍රීන් හයිඩ්රජන් ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ලැබුණා. මොකක්ද ග්‍රීන් හයිඩ්රජන් කියලා කියන්නේ? ග්‍රීන් හයිඩ්රජන් තමයි අනාගතයේ බලශක්තියේ ප්‍රධාන දේ. එතකොට ඒක පිරිසිදුම ඉන්ධනය. ඒකට තියෙන සියලු විභවය අපේ රටේ තියෙනවා. අපේ සූර්ය විදුලිය, ඒ වගේම ජලය, ඒ වගේම සුළඟ ඒ සියල්ල අපිට තියෙනවා. ඒ සියල්ල අපිට තියෙනකොට අපිට පුළුවන් ඒ සියල්ල යොදාගෙන ග්‍රීන් හයිඩ්රජන් නිපදවන්න. ග්‍රීන් හයිඩ්රජන් නිපදවුවොත් ඒක ඉන්ධනයක් ලෙස එක පැත්තකින් යෙදෙනවා, අනිත් පැත්තෙන් ඒක තුළ අපේ පරිසර දූෂණය කාබන්ඩයොක්සයිඩ් පිටවීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා.
මේ සූර්ය විදුලිය එනකොට, ග්‍රීන් හයිඩ්රජන් හරහා මේ රට ඉස්සරහට යනකොට මේක ලෝකයේ තියෙන පොහොසත් ලස්සන රට බවට එනවා. මොකද ග්‍රීන් හයිඩ්රජන් තුළ අපට ඒක තියෙනවා. ඒකට තමයි කැබිනට් අනුමැතිය හම්බුණේ. ඒ ග්‍රීන් හයිඩ්රජන් එනකොට අපි හයිඩ්රජන් නිපදවනවා කාබන් විමෝචනයෙන් තොරව. ඒකත් එක්ක අපි වායුගෝලීය නයිට්රජන් එක්කලා ග්‍රීන් ඇමෝනියා හදනවා. ග්‍රීන් ඇමෝනියා හැදුවොත් අපි දන්නවා අපේ රටේ පොහොර ප්රශ්නය විසඳෙනවා. අපේ රටේ වැඩිම විදේශ විනිමයක් එළියට යන්නේ පොසිල ඉන්ධන ගේන්න සහ පොහොර ගේන්නයි. පොහොර ලංකාවට ගේන්න ඕනේ නැහැ, ලංකාවේම නිෂ්පාදනය කරලා අපනයනය කරන්න පුළුවන්, ඒක ග්‍රීන් ඇමෝනියා හරහා. අන්න එහෙම තමයි සැලසුම් සහගත රජයක් ඉන්නේ.” යනුවෙනි.
එම ප්‍රකාශය සහිත පාර්ලිමේන්තු විවාදයේ සම්පූර්ණ වීඩියෝව මෙතනින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය නිරීක්ෂණය කිරීමේදී “ලොව පොහොසත්ම රට බවට ලංකාව පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවට” මන්ත්‍රීවරයා සෘජුව ප්‍රකාශ කරන බවක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
කෙසේ නමුත් මන්ත්‍රීවරයා, කැබිනට් අනුමැතිය ලැබුණු, ග්‍රීන් හයිඩ්රජන් ව්‍යාපෘතිය හරහා, රට ඉදිරියට යන විට ලෝකයේ තිබෙන පොහොසත් ලස්සන රට බවට ශ්‍රී ලංකාව එන බවට ප්‍රකාශ කර තිබෙනවා.
හිරු නාලිකාව විසින් පළ කළ සටහන පසුව සංස්කරණය කර ඇත.
සමාජ මාධ්‍ය මගින් උපුටා දක්වා තිබූ හිරු නාලිකාව විසින් පළ කළ “ලොව පොහොසත්ම රට බවට ලංකාව පත් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර” යන සටහන ඔවුන් විසින් පසුව සංස්කරණය තිබුණා. ඒ “ලොව පොහොසත්ම රටක් බවට ලංකාව පත් කරන ග්‍රීන් හයිඩ්රජන් ව්‍යාපෘතියට අනුමැතිය ලැබුණා – මාලිමා මන්ත්‍රී රවින්ද්‍ර” යනුවෙන් දක්වමින්. එම නව සටහන මෙතනින්.
