
පසුගිය සතියේ මෙරට ජාතික ක්‍රිකට් කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී ඉල්ලා අස්වී තිබුනා. මෙම පුවත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අවධානයට පත්ව තිබුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ද උණුසුම් කතාබහක් ඇතිවී තිබුණා
මෙවන් පසුබිමක චමින්ද වාස් මහතා විසින් ක්‍රිකට් කලමනාකරු ජෙරම් ජයරත්න මහතා වෙත වැඩි කල රුපියල් ලක්ශ 5 පිලිබඳව ප්‍රශ්න කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඔහුට බැනවැදී ඇති බව හැඟවෙන ෆේස්බුක් සටහන් කිහිපයක්ද අපට දැකගන්නට ලැබුනා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම චමින්ද වාස් මහතා ද මෙබඳු සිද්ධියක් සිදු නොවූ බව තහවුරු කර සිටිනවා.
සමාජ මාධ්‍ය සටහන්:
Mahinda Silva නම් අයෙකු විසින් පළකර තිබු බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ “රෝහිතගේ මාමණ්ඩියට වැඩි කළ රු.ලක්ෂ 5 ගැන ඇසු වාස්ට ක්‍රිකට් සභාපතිගෙන් කුණු බැණුම්” යනුවෙනි.

JVP Sweden නම් ෆේස්බුක් පිටුවක් විසින්ද මේ පුවත වැඩිදුරටත් විස්තරාත්මකව සඳහන් කර තිබුණා. කන්ඩායමේ පුහුණුකරු ලෙස පත්කල ජෙරම් ජයරත්නට සංචාරය අතරතුර අමතර රුපියල් ලක්ෂ 5ක දීමනාවක් ලබා දුන් බවත් එම දීමනාව තවමත් ජෙරම් ජයරත්නට ලබාදෙන බවත් මතක් කළ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගෙන් බැනුම් අසන්නට සිදු වූ බව චමින්ද වාස් පැවසූ බව එම පුවතින් දක්වා තිබුනා.

මෙම පුවතේ සත්‍යතාවය පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමට අප තීරනය කලා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ක්‍රිකට් ආයතනය සමග වැටුප් / දීමනා පිලිබඳව ගැටලුවක් හේතුවෙන් මේ ආකාරයට චමින්ද වාස් මහතා ක්‍රිකට් කන්ඩායමේ පුහුනුකාර තනතුරින් ඉල්ලා අස්වී තිබු බවට සටහන් රැසක් පළවී තිබුණා.
මේ පිලිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වා තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පන්දු යැවීමේ උපදේශක වශයෙන් ක්‍රියා කළ චමින්ද වාස් මහතා මාර්තු 26 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් එළඹෙන කොදෙව් සංචාරය සඳහා සහභාගී නොවන බවත් පෙබරවාරි 22 වෙනිදා දැනුම් දුන් බවයි.
කෙසේවෙතත් වේගපන්දු පුහුණුකරු හදිසියේ ඉවත්වීමෙන් පසු එම තනතුරුට පත් කළ චමින්ද වාස්, තමන්ට ලැබිය යුතු වැටුප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති හමු වූ අවස්ථාවේ, කණ්ඩායමේ කලමනාකරු ලෙස පත් කල ජෙරම් ජයරත්න මහතාට ලබා දෙන ලක්ෂ පහක දීමනාවක් පිළිබඳව ප්‍රශ්න කලේද යන්න අප ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශයේ ප්‍රධානීයාගෙන් විමසා සිටියා.
එහිදී ඔහු සඳහන් කලේ මෙම පුවත සත්‍ය එකක් නොවන බවයි. පසුගිය සතිය තුල චමින්ද වාස් මහතා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමන් සමග කිසිඳු හමුවීමක් වත් සිදුව නැති බව ද ඔහු තහවුරු කලා.
ක්‍රිකට් ආයතනය විසින් පලකරන ලද මාධ්‍ය ප්‍රකාශයට අනුව එකඟ වූ මුදලට වඩා වැඩි මුදලක් චමින්ද වාස් මහතා විසින් ඉල්ලා සිටීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්වයක් ඇති වුවද මහත්මා ගති ඇති චමින්ද වාස් වැනි ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි තරුවක් වෙනත් අයෙකුගේ දීමනා හෝ වැටුප් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ඇතැයි විශ්වාස නොකරනු ඇතැයි ද තවදුරටත් පවසා සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චමින්ද වාස් මහතාගේ අදහස් දැක්වීම් පිළිබඳව ද අප සොයා බැලුවා. ට්විටර් පණිවුඩයක් පළකරමින් ඔහු පවසා තිබුනේ ක්‍රිකට් ආයතනයෙන් නිහතමානී ඉල්ලීමක් සිදුකළ බවත් ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කල බවත් පමණක් දැනට පැවසිය හැකි බවයි. එසේම තමාගේ වටිනාකම දකින්නේ නැති තැනක සිටීමෙන් පලක් නැති බව හැඟවෙන සටහනක් ද අපට පහත පරිදි දැක ගන්නට ලැබුණා.

මෙම කරුණ සම්බන්ධව තවදුරටත් තහවුරු කර ගැනීමට අප චමින්ද වාස් මහතාවද සම්බන්ධ කර ගත්තා. එහිදී ඔහුද තහවුරු කර සිටියේ මෙම සිදුවීම සම්බන්ධව කිසිම ආකාරයට බහින් බස් වීමේ සිදුවීමක් සිදුව නැති බවත් ජෙරම් ජයරත්න මහතාගේ වැටුප් පිලිබඳව කිසිම ආකාරයේ විමසීමක් ක්‍රිකට් ආයතනයෙන් සිදු කර නැති බවත්ය. ඔහු මෙම පුවත සත්‍යයෙන් තොර එකක් බව අපට තහවුරු කර සිටියා.
Also Read:
Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුණු අනුව සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ වැටුප් / දීමනා පිලිබඳව කාරණාවක් මුල් කර ගනිමින් චමින්ද වාස් මහතා ක්‍රිකට් වේගපන්දු පුහුනුකරු තනතුරින් ඉල්ලා අස්වීමේ පුවත සත්‍යක් වන නමුත් චමින්ද වාස් මහතා විසින් කිසිම විටෙක නව ක්‍රිකට් කළමනාකරු ජෙරම් ජයරත්න මහතා වෙත ලබා දෙන දීමනාවක් පිලිබඳව ප්‍රශ්න කර නොමැති බවයි.
එබැවින් ලක්ෂ පහක අමතර දීමනාවක් ජෙරම් ජයරත්න මහතාට ලබාදීම සම්බන්ධව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සමග කිසිඳු සංවාදයක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම චමින්ද වාස් මහතා ද තහවුරු කර සිටිනවා.

Title:චමින්ද වාස් මහතා රෝහිතගේ මාමණ්ඩියගේ දීමනා පිලිබඳ ප්‍රශ්න කිරීම නිසා ක්‍රිකට් සභාපතිගෙන් කුණු බැනුම්?
Fact Check By: Sahan PereraResult: Misleading
