මහ මැතිවරනයට තරඟ වදින අපේක්ෂකයින් සිය මනාප අංකය, තමන් තරඟ වදින දිස්ත්‍රික්කයේ ජනතාව අතරට යැවීමට විවිධ ආකාරයේ උපක්‍රම අනුගමනය කරති. මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පැල කල හැකි කඩදාසියෙන් නිර්මාණය කර ඇති කාඩ්පත් වැනි ක්‍රම ද භාවිතා කරනු දක්නට ලැබුණි.

මේ අතර පසුගිය දිනක එකම රටක් නීති ගොඩක් තේමාවෙන් විමල් හොර මුද්දර ගසා ලියුම් යවයි.. තැපල්පති, පොලිස්පති උඩ බලා ගෙන සිටි.. රටටම එක නීතියක්නේ... මාරයිනේ... රෙස්පෙක්ට් ස යන වදන රෝපනය කර ලිපි කවරයක සේයාරුවක් සහිත සටහනක් “එක යායට කොළ පාටට අපි unpනමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබු සටහනක් ප්‍රතිචාර රැසක් හිමි කර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1000කට අධික සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබෙණු දක්නට ලැබුණි. මෙම සටහනට ඉදිරිපත් කර තිබු සේයාරුවෙහි රා.සේ.පි ලෙස සඳහන් කළ ලිපි කවරයක, මුද්දරයක් ලෙස සැකසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මහතාගේ මනාප අංකය සහිත මුහුණ පෙන්වා තිබිණි

LinkArchived Link

මෙම ලිපි කවරය සහිත සටහන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ වශයෙන් කතා බහට ලක්වූ බැවින් සහ මෙවැනි ලිපි රැසක් මධ්‍යම තැපැල් හුවමාරුවේ පවතින බවටද ප්‍රකාශ ඉදිරිපත් වී තිබු බැවින්මේ පිලිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප තැපල්පති රෝහණ අබේරත්න මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමු. විමල් වීරවංශ මහතාගේ රුව සහිත මුද්දරයක් සහිත ලිපිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එම ලිපි කවරයක් තැපල්පති වෙත යොමු කරන ලෙස, එම චෝදනාව එල්ල කරන පාර්ශවයන් වෙත දන්වා සිටියත්, මේ වන තෙක් අදාළ පාර්ශවයන් ප්‍රතිචාර දක්වා නොමැති බව පැවසු ඔහු, ව්‍යාජ තැපැල් මුද්දරයක් යොදා ගනිමින් ලිපි යැවීම බරපතල වරදක් බවද පැවසීය. එමෙන්ම එවැනි ලිපියක් බෙදා හැරීම පිණිස තැපල් කාර්යාලයකට පැමිණි විට, එහි කාර්ය මණ්ඩලයට එය නිරීක්ෂණය වන බවත්, ඒ පිළිබඳව ඉහළ නිලධාරින් දැණුවත් වන බවත්, මෙම ලිිපි පිළිබඳව එසේ දැනගැනීමට නොලැබුණු බවත් පැවසීය. එමෙන්ම රා.සේ.පි අකුරු භාවිතා කරමින් යැවිය හැක්කේ රාජකාරි ලිපි පමණක් බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් විවාහයක් හෝ යම් සිදුවීමක් අනුස්මරනය කිරීම සඳහා තම අභිරුචිය පරිදි මුද්දරයක් සකසා ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවට පහසුකම් සපයන බවත්, එහෙත් ඒ සඳහා සාමාන්‍ය ලිපියක් යැවීමට අවශ්‍ය මුද්දරයක අගයට වඩා වැඩි අගයක්ල වැය කල යුතු බවත්, විමල් වීරවංශ මහතා මුද්දර කාර්යාංශයෙන් එවැනි පහසුකමක් ලබාගෙන නොමැති බවද තහවුරු කළේය.

මෙම ලිපි කවරයේ ඇති මුද්‍රාව පිළිබඳව විමසු විට, ඒ පිළිබඳව යමක් පැවසිය හැක්කේ එම මුද්‍රාව පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති නිසා හැකි ඉක්මණින් එවැනි ලිපියක් ලැබුණු පසු පරීක්ෂණ සිදුකිරීමට අදහස් කරන බවද පවසා සිටියා. එහෙත් යම් පුද්ගලයෙක් තමන්ගේ කැමැත්ත පරිදි ලිපි කවරයක් සැලසුම් කර එය මුද්‍රණය කර ගැනීම නීති විරෝධි නොවන බව ඔහු අවධාරනය කළේය.

තව දුරටත් කරුණු තහවුරු කර ගැනීමට අප විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වුයෙමු. අප හා එක්වු මාධ්‍ය අංශයේ නිලධාරියා, තැපැල් ඡන්ද භාවිතා කිරීමට සුදුසු කම් ලැබු කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් දහස් ගණනක් ඉලක්ක කර ගනිමින් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ බවත්, ඒ සඳහා රා. සේ.පි. අක්ෂර යොදා ගනිමින්, විමල් වීරවංශ මහතාගේ මුහුණ සහ මනාප අංකය සඳහන් කර මුද්දරයක් ලෙස මුද්‍රණය කරන ලද ලිපි කවරයක් නිර්මාණය කළ බවත්, එය ලිපි බෙදන්නකු සේ සැරසුනු පුද්ගලයකු මගින් ආදාළ ලිපිනයේ ඇති රාජ්‍ය නිලධාරින් වෙත බෙදාහැරීමට කටයුතු කළ බවද සඳහන් කළේය. මේ සඳහා කිසිදු අවස්ථාවක රජයේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය ලබා ගැනීමට අපේක්ෂා නොකල බව අවධාරනය කළේය. එහෙත් කිසිවෙක් හෝ මෙම ලිපියකට ව්‍යාජ තැපල් මුද්‍රාවක් හෝ උපක්‍රමිකව තැපැල් මුද්‍රාවක් භාවිතා කරමින් විමල් වීරවංශ මහතාට අපකීර්තියක් ලබාදිමට තැත් කරන බව පැවසීය. තැපැල් මඟින් ලැබුණු එවැනි ලිපි ලැබී ඇත්නම් තැපැල්පති තුමා වෙත යොමු කරන මෙන් ඉල්ලීමක්ද කළේය.

මෙම ලිපි කවරය පිළිබඳව විමල් වීරවංශ මහතා හිරු රූපවාහීණි නාලිකාවේ සළකුණ සජීවි වැඩ සටහනකදි, පෞද්ගලිකවම පැහැදිළි කරන වීඩියෝ පටයක් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවෙහි දක්නට ලැබුණි. එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රශ්න කරන්නේ ව්‍යාජ මුද්දරයක් සහිත ලිපියක් කිසිවිටෙකත් තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෙදාහැරීමක් සිදු නොවන බැවින් එවැනි ලිපියක් යැවීමට අදහස් කිරීම පවා නිෂ්ඵල ක්‍රියාවක් බවයි. ඔහුගේ ප්‍රකාශය පහතින්.

https://www.facebook.com/WimalWeerawansa.sl/videos/2233384826807184/?t=14

තවද විමල් වීරවංශ මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී ලියුම් බෙදන්නෙකු ස්වරුපයෙන් යොදා ගත් පුද්ගලයකු මගින් තම මනාප අංකය සහ මුද්‍රිත ඡායාරූපය සහිත ලියුම් කවරයක් මඟින් ලිපියක් බෙදාහරින ස්වරූපය යන “කොවිඩ්-19 වසංගතයේ අභියෝගයට අභියෝග කළ ඔබේ අභිමානය අපිට ආඩම්බරයක්. අපි හැමදාම විශ්වාස කලේ මගේ මව්බිමේ අනාගත වැඩ ලෝකයේ හදවත ඔබට හිමි බවයි. ඒ වෙනුවෙන් විමල් වීරවංශ කොළඹින් අංක 19 න් පොහොට්ටුවෙන් ඉල්ලන්නේ ඔබේ ආදරයේත් විශ්වාසයේත් මනාපය රටට දෙන්න කියලා” යන විස්තරය සහිතව පළ වූ පහත වීඩියෝවෙන් අපට දැකගැනීමට හැකි විය.

https://www.facebook.com/WimalWeerawansa.sl/videos/2896572557137396/

මෙම වීඩියෝවේ රූප රාමු පරීක්ෂා කිරීමේ දී අපට පෙනී ගියේ එය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විමල් වීරවංශ මහතා ව්‍යාජ මුද්දරයක් යොදාගනිමින් තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදාහැරීම් සිදුකලා යැයි පැවසෙන කවරයට සමාන බවයි. නමුත් මෙහි මුද්‍රාවක් දක්නට ලැබුණේ නැත. එසේ ලබාගත් රූප රාමුවක් පහතින්.

Update : තවද මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපියේ තිබු නම සහ ලිපිනය පිළිබඳව අප විමර්ශනයක් ද සිදු කළෙමු. එහිදී අපට දැනගනන්ට ලැබුනේ එම ලිපිනය කොළඹ හැව්ලොක් පාරේ පිහිටි පොලිස් නිල නිවෙසක ලිපිනයක් බවයි. ඒ අනුව අප J. චන්ද්‍රසිරි වීරතුංග නමැති නිලධාරියාට මෙවැනි ලිපියක් ඔහුගේ ලිපිනයට තැපෑලෙන් ලැබී ඇත්දැයි සිදුකල විමර්ශනයකදී දැනගනන්ට ලැබුනේ ඔහුට එවැනි කිසිඳු ලිපියක් තැපෑලෙන් හෝ වෙනත් කිසිඳු මාර්ගයකින් ලැබී නොමැති බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ තැපැල් ජන්දය හිමි රාජ්‍ය නිලධාරින් ඉලක්ක කර ගනිමින් විමල් වීරවංශ මහතා දියත් කළ ප්‍රචාරක මෙහෙයුමක් සඳහා රා.සේ.පි අක්ෂර භාවිතා කරමින් ඔහුගේ මුහුණ සහ මනාප අංකය මුද්දරයක් සේ දිස්වන ආකාරයේ මුද්‍රණය කරමින් සිදුකල නිර්මාණයක් යොදාගෙන ඇති බවය. එම ලිපි බෙදාහැරීමද පුද්ගලයකු යොදාගනිමින් සිදුකර ඇත. එසේම, තැපැල් මුද්‍රාව සහිත සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ලිපිය පිළිබඳ තොරතුරු ලබා දිය හැක්කේ ඒ පිලිබඳ විමර්ශන කටයුතු කිරීමෙන් පසුව බව පවසන තැපැල්පති තුමා, අදාල ලිපිය මේ වනතෙක් පැමිණිලි සිදුකල පාර්ශව විසින් ඔහු වෙත යොමුකර නැති බව පවසා සිටියා.

Avatar

Title:විමල් වීරවංශ විසින් තම මුහුණ සහ මනාප ලකුණ සතිත මුද්දරයක් ගැසූ ලියුම් කවරයක් යොදාගනිමින් ලිපි තැපැල් කල බවට පළවන ප්‍රකාශ පිලිබඳ කරුණු අනාවරණයක්!

By: Sahan Perera

Result: Explainer