හිරු නාලිකාව විසින් එම සටහන සංස්කරණය කල ද, එහි මුල් සටහන යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් නිර්මාණය කරන ආකාරය දිගින් දිගටම නිරීක්ෂණය කළ හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා
අප විසින් සිදුකළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්වල සඳහන් වන්නේ තමාගේ ප්‍රකාශය නොවන බවයි. තමා විසින් සිදු කළ ප්‍රකාශයේ අර්ථය විකෘති කර, සිය කතාවේ සන්දර්භය ද අඩංගු නොකර, නොමග යවන සුළු ලෙස මෙම සටහන් වාර්තා කර ඇති බව ඔහු සඳහන් කළා.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන්න ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වන ප්රමුඛ අරමුණ බවත්, තමා සිය කතාවේ දී ද ඒ අනුව පොහොසත් රටක් බවට පත්කිරීමේ පක්ෂයේ ප්‍රතිපත්තිය අදහස් කළ බවත්, ලංකාව ලොව පොහොසත්ම රට බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවට වාර්තා කිරීම, සිය ප්‍රකාශය සම්පුර්ණයෙන්ම විකෘති කිරීමක් බවයි මන්ත්‍රීවරයා අපට පැහැදිලි කර සිටියේ.
තමා විසින් සම්පූර්ණ ප්‍රකාශය තුළ සඳහන් කරන ලද්දේ, ග්‍රීන් හයිඩ්රජන් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව මිස ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවට තමා විසින් ප්‍රකාශ නොකළ බව මන්ත්‍රීවරයා විසින් සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා විසින් අදාළ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් සටහනක් ද පල කරමින් දක්වා තිබුණේ එම සටහන් අසත්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්රජන් (National Green Hydrogen Policy) සඳහා 2026 ජූනි මස 08 වන දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබුණා. ඒ සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින්.
හරිත හයිඩ්රජන් (Green Hydrogen) යනු කුමක්ද?
ජලය තුළ අඩංගු Hydrogen සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය විද්‍යුත් විච්ඡේදනය (Electrolysis) නමැති ක්‍රියාවලිය හරහා වෙන්කර හයිඩ්රජන් ඉන්ධනයක් ලෙස ලබාගැනීම මෙහිදී සිදු වේ. මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය විදුලි බලය සූර්ය බලය හෝ සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයකින් ලබාගන්නා බැවින්, එය සම්පූර්ණයෙන්ම කාබන් විමෝචනයෙන් තොර පිරිසිදු ක්‍රමයක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව හරිත හයිඩ්රජන් (Green Hydrogen) ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හරහා බලාපොරොත්තු වන්නේ අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගනිමින්, ජාත්‍යන්තර වෙළඳපොළට හරිත හයිඩ්රජන් හා ඇමෝනියා අපනයනය කිරීමෙන් විදේශ විනිමය ආදායමක් උපයා ගැනීම සහ රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමයි. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “ලොව පොහොසත්ම රට බවට ලංකාව පත් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා” යනුවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන්, සම්පුර්ණ සන්දර්භය අඩංගු නොවන, නොමග යවන සුළු බවයි.
මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ ප්රකාශයේදී සඳහන් කර ඇත්තේ, ග්‍රීන් හයිඩ්රජන් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ග්‍රීන් හයිඩ්රජන් ව්‍යාපෘතිය හරහා මේ රට ඉදිරියට යන විට එය ලෝකයේ ඇති පොහොසත් ලස්සන රට බවට එන බවත් ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා සඳහන් කළේ ද, තමා විසින් සම්පූර්ණ ප්‍රකාශය තුලින් අදහස් කළේ, ග්‍රීන් හයිඩ්රජන් ව්‍යාපෘතිය සඳහා ලැබුණු කැබිනට් අනුමැතිය ඔස්සේ, ලංකාව, පක්ෂයේ ප්‍රතිපත්ති අරමුණක් වන, පොහොසත් රටක් ලස්සන ජිවිතයක් බවට පත්කිරීම බවත්, ලොව පොහොසත්ම රට බවට ලංකාව පත් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණු බවට ප්‍රකාශයක් තමා විසින් සිදු කර නොමැති බවත් ය


