පෝර්ට් සිටි නොහොත් කොළඹ වරාය නගරය මේ දිනවල යළිත් උණුසුම් මාතෘකාවක් වුණා. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙනි. සංශෝධන සහිතව සම්මත වූ එම පනත් කෙටුම්පතේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැන පළවූ ව්‍යාජ සටහන් පිළිබඳ අපගේ විමර්ශනයක් මෙතනින්.

මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය සඳහන් කළ කරුණක් වුයේ වරාය නගරයේ දේපළ කළමණාකරණය සඳහා CHEC PORT CITY COLOMBO (PVT) LTD යනුවෙන් සමාගමක් පිහිටුවා ඇති බවත් එය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතුණුවන් වන චතුර කබ්රාල්ට අයත් බවයි. CHEC PORT CITY COLOMBO (PVT) LTD යනු චතුර කබ්රාල්ට අයත් සමාගමක්ද යන්න පිළිබඳ අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මැයි මස 20 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමයේ කැඳවුම්කරු නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ, කොළඹ වරාය නගර පනතෙය් සංශෝධන සහ යෝජනා පිළිබඳ මෙරට පුරවැසියන් නොදැනුවත් බවත් මෙසේ කඩිමුඩියේ පනත සම්මත කර ගැනීම ජාතික අපරාධයක් බවත්ය.

තවදුරටත් කොළඹ වරාය නගර මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් කරුණු දක්වමින් සඳහන් කර තිබුනේ 59 වන හා 60 වන වගන්තියේ සඳහන් පරිදි සමාගම් පනතේ යටතේ වරාය නගරය තුළ දේපළ කළමණාකරණය සඳහා සමාගමක් පිහිටු වීමට හැකි බවත් එම සමාගම වරාය නගරයේ සේවාවන්ද සැපයීම සඳහා ලියාපදිංචි කළ යුතු බවයි. එම සමාගම වන්නේ චතුර කබ්රාල්ට අයත් CHEC PORT CITY COLOMBO (PVT) LTD බවත් චතුර කබ්රාල්ට අයත් ව්‍යාපාර කාඩ්පතේ සඳහන් වන්නේ ඔහු CHEC PORT CITY COLOMBO (PVT) LTD සමාගමේ රාජ්‍ය කළමනාකරණ අංශයේ කළමනාකරුවෙකු බවටත් එහිදී කරුණු දැක්වෙනවා.

එම වීඩියෝව පහතින්.

Archived Link

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමරු වී තිබුණා.

එම සටහනක් පහතින්. එහි දක්වා තිබුනේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්මත වූ අතර එහි CHEC Port City Colombo (PVT) Ltd නමින් සමාගමක් ස්ථාපනය කරන්න අනුමැතිය ලැබී ඇති බවත් එය සිය පියාගේ බලය යොදාගනිමින් චතුර කබ්රාල් සිදුකරන මෙම ක්‍රියාව සදාචාරාත්මක නොවන බව ද ප්‍රශ්න කර තිබුණා.

Facebook | Archived

CHEC PORT CITY COLOMBO (PVT) LTD චතුර කබ්රාල්ට අයිති සමාගමක්ද යන්න අප විමර්ශනය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප මුලින්ම CHEC PORT CITY COLOMBO (PVT) LTD වෙබ් අඩවිය පරීක්ෂා කළා. එහි විස්තරයේ දක්වා තිබුනේ China Harbour Engineering Company (CHEC) හරහා පිහිටුවා ඇති CHEC Port City Colombo (Pvt) Ltd ආයතනය චීනයේ China Communications Construction Company Limited (CCCC) හි කොටසක් බවයි. එසේම 1998 වසරේ සිට CCCC ආයතනය ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා දායක වී තිබෙන බවත් සඳහන්. එම විස්තරය පහතින්

Port City Colombo About | Archived

එසේම එම වෙබ් අඩවියේ සඳහන් නිතරම අසනු ලබන ප්‍රශ්න (FAQ) කොටසේ ද සමාගමේ අයිතිය පිළිබඳ කරුණු දක්වා තිබුණේ පහත අයුරින්. එහි පෙන්වා දී තිබුනේ ද මෙම සමාගම  China Harbour Engineering Company Ltd (CHEC) සමාගමේ 100% හිමිකාරීත්වය දරන උප සමාගමක් බවයි.

FAQ

වැඩි දුරටත් එම සමාගම සම්බන්ධයෙන් කරුණු විමසීමට අප කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී සම්බන්ධ කරගත්තා.

ඉහත තොරතුරු සනාථ කරමින් ඒ මහතා සඳහන් කළේ, වරාය නගර ව්‍යාපෘතිය සඳහා ලංකාවේ ලියාපදිංචි බලය ලත් එකම සමාගම වන්නේ CHEC PORT CITY COLOMBO (PVT) LTD බවත් 2013 වර්ෂයේ ලංකාවේ සමාගම් පනත යටතේ මෙම සමාගම ලියාපදිංචි වී ඇති බවත්ය මෙහි හිමිකාරීත්ය ඇත්තේ චීනයේ තිබෙන China Harbour Engineering Company(CHEC) සමාගමට බවත්ය.

