කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීමත් සමගම සියළුම මත්පැන්හල් වසා දැමීමට බලධාරීහු ක්‍රියා කළහ. ඇඳිරි නීතිය ඉවත්කළ එක දිනක පමණ සුරා සැරවල් විවෘත කළද එම තීරණය ඉක්මනින්ම වෙනස් කොට නැවත සියලු සුරාසල් වසා දැමීමට රජය තීරණය කරන ලදී. මත්පැන් ලෝලීන් ගේ සිතැඟි පිනවීම පිණිස සඟවාගත් මත්පැන් බෝතල් අධික මිල ගණන් වලට විකිණීමට සඟවාගත් ස්ථාන සොයා ගිය ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම සුරාබදු නිලධාරීහු නීති විරෝධී කාර්යයන්හි නිරත වූවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබූහ. පොලීසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීම් වලින් තහවුරු වූයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය රට තුළ තදින්ම පැතිර ඇති බවය. දිනපතාම පාහේ වැටලීම් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා විය.

මෙවන් පසුබිමක SRI JUDGE නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ෆේස්බුක් පිටුවෙහි බලධාරීන්ගේ අවධානයට! සිරස්තලයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ නලින් බණ්ඩාර මහතාගේ සේයාරුව සහිතව සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. නලින් බණ්ඩාරගේ ගෙදර කසිප්පු පෙරලා මීට ටික වෙලාකට කලින් මාට්ටු වෙලා අත්අඩංගුවට ගන්නවා. නලින් බණ්ඩාර පොලීසියේ ලොක්කන්ට කෝල් කරලා නිදහස් වෙනවා. ජනාධිපතිතුමනි ආරක්ෂක ලේකම්තුමනි මෙහෙම නීතිය නවන්න පුළුවන්ද? බොරුනම් පොලිස් ලොක්කන්ගේ කෝල් චෙක් කරල බලන්න.” යන වදන් එහි රෝපණය කර තිබුණි.

LinkArchived Link

මෙම ප්‍රවෘත්තිය තවත් ෆේස්බුක් පිටු සහ සමුහ රැසක ඉදිරිපත් කර තිබෙනුද නිරීක්ෂණය විය.

එජාප හිටපු ඇමති නලීන් බණ්ඩාරගේ නිවසේ කස්සිප්පු පෙරා මාට්ටු!මෙම ප්‍රවෘත්තියම Noize TV නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවෙහි ද ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය.

LinkArchived Link

මෙම ප්‍රවෘත්තිය ද ෆේස්බුක් පිටු රැසක ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය.

SRI JUDGE සහ Noize TV ෆේස්බුක් සටහන් පක්ෂ-විපක්ෂ ප්‍රතිචාර සටහන් රැසකට හිමිකම් කියමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර හුවමාරු වී තිබූ බැවින් මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප හිටපු රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා වෙත දුරකථන ඇමතුමක් ගත්තෙමු. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කුලියාපිටියේ පිහිටි තම නිවසෙන් ඉවත් වී කුරුණෑගල නිවසකට වර්ෂ 2012 දී පදිංචියට පැමිණි බව පැවසූ ඔහු, කලක් එම නිවස කුලී පදනම මත වෛද්‍යවරයෙකුට ලබාදී තිබුණු බවත්, 2015 වසරේදි මැතිවරණ කටයුතු සඳහා එම නිවස ප්‍රයෝජනයට ගත් බවත් පැවසීය. මෑත කාලයකදී එම නිවස අලූත්වැඩියා කිරීමට සිදුවූ බැවින්, දැනට තමා පදිංචිව සිටින නිවසින් නිතරම කුලියාපිටිය නිවසට පැමිණීමට අපහසු නිසා, අලුත්වැඩියා කටයුතු කිරීම්වල නිරත වූ සේවක මහතුන්ගේ පහසුව පිණිස නිවසේ යතුර අසල්වැසියකුට භාරදුන් බවද පැවසීය.

