දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ඉතා සංවේදී කරුණක් වන, තත්ත්වයෙන් බාල ඖෂධ හා එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ක්‍රියාත්මක නඩුව ගැන සමාජයේ පවතින්නේ දැඩි උනන්දුවක්. එබැවින්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නියාමන නිලධාරියෙකු විසින්, කොවිඩ්-19 එන්නතට වෙනුවට කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් ජනතාවට එන්නත් ලබාදුන් බවට අධිකරණයේ සාක්ෂි දුන් බවට සමාජ මාධ්‍ය සටහනක් පැතිර යද්දී, එය සමාජයේ බියක් ඇති කරමින් වේගයෙන් හුවමාරු වීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් මෙම සටහන් මඟින් මුළුමනින්ම වෙනස් කරුණු දෙකක් එකට පටලවා ඇති බැවින් අප මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මෙම සටහන් විශේෂයන්ම දමිළ ජනතාව අතර වයිරල් වී තිබූ අතර එම දෙමළ භාෂා පළ කිරීමේ සිංහල අර්ථකතනය මෙසේය.
මෑත ඉතිහාසයේ සෞඛ්‍ය අංශය මුහුණ දුන් වඩාත්ම බිහිසුණු හා කම්පනකාරී සිදුවීමක් හෙළිදරව් වී ඇති බවත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි ඇති නඩු කටයුතුවල දී හරහා මෙම තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඒ අනුව, කොරෝනාව පාලනය කිරීම සඳහා ලබා දිය යුතුව තිබූ එන්නතට වෙනුවට කල් ඉකුත් වූ ජලභීතිකා (Anti-Rabies) එන්නත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ රෝගීන්ට ලබා දී ඇති බවත්, අධිකරණයේ සාක්ෂි දෙන අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සවින් සේමගේ මෙම කරුණ ඔහුගේ සාක්ෂියේදී ප්‍රකාශ කර ඇති බවත් සඳහන් කරමින් මෙම පළ කිරීම බෙදා හරින ලදී.

සිංහල බසින් ද මෙම සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
වෛද්‍ය සේමගේ ඇත්තටම කොවිඩ් එන්නතට වෙනුවට කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් ලබා දුන් බවට සාක්ෂි දුන්නේ නම්, එය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පුළුල් ලෙස වාර්තා කර යුතුව තිබුණි. නමුත් අපගේ විමර්ශනයේදී එවැනි කිසිදු පුවතක් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක වාර්තා වී ඇති බව දැක ගන්නට නොලැබුණි.
2026 මාර්තු 11 දින, තත්ත්වයෙන් බාල මානව ඉමියුනොග්ලෝබියුලින් (Human Immunoglobulin) මිලදී ගැනීම සම්බන්ධ වෙනම නඩුවකදී කොළඹ මහාධිකරණයේදී වෛද්‍ය සේමගේ ලබා දුන් සාක්ෂිය පිළිබඳ මාධ්‍ය වාර්තා සඳහන් වල අතර ඔහු එදින ලබා දුන් සාක්ෂිය ජලභීතිකා එන්නත් සම්බන්ධ වූවත්, එය සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කළ අයුරින් කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් බව දැක ගන්නට නොලැබුණි.
කල් ඉකුත් වූ එන්නත් මොනාද?
සාක්ෂියට අනුව, එකල රජයේ රෝහල්වල තිබූ ජලභීතිකා එන්නත් (Anti-Rabies Vaccines) භාවිතයට සුදුසු කල් ඉකුත් වීමේ දිනය පසුකර තිබුණි. නව එන්නත් විදේශයන්ගෙන් ආනයනය කිරීමට දිගු කාලයක් ගතවන බවත්, එම එන්නත් ඉතා මිල අධික බැවින් විනාශ කළහොත් රජයේ මුදල් විශාල ලෙස අපතේ යන බවත් යන හේතූන් සලකා, විශේෂ වෛද්‍ය විශේෂඥ කමිටුවක නිර්දේශය ලබාගෙන, රෝගීන්ගේ කැමැත්ත ඇතිව එම කල් ඉකුත් වූ එන්නත් භාවිතයට අවසර දීමට තීරණය කරන ලදී.
නඩුවේ 6 වන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් ජයවර්ධන නැගූ ප්‍රතිප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය සේමගේ පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.
“ජාතික ඖෂධ නියාමන පනතේ විධිවිධාන අනුව, හිඟයක් පවතින හදිසි අවස්ථාවලදී වෛද්‍ය විශේෂඥ කමිටුවක නිර්දේශය ඇතිව කල් ඉකුත් වූ ඖෂධ භාවිත කිරීම නීතියට පටහැනි වරදක් නොවේ. නමුත් කල් ඉකුත් වූ ඖෂධ වාණිජමය වශයෙන් අලෙවි කිරීම හෝ ඒවා නීති විරෝධී ලෙස ගබඩා කර තැබීම පමණක් දඬුවම් ලැබිය හැකි වරදක් වේ.”
මෙම තීරණය 2022 මැයි 24 දින ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති ඖෂධ තක්සේරු කමිටුවේ රැස්වීමේදී ගනු ලැබූ අතර, වෛද්‍ය විශේෂඥ කමිටුවේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලදී. ජලභීතිකා රෝගයට ගොදුරු වන රෝගීන්ගෙන් 99%කට වඩා මිය යන බැවින් මෙය ඉතා සංවේදී එන්නතක් වන අතර, රටේ පැවති දරුණු හිඟයට විසඳුමක් ලෙස මෙම අවසරය ලබා දුන් බව ඔහු පැවසීය. එහෙත් අවසානයේ රෝහල්වල රෝගීන්ට ඒවා ලබා දුන්නේද නැද්ද යන්න තමා නොදන්නා බව ද ඔහු සඳහන් කර තිබුණා. මෙම නඩුව පිළිබඳ පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මෙම සාක්ෂියේ කිසිදු තැනක, කොවිඩ්-19 එන්නතට වෙනුවට කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් ලබා දුන් බවට වෛද්‍ය සේමගේ සඳහන් කර නොමැත. එම කරුණු දෙක සම්බන්ධ තාවයකින් තොර වේ.
NMRA සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් ලබාගැනීමට අප ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂ වෛද්‍ය විශේෂඥ ආචාර්ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. රටේ පැවති ජලභීතිකා එන්නත් හිඟයේදී, රෝහල්වල තිබූ කල් ඉකුත් වූ එන්නත් රෝගීන්ගේ කැමැත්තෙන් භාවිත කිරීමට NMRA කමිටුව අවසර දුන් බව සත්‍ය වුවත්, ඒවා කොවිඩ්-19 එන්නතට වෙනුවට ලබා දුන් බවට වෛද්‍ය සේමගේ සාක්ෂි දුන් බවට පැතිර යන තොරතුරු මුළුමනින්ම වැරදි බව ඔහු පෙන්වා දෙනු ලබනවා.
කල් ඉකුත් වීමට ආසන්න හෝ කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් ප්‍රමාණයක් ඉතිරිව තිබූ බවත්, එකල නව එන්නත් තොග නොතිබූ නිසා ඒවා දිගටම භාවිත කළ හැකිද යන ප්‍රශ්නය මතු වූ බවත් උපදේශන කමිටු වාර්තාවේ (Minutes) සඳහන් වී ඇති බව ත්, ඔහු පවසනවා.
සාමාන්‍යයෙන් එන්නත් නිෂ්පාදකයන් ඒවා ගබඩා කර, නිශ්චිත කාල පරාසයකදී ඒවායේ ස්ථායීතාව (Stability) පරීක්ෂා කරන අතර, කල් ඉකුත් වීමේ දිනයෙන් පසුවත් ඒවා ඵලදායීද යන්න ඔවුන්ට ඇතැම් විට තහවුරු කළ හැකි බව ත්, මෙම නිශ්චිත තොගය ගැන නිෂ්පාදකයාගෙන් විමසූ විට, එම අවස්ථාවේ නිසි පිළිතුරක් ලැබී නොතිබුණු බවට එහි සඳහන් බවයි ඔහු කරුණු ගෙන හැර දක්වමින් පැහැදිලි කළේ.