ලංකාවේ සමාගම් පනත යටතේ මෙම සමාගම ලියාපදිංචි වී ඇත්දැයි අප පරීක්ෂා කළ අතර එහිදී මෙය 2013 වසරේ සිට ලියාපදිංචි වී තිබෙන ආයතනයක් බව පැහැදිලි වුණා.

තව ද China Harbour Engineering Company(CHEC) මව් සමාගම යටතේ CHEC PORT CITY COLOMBO (PVT) LTD සහ China Harbour Engineering Company (CHEC) LTD යන සමාගම් ඔවුන්ගේ වෙබ් අඩවියේ ආසියාවේ සමාගම් යටතේ ලැයිස්තුගත කර තිබු අයුරු ද අපට මෙසේ පෙනී ගියා.

‍CHEC Asia | Archived

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී තවදුරටත් පවසා සිටියේ 2014 වසරේ වරාය හා නාවික අමාත්‍යාංශය යටතේ පළමු වෙනි ගිවිසුම අත්සන් කළ බවත් වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් වීමෙන් පසුව ගිවිසුම සමාලෝචනය කිරීමෙන් අනතුරුව 2016 අගොස්තු මස මෙගාපොලිස් හා බටහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ CHEC PORT CITY COLOMBO (PVT) LTD විසින් ත්‍රෛපාර්ශවීය ගිවිසුම අත්සන් කළ බවයි. ඒ පිලිබඳ පුවත් වාර්තා පහතින්

Daily Mirror | News First

මේ හා සම්බන්ධව 2014 වසරේ පලවී තිබු ගැසට් නිවේදන ද අපට දැක ගන්නට ලැබුණා.

Link 1 | Link 2 | Link 3

එසේම 2016 වසරේ දී මලික් සමරවික්‍රම අමාත්‍යතුමා යටතේ කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ද (Strategic Development Project) නම්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

මාර්තු 24 සහ අප්‍රේල් 08 යන දිනයන්හි පළකර තිබු වරාය නගර පනත් කෙටුම්පත් තුළ වරාය නගර පරිශ්‍රයේ සාමාන්‍ය සේවා කළමනාකරණය සඳහා සමාගමක් , ලංකාවේ බලපැවැත්වෙන සමාගම් පනත යටතේ ඇතුලත් කෙරෙන බව ද දක්වා තිබෙනවා . (මෙම කොටස පසුව යාවත්කාලීන කරන ලදී)

මෙම ගිවිසුමේ දේපළ කළමනාකරණ සමාගමක් පිහිටුවනවා යන්න සඳහන් වන බවත් රජයේ මුදල් මෙම ව්‍යාපෘතිය සඳහා වැය නොවන බැවින් වරාය නගරය ඉදිවීමෙන් පසුකාලීනව නඩත්තු කටයුතු සිදු කිරීමට (EMC -Estate Management Company) රජයට වැය බරක් නොදැරීය යුතු බැවින් එවකට රජය එකඟ වී ඇත්තේ දේපළ කළමනාකරණ සමාගමක් පිහිටුවා එහි 51% ක බලය ව්‍යාපෘති සමාගමටත් 49% ක බලය රජයටත් ලැබෙන පරිදි බවත් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී අපට පවසා සිටියා.

මෙම නව දේපළ කළමනාකරණ සමාගම පිහිටුවීමට රජය හා ව්‍යාපෘති සමාගම (CHEC PORT CITY COLOMBO (PVT) ) විසින් සිදු කළ යුතු අතර මෙතෙක් එම සමාගම පිහිටුවා නැති බවද ඒ මහතා අවධාරණය කළා.

මේ අනුව CHEC PORT CITY COLOMBO (PVT) යනු 2013 වසරේ සිට ලංකාවේ ලියාපදිංචි වී තිබෙන සමාගමක් බවත් එය කොළඹ වරාය නගරය නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා පිහිටුවා තිබෙන නව සමාගමක් නොවන බවත් පැහැදිලිය.

අප කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානීගෙන් විමසා සිටියේ චතුර නිවාඩ් කබ්රාල්ගේ ව්‍යපාර කාඩ්පතේ සඳහන් වන පරිදි ඔහු CHEC PORT CITY COLOMBO (PVT) LTD සමාගමේ රාජ්‍ය කළමනාකරණ අංශයේ කළමනාකරුවෙකුද යන්නයි.

චතුර නිවාඩ් කබ්රාල් දේපළ කළමනාකරණය අංශයෙන් නිපුණත්වය ඇති හෙයින් ඔහුව CHEC PORT CITY COLOMBO (PVT) LTD වරාය නගර ව්‍යාපෘති සමාගමේ 2016 වර්ෂයේ සිට අදාළ අංශයේ කළමනාකරුවෙකු ලෙස සේවයේ යෙදෙන බව එතුමා තහවුරු කර සිටියා.

මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියාගෙන් අප තව දුරටක් විමසා සිටියේ දේපළ කළමනාකරණ සමාගම සඳහා චතුර කබ්රාල්ට අයත් යයි සඳහන් කරමින් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය විසින් මාධ්‍යට ආනාවරණය කළ ව්‍යාපාර කාඩ්පතින් දැක්වෙන්නේ