දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
චීනයේ නැගෙනහිර ෂින්ජියැං කලාපයේ උයිගර් සුළුතර ජනතාවට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක වන බවත්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඒ සම්බන්ධයෙන් චෝදනා කරන බවත් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. චීනයේ බීජිං පරිපාලනය උයිගර් දරුවන් සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක අත්හදා බැලීම් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ලෙස දක්වමින් හුවමාරු වී තිබූ එම වීඩියෝවේ සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් Factcrescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
චීනයේ වයඹදිග ෂින්ජියැං කලාපයේ වෙසෙන උයිගර් මුස්ලිම් සුළුතර ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය, මානව හිමිකම් සංවිධාන සහ චීන රජය අතර පවතින මතවාදී ගැටුම වර්තමානය වන විටත් ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. එවැනි පසුබිමකදී චීන රජය විසින් උයිගර් දරුවන් සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක අත්හදා බැලීම් හෝ වෛද්‍යමය පරීක්ෂණ සිදු කරන බවට මෙවැනි වීඩියෝවකින් හෙලි දරව් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය, මානව හිමිකම් සංවිධාන ඇතුළු ලෝකයේ අවධානය යොමු විය යුතු අතර, ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබිය යුතුයි.
කෙසේ නමුත් අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ චීනයේ බීජින් පරිපාලනය විසින් උයිගර් දරුවන් සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක අත්හදා බැලීම් සිදුකරන ආකාරය ලෙස දැක්වෙමින් හුවමාරු වන වීඩියෝව සහ එම ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු නිල සාක්ෂියක් හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් නොමැති බවයි. අදාළ වීඩියෝ දර්ශනය හෝ චීන රජය විසින් උයිගර් දරුවන් සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක අත්හදා බැලීම් හෝ වෛද්‍යමය පරීක්ෂණ සිදු කරන බවට සඳහනක් කිසිඳු ජාත්‍යන්තර විශ්වසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කර නොමැත.
ඒ අනුව අප විසින් ඉහත වීඩියෝව කුමක්ද යන්න සොයා බැලීම සඳහා එහි දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළා. එහිදී හඳුනා ගැනීමට ලැබුණේ අදාළ වීඩියෝව 2023 අප්‍රේල් 15 වන දින ට්විටර් ගිණුමක් ඔස්සේ පළ කර ඇති බවයි. එය පළ කර තිබුණේ, ඇමරිකාවේ වෙසෙන, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු වන ජියේ ලිජියන් විසිනි. එම වීඩියෝවේ දැක්වෙන්නේ දරුවන් දෙදෙනෙකු සිලින්ඩරාකාර වීදුරු කුටි දෙකක් තුළ උඩුබැලි අතට වැතිර සිටින බවත්, පසුබිමෙන් හෙදියක් එක් කුටියක දොරක් වසා දමන ආකාරයත් ය.
එම වීඩියෝවට තබා තිබූ සටහන තුළ අන්තර්ගතව තිබුණේ, “අහිංසක උයිගුර් දරුවන්ව චීන කොමියුනිස්ට් පක්ෂයේ වධකාගාරවල සිරකර වධහිංසා පමුණුවනවා. වධකාගාරවල සිරකර සිටින ඔවුන්ගේ දෙමාපියන් ජන සංහාරක පීඩාවලට ලක්වෙමින් සිටින අතර, ඔවුන්ට තමන්ගේම දරුවන්ව අවසන් වරට දැකගන්නටවත් ලැබෙන්නේ නැහැ.” යනුවෙනි.

කෙසේ වෙතත්, වීඩියෝවට පළ වූ පරිශීලක අදහස් කිහිපයක්ම යෝජනා කළේ එහි පෙනෙන්නේ වධහිංසාවක් නොව වෛද්‍ය ප්‍රතිකාරයක් විය හැකි බවයි.
වීඩියෝවේ ඇති වීදුරු කුටි මොනවාද?
එසේම එම ටිව්ටර් සටහන පළ කිරීමට පෙර මීට පෙර පළ කර 2023 පෙබරවාරි මාසයේදී මෙම වීඩියෝව සමගින් පල කර තිබූ ට්විටර් පණිවිඩ දෙකක්ද හමු වුණා.
2023 පෙබරවාරි 17 වන දින පළ වූ පළමු ට්විටර් පණිවිඩයෙන් ප්‍රශ්න කර තිබුණේ මෙය චීනයේ ‘ කොවිඩ් Zero’ (zero-COVID) ප්‍රතිපත්තිය යටතේ කොවිඩ් රෝගීන් නිරෝධායනය කිරීමට භාවිත කළ කුටියක්ද යන්නයි.

එසේම 2023 පෙබරවාරි 18 වන දින පළ වූ දෙවන ට්විටර් පණිවිඩයේ පවසා තිබුණේ උයිගුර් දරුවන්ට කිසියම් අභිරහස් ප්‍රතිකාරයක් ලබා දෙන බවයි.

පෙබරවාරි 18 වන දින පළ වූ මෙම ට්විටර් පණිවිඩයේ විවිධ කෝණවලින් ගත් තවත් වීඩියෝද ඇතුළත් වී තිබුණා. ඒවා ඉතා සමීපව පරීක්ෂා කිරීමේදී, මෙහි ඇති වීදුරු කුටියේ එක් පැත්තක චීන භාෂාවෙන් මුද්‍රණය කර ඇති මොඩල් අංකයක් නිරීක්ෂණය විය. එහි සඳහන් වූයේ “Infant Oxygen Chamber Model YLC0.5/1.5” (ළදරු ඔක්සිජන් කුටිය, මොඩලය YLC0.5/1.5) ලෙසයි.

ළදරු ඔක්සිජන් කුටි භාවිත කරන්නේ කුමකටද?
එසේම ඉහත උපකරණයට බෙහෙවින් සමාන උපකරණයක් චීනයේ සිගොන්ග් මාතෲ හා ළමා සෞඛ්‍ය රෝහල විසින්ද පළ කර තිබුණා. එහි දක්වා තිබුණේ එම උපකරණය හයිපර්බර්ක් ඔක්සිජන් චිකිත්සාව සඳහා යොදා ගන්නා බවයි.

චීනයේ සිගොන්ග් මාතෲ හා ළමා සෞඛ්‍ය රෝහල
චීන වෛද්‍ය උපකරණ වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි, මෙම කුටි භාවිත කරන්නේ අලුත උපන් බිළිඳුන් හුස්ම හිරවීම, අපස්මාරය (epilepsy) හෝ මොළයට රුධිරය ගලා යාම අඩුවීම ඇතුළු රෝගී තත්ත්වයන් සඳහා ඔක්සිජන් ප්‍රතිකාර ලබා දීමටයි.
එසේම මෙම වීඩියෝව සම්බන්ධයෙන් Radio Free Asia (RFA) හි Asia Fact Check Lab (AFCL) ඒකකය විසින් තායිවානයේ හයිපර්බරික් සහ සාගර වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය හ්සියා ටේ-චුන් (Dr. Hsia Te-Chun) මහතාගෙන් සිදු කළ විමසීමේදී ඔහු තහවුරු කර තිබුණේ, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ දරුවන් සඳහා භාවිතා වන සම්මත ඔක්සිජන් කුටියක් බවයි. මස්තිෂ්ක අංශභාගය (cerebral palsy) සහ ඕටිසම් (autism) තත්ත්වයන් සහිත දරුවන්ට මෙම ප්‍රතිකාරය බහුලව ලබා දෙන බව ඔහු පැහැදිලි කර තිබුණා. වීඩියෝව පරීක්ෂා කළ එම වෛද්‍යවරයා පෙන්වා දී තිබුණේ, දරුවන්ගේ දෑත් සහ දෙපා නිතර ගැස්සීමට ලක්වීම (spasms) මස්තිෂ්ක අංශභාගයේ ලක්ෂණයක් බවයි. මෙය චීනයේ ‘කොවිඩ් Zero’ ප්‍රතිපත්තිය යටතේ සිදුකළ ප්‍රතිකාරයක් බවට පළ වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා තිබුණේ, කොවිඩ් සඳහා ඔක්සිජන් ප්‍රතිකාරය නිල ප්‍රතිකාර ක්‍රමයක් නොවන බවයි. එම සම්පූර්ණ කරුණු පරීක්ෂාව මෙතනින්.
කෙසේ වෙතත්, මෙම වීඩියෝව මුලින්ම රූගත කරන ලද නිශ්චිත රෝහල හෝ ස්ථානය ස්වාධීනව තහවුරු කර ගැනීමට නොහැකි වූ බව ද සඳහන් කළ යුතුය. අප තහවුරු කරනු ලබන්නේ වීඩියෝවේ දැක්වෙන උපකරණය සහ එහි සිදුවන ප්‍රතිකාරයේ ස්වභාවය මිස, එය රූගත වූ නිශ්චිත රෝහල නොවේ.
ෂින්ජියැං උයිගර් අර්බුදය
චීනයේ වයඹදිග ෂින්ජියැං කලාපයේ වෙසෙන උයිගර් මුස්ලිම් සුළුතර ජනතාව මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය, මානව හිමිකම් සංවිධාන සහ චීන රජය අතර පවතින මතවාදී ගැටුම ලෝකයේ අවධානයට ලක්ව තිබේ. මෙවැනි සටහන් සංසරණය වීමට හේතුව වන්නේ ද එයයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) 2022 අගෝස්තු තක්සේරු වාර්තාව නිගමනය කළේ, ෂින්ජියැං කලාපයේ උයිගර් සහ අනෙකුත් මුස්ලිම් සුළුතරයන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝන සිදුව ඇති බවත්, ඒවා ‘ජාත්‍යන්තර අපරාධ, විශේෂයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ (crimes against humanity) විය හැකි’ බවත් ය.
චීන රජය විසින් ජාත්‍යන්තර මාධ්‍ය සහ බටහිර රටවල් එල්ල කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම යන චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලබයි. චීන රජයේ නිල ස්වේත පත්‍රිකාවලට (White Papers) අනුව, ෂින්ජියැං කලාපයේ උයිගර් බෙදුම්වාදී සහ අන්තවාදී කණ්ඩායම් විසින් සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීම සඳහා ඔවුන් මෙම පියවර ගෙන ඇත. ජාත්‍යන්තරය මගින් රැඳවුම් කඳවුරු ලෙස හඳුන්වන ස්ථාන සැබවින්ම වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු මධ්‍යස්ථාන බවත්, එමඟින් අන්තවාදය තුරන් කර ජනතාවට රැකියා පුහුණුව ලබා දෙන බවත් චීනය පවසයි. චීන රජය අවධාරණය කරන්නේ තමන්ගේ මැදිහත්වීම නිසා ෂින්ජියැං කලාපයේ අන්ත දරිද්‍රතාවය තුරන් කර ඇති බවත්, ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආර්ථිකය පෙරට වඩා බෙහෙවින් දියුණු වී ඇති බවත්ය. එසේම ඇමරිකානු රජය විසින් උයිගර් බලහත්කාර ශ්‍රම වැළැක්වීමේ පනත (UFLPA) ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව ෂින්ජියැං කලාපයේ නිපදවන භාණ්ඩ (කපු, සූර්ය පැනල උපාංග ආදී) බලහත්කාර ශ්‍රමය යොදාගෙන නැති බව සහතික කරන තෙක් ඇමරිකාවට ආනයනය කිරීම තහනම් කර ඇත. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, ෂින්ජියැං කලාපයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ බරපතළ, ලේඛනගත චෝදනා පවතින නමුත්, එම තත්වය ඉස්මතු කිරීමට යොදාගෙන ඇත්තේ නොමඟ යවන සුළු වීඩියෝවක් බවයි.
වීදුරු කුටි තුළ උයිගුර් දරුවන් රඳවා තබා ගනිමින් වධහිංසා පමුණුවන බවට හුවමාරු වන වීඩියෝවේ ඇති උපකරණ පරීක්ෂා කිරීමෙන් සහ වෛද්‍ය විශේෂඥයන්ගේ අදහස් වලින් තහවුරු වන්නේ, මෙම වීදුරු කුටිය ඔක්සිජන් කුටියක් වන බවත්, එහි සිටින දරුවන් විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ය.