කල් ඉකුත් වීමේ දිනය යනු නිසි ගබඩා තත්ත්ව යටතේ නිෂ්පාදකයා සම්පූර්ණ ලේබල් ශක්තිය සහතික කරන අවසන් දිනය මිස, එන්නත නිෂ්ඵල හෝ භයානක වන මොහොත නොවන බැවින් එන්නත් ස්ථායීතා පර්යේෂණ පෙන්වා දෙන පරිදි, ජෛව නිෂ්පාදන ක්‍රමයෙන් පිරිහෙන අතර, කල් ඉකුත් වූ එන්නතක ප්‍රධාන අවදානම වන්නේ ලබාදෙන ආරක්ෂණය අඩුවීම යි. විශේෂයෙන් ශීතල දාමය (Cold Chain) බිඳ වැටුණහොත්, ශක්තිය පහත වැටිය හැකි වුවත්, ආරක්ෂණ පැතිකඩ සාමාන්‍යයෙන් නොවෙනස්ව පවතින බව ත්,
ජලභීතිකාව රෝග ලක්ෂණ මතු වූ පසු සියයට 99කටත් වඩා මාරාන්තික බැවින්, සහ එන්නතක ඵලදායීතාව එකවර නොව ක්‍රමයෙන් අඩු වන බැවින්, තත්ත්වය පැහැදිලි කර රෝගියාගේ කැමැත්ත ලබාගෙන මෑතකදී කල් ඉකුත් වූ එන්නතක් ලබා දීම, එන්නත කිසිසේත් නොදී රෝගියා මාරාන්තික ආසාදනයකට නිරාවරණය කිරීමට වඩා ආරක්ෂිත බව කමිටුව නිගමනය කළ බව, විශේෂඥ අධීක්ෂණය යටතේ මෙය අවසර දිය හැකි විකල්පයක් ලෙස වාර්තාවේ සඳහන් වූයේ මේ වෛද්‍ය තර්කය නිසා බව ත්, වෛද්‍යවරයා පවසා සිටියා.
නිෂ්පාදකයා දීර්ඝ ස්ථායීතාව තහවුරු නොකළ බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මෙය නිල වශයෙන් අනුමත කළ නොහැකි බව තීරණය කර, කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් රෝගීන්ගේ කැමැත්තෙන් භාවිත කිරීම ගැන සාකච්ඡා කළ බව වාර්තාවල සඳහන් වුවත්, ඒවා ඇත්තටම රෝගීන්ට ලබා දුන්නේද යන්න පිළිබඳ තොරතුරු තවමත් ලැබී නොමැති බව වෛද්‍ය විජේවික්‍රම තහවුරු කළා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව විභාග වන නඩුවේ පසුබිම
තත්ත්වයෙන් බාල එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට (MSD) ලබා දී රුපියල් මිලියන 140කට වඩා වැඩි රාජ්‍ය මුදලක් වංචා කළ බවට මෙම නඩුව පවරා ඇත. නීතිපතිවරයා විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව චෝදනා 13ක් යටතේ නඩුව ගොනු කර ඇති අතර, වෛද්‍ය සේමගේ 2 වන සාක්ෂිකරු ලෙස නම් කර ඇත.
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීමට නම්, ඉන්දීය ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ලියාපදිංචි කළ ඖෂධ පමණක් අවසර ලැබෙන බව වෛද්‍ය සේමගේ අධිකරණයට පැවසීය. ඔහු හමුදා සේවයේ සිටියදී සුදුසුකම් මත 2021 නොවැම්බරයේ NMRA ප්‍රධානියා ලෙස පත් වූ බවත්, 2022 මැයි 30 දින පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වූ බවත් සඳහන් කර තිබුණා.
එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති ඖෂධ සමාලෝචන රැස්වීමකදී රටේ දරුණු ඖෂධ හිඟයක් ඇති බව නිලධාරීන් සඳහන් කළ අවස්ථාවේ, සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට තමාට අවස්ථාව නොදුන් බවත්, එය ඉල්ලා අස්වීමට හේතු වූ බවත් ඔහු අධිකරණයට පව
වෙනම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දැනටමත් නිලධාරීන් වගකිව යුතු කර ඇත
ඉහත සමාජ මාධ්‍ය ප්‍රකාශ අසත්‍ය වුවද. 2026 මාර්තු 27 දින, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකදී, තත්ත්වයෙන් බාල මානව ඉමියුනොග්ලෝබියුලින් නීති විරෝධී ලෙස මිලදී ගැනීම හරහා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා.
රඹුක්වැල්ලට රුපියල් මිලියන 75ක් රජයට ගෙවන ලෙසත්, හිටපු සෞඛ්‍ය ලේකම්, හිටපු NMRA සභාපති, NMRA ප්‍රධාන විධායක නිලධාරී සහ MSD හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ එක් අයෙකුට රුපියල් මිලියන 50 බැගින් ගෙවන ලෙසත් අධිකරණය නියෝග කර ඇති අතර එම අවස්ථාවේ ස්ථාපිත ක්‍රියාපටිපාටි මගහැරීම සාධාරණීකරණය කළ හැකි සැබෑ හදිසි අවස්ථාවක් හෝ හිඟයක් නොතිබූ බව අධිකරණය කරුණු අනාවරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිලධාරීන්ට දඬුවම් කළේ තත්ත්වයෙන් බාල ඉමියුනොග්ලෝබියුලින් වංචනික, අනවශ්‍ය මිලදී ගැනීමක් සම්බන්ධයෙනි. කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් ප්‍රශ්නය නම්, සැබෑ හිඟයක් හමුවේ විශේෂඥ කමිටුවක් හරහා විසඳූ වෙනම කරුණකි. මේ දෙකෙන් කිසිවක් කොවිඩ්-19 එන්නත් සමඟ කිසිදු සම්බන්ධයක් නැත.
වෛද්‍ය සංගමය නැගූ නීත්‍යනුකූල ප්‍රශ්න
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය. එවැනි එන්නත් ලබා දුන්නේ නම්, එහි තත්ත්වයන් හා ආරක්ෂක බලපෑම් ගැන පැහැදිලි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබා දීමට අමාත්‍යාංශයට වගකීමක් ඇති බව සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසනවා.
මෙම කල් ඉකුත් වූ එන්නත් බෙදා හරින ලද්දේ කුමන රෝහල් වෙතද, කොපමණ රෝගීන් පිරිසකට ලබා දුන්නේද, සහ එය නිර්දේශ කළ විශේෂ වෛද්‍ය කමිටුවේ සිටියේ කවුරුන්ද යන ප්‍රශ්න තුන සංගමය ඉදිරිපත් කළ අතර මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට වහාම දැනුම් දිය යුතු බවත්, බරපතල අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවත් සංගමය අවධාරණය කරනවා.
මාධ්‍ය වාර්තාවලින් පසු, සිවිල් සමාජ සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි ගොනු කළ අතර, කොළඹ විශේෂ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා. නමුත් කොවිඩ්-19 එන්නතට වෙනුවට කල් ඉකුත් වූ එන්නත් ලබා දුන් බවට මෙහි හෝ ප්‍රකාශයක් හෝ සාක්ෂියක් හෝ නොවුණි.
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
නිගමනය (Conclusion) :
අපගේ විමර්ශනයෙන් තහවුරු වන්නේ, NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ, කොවිඩ්-19 එන්නතට වෙනුවට කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් ජනතාවට ලබා දුන් බවට අධිකරණයේ සාක්ෂි දුන් බවට පැතිර යන ප්‍රකාශය අසත්‍ය බවයි. එවැනි කිසිදු සාක්ෂියක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර නොමැති අතර, NMRA සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ද එම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව තහවුරු කර ඇත.
2026 මාර්තු 11 දින තත්ත්වයෙන් බාල මානව ඉමියුනොග්ලෝබියුලින් මිලදී ගැනීමේ නඩුවේ ලබා දුන් සාක්ෂියේදී වෛද්‍ය සේමගේ ප්‍රකාශ කළේ, සැබෑ හිඟයක් හමුවේ රෝගීන්ගේ කැමැත්තෙන් කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් භාවිතය ගැන සාකච්ඡා කර අවසර දුන් බවත්, නමුත් ඒවා ඇත්තටම ලබා දුන්නේද යන්න තමා නොදන්නා බවත් ය. කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් ප්‍රශ්නය සහ කොවිඩ්-19 එන්නත් යනු වෙනම කරුණු දෙකකි. සමාජ මාධ්‍ය සටහන ඒවා අසත්‍ය ලෙස වාර්තා කර තිබේ.