එම තැනැත්තා මත්පැන් බෝතලයක් සහිතව සිටින අවස්ථාවක පොලිසිය පැමිණ ඇති බවත්, ඔහු එම මත්පැන් බෝතලය සමග තමා සතු නිවසට පැමිණ සැඟවී සිට ඇති බවත් සදහන් කළේය. තමන්ව එසේ පොලිසියට කැඳවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති වුවද මේ පිළිබඳව කුලියාපිටිය පොලිසිය විසින් විමසා සිටි බැවින් පොලීසියට ගොස් කට උත්තරයක් ලබා දුන් බවද අප සමග පවසා සිටියා.

තමාව අපකීර්තියට පත්කිරීම පිණිස ප්‍රතිපාක්ෂික දේශපාලන බලවතෙකුගේ ක්‍රියාවක් බවට සැක කරන බවත් තමන්ට කිසිදු චෝදනාවක් නොතිබුණු බැවින් උසස් පොලිස් නිලධාරීන්ට කතාකර ගැලවීමේ අවශ්‍යතාවයක් මතු නොවූ බවත් ඔහු අවධාරණය කළේය.

මේ පිලිබඳව සමඟි ජන බලවේගය ෆේස්බුක් පිටුවේ සජීවී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් නලින් බණ්ඩාර මහතා ඉහත කරුණු මෙලෙසින් කරුණු පැහැදිලි කර තිබුනා. (19 වන විනාඩියේ සිට)

https://www.facebook.com/sjblanka/videos/551450259133835/?t=1170

මෙම පුවත පිලිබඳ වෙනත් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ කිසිඳු පළකිරීමක් සිදුකර ඇත්දැයි පරීක්ෂා කිරීමේදී හිරු පුවත් වෙත ලබාදී තිබු අදහස් දැක්වීමක් මෙලෙසින් දක්නට ලැබුණි.

https://youtu.be/SullDSwIs6U?t=5

කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාට දුරකතන ඇමතුමක් ගත්තෙමු. මත්පැන් ළඟ තබා ගැනීමේ වරදට හිටපු රාජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතාගේ නිවසේ මුරකරුව අඩංගුවට ගත් බවත්, හිටපු රාජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතාගේ නිවසේ මත්පැන් නිෂ්පාදනය කර නොමැති බවත්, මත්පැන් නිෂ්පාදනය කිරීම හෝ ළඟ තබා ගැනීම පිළිබඳව හිටපු රාජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතාට කිසිදු චෝදනාවක් නොමැති බවත් ඔහු තහවුරු කළේය.

Conclusion (අවසාන නිගමනය)

අප සිදුකළ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ හිටපු රාජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා සතු, කුලියාපිටියේ පිහිටි නිවස බලා ගත් තැනැත්තා මත්පැන් ළඟ තබා ගැනීම ගැන පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත්, මත්පැන් නිෂ්පාදනය කිරීම හෝ ළඟ තබාගැනීම ගැන හිටපු රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතාට කිසිදු චෝදනාවක් නොමැති බවත්ය.

එනිසා “නලින් බණ්ඩාරගේ ගෙදර කසිප්පු පෙරලා මීට ටික වෙලාකට කලින් මාට්ටු වෙලා අත්අඩංගුවට ගන්නවා. නලින් බණ්ඩාර පොලීසියේ ලොක්කන්ට කෝල් කළ නිදහස් වෙනවා. ජනාධිපතිතුමනි ආරක්ෂක ලේකම්තුමනි මෙහෙම නීතිය නවන්න පුළුවන්ද? බොරුනම් පොලිස් ලොක්කන්ගේ කෝල් චෙක් කරල බලන්න.” කථාංගය සහිතව සහ “එජාප හිටපු ඇමති නලීන් බණ්ඩාරගේ නිවසේ කස්සිප්පු පෙරා මාට්ටු!” සිරස්තලයෙන් ඉදිරිපත් වී ඇති සියලුම ෆේස්බුක් සටහන් සහ ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍යය සහ සාවද්‍ය ප්‍රවෘත්ති සටහන් බවට නිගමනය කරමු.

Avatar

Title:හිටපු රාජ්‍ය ඇමති නලීන් බණ්ඩාර සම්බන්ධයෙන් සාවද්‍ය පුවතක්!

Fact Check By: Sahan Perera

Result: False