
කෝවිඩ් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේ මුළු රටක් තැතිගෙන ඇති මොහොතක ඒ හා සම්බන්ධ නිවැරදි තොරතුරක් වුවද අර්ථය විකෘති කොට හෝ වෙනත් අර්ථකතනයන් හැඟවෙන පරිදි සමාජගත කිරීම තුළින් මහජනතාව නොසුන්තාවයට පත් වන බව සෑමදෙනාම පාහේ දන්නා කරුණක්.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කෝවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පුවත්පතකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වෙනත් අර්ථකතනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම තුළින් ජනතාව වැරදි අවබෝධයක් ලබා තිබෙනු අපට දැකගන්නට පුළුවන් වුණා. මේ ඒ සමබ්න්ධයෙන් අප කළ විමසුමයි.
සමාජ මාධ්‍ය සටහන් :
“කොරෝනා අපේ පාලනයෙන් ගිලිහේවි – ඉදිරි දිනවල දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වේවි” යනුවෙන් කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසූ බවට Gossip99 ෆේස්බුක් පිටුව සඳහන් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණේ මෙලෙසිනි.

වසංගත තත්ත්වය හමුවේ මාර්ගෝපදේශ ලබා දෙන එම විෂය භාර රාජ්‍ය අමාත්‍ය විසින් කළ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් මෙම සටහන් පළවී තිබීම හේතුවෙන් ඇතැම් පරිශීලකයින් අවබෝධකොට තිබුණේ, සත්‍ය තොරතුරු වසන් කරමින් වත්මන් රජය කටයුතු කරන බවයි. එලෙස පළ වූ සටහනක් පහතින් දක්වා තිබේ.
එම සටහනේ ශීර්ෂයේ සඳහන් වුණේ, “හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීම. ඇත්තම තත්වේ මේක වෙන්න ඕන..නොකියා හිටියාට” යනුවෙනි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
අප මෙහි නිරවද්‍යතාවය සොයා කළ නිරීක්ෂණයේදී රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ දින (03) දිනමිණ පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවක් වෙත අවධානය යොමුකළා.
“සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් දිනකට ආසාදිතයන් 8000-10,000 වාර්තා වීමේ අවදානමක්” යනුවෙන් සඳහන් ශීර්ෂ පාඨය දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ පළ වී තිබුණේ රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ඡායාරූපයක් සහිතවයි. එම පුවත් පිටුව පහතින් දක්වා තිබේ.

“කොවිඩ් – 19 මර්දන සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ස්වයං විනයකින් තොරව තවදුරටත් ජනතාව කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8000ක්, 10,000ක් වාර්තා වීමේ අවදානමක් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ‘දිනමිණ’ ට ඊයේ (03) ප්‍රකාශ කළාය.” යනුවෙන් මුල් පිටුවේ පුවත පෙන්වා දී තිබු අතර මෙහි ඉතිරි කොටස එම පුවත්පතේ 6 වන පිටුවේ පළ වූයේ පහත පරිද්දෙනි.

“දිනකදී දැනට වාර්තා වන ආසාදිතයකු පුද්ගලයන් හතරදෙනකුට මේ වෛරසය ව්‍යාප්ත කළහොත් සහ ජනතාව වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නොසැලකිල්ලෙන් කටයුතු කළහොත් මේ ඉලක්කම් වාර්තා විය හැකි බව ද ඇමැතිවරිය පැවසුවාය.
කොවිඩ් ව්‍යාප්තිය රට තුළ පාලනය කිරීමේ හැකියාව තවමත් තිබෙන බවත් ජනතාව ස්වයං විනයකින් තොරව කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන තුළදී එය ගිලිහී යාමේ අවදානමක් පවතින බවත් ඇමැතිවරිය කියා සිටියාය.
අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසෙන් බැහැරට නොයාම, නිවසෙන් බැහැරට යන විට මුව ආවරණ නිසි ලෙස පැළඳීම, පුද්ගලයන් අතර දුරස්ථභාවය තබා ගැනීම, සෙනඟ රැස් වන ස්ථානයන්ට නොයාම යනාදි කාරණ නිසි ලෙස අනුගමනය කිරීමෙන් වයිරසය ආසාදනය වීමෙන් වැළකී සිටිය හැකි බව ද ඇමැතිවරිය පැවසුවාය.”
මෙම පුවත් වාර්තාවේ සඳහන් වන්නේ කොවිඩ් ව්‍යාප්තිය රට තුළ පාලනය කිරීමේ හැකියාව තවමත් රජයට තිබෙන බවත් මහජනතාව කොවිඩ් – 19 මර්ධන සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ස්වයං විනයකින් තොරව තවදුරටත් කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8000ක්, 10,000ක් වාර්තා වීමේ අවදානමක් පවතින බවකි.
ජනතාව ස්වයං විනයක් ඇතුව නිසි සොෟඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළහොත් මේ තත්ත්වය වළක්වා ගත හැකි බව ද මෙයින් දක්වා තිබුණා. කෝව්ඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට නිත්‍ය වශයෙන් ම ආසාදිතයන් 8000ක් – 10,000ක් වාර්තා වන බව මෙමගින් ගම්‍ය නොවේ.
ඇතැම් සටහන් දිනමිණ පුවත්පතේ ශීර්ෂයේ සඳහන් “සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත්” යන කොටස භාවිතා නොකොට “දිනකට ආසාදිතයන් 8000-10,000 වාර්තා වීමේ අවදානමක්” යනුවෙන් සඳහන් කර තිබීම හේතුවෙන් මෙම අනවබෝධය ඇති වී තිබුණි.
මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරියගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කළේ මෙලෙසිනි.
“දිනමිණ පුවත්පතට ලබාදුන් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුල විකෘති කිරීමකට ලක්කර ප්‍රචාරය වන බව නිරීක්ෂණය වී ඇත..
මේ මොහොතේ කොවිඩ් 19 අවධානම අප සැවොම වෙත එල්ලවී ඇති සෞඛ්‍ය තර්ජනයකි. ඉන් ආරක්ෂාවීමට නිරන්තරයෙන් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට සැවොම කටයුතු කල යුතු අතර ඒ සම්බන්ධයෙන් පලවන ප්‍රවෘත්ති වාර්තා කෙරෙහි අවධානය යොමුකරනවා සේම ගොසි, කට කතා ආදී සත්‍යයෙන් තොර තොරතුරුවලින් බැහැර වන ලෙසද කාරුණිකව ඉල්ලමි.
ස්තුතියි!”

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය අංශයෙන් විමසුමක් කළා. ඔවුන් සඳහන් කරන්නේ ද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දිනමිණ පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවක් මෙලෙස වැරදි අර්ථකතනයක් ලබා දී ඇති බවයි.
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කෝවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පුවත්පතකට කළ ප්‍රකාශයකට නොමඟ යවන සුළු අර්ථකතනයක් ලබාදෙමින් “කොරෝනා අපේ පාලනයෙන් ගිලිහේවි – ඉදිරි දිනවල දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වේවි” යනාදී තේමා යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීම තුළින් ජනතාව නොමග ගොස් සිටින බවට මෙම විමර්ශනයෙන් පැහැදිලි වෙනවා.
රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටින්නේ මේ මොහොතේ ඇතිවී තිබෙන කොවිඩ් 19 අවධානම් තත්වයන් යටතේ සෞඛ්යආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් වන අතර කොවිඩ් – 19 මර්දන සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ස්වයං විනයකින් තොරව තවදුරටත් ජනතාව කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8000ක්, 10,000ක් වාර්තා වීමේ අවදානමක් පවතින බවයි
Title:ඉදිරි දිනවල දිනකට කෝවිඩ් ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වෙයි?
Fact Check By: Sara GunaratneResult: Missing Context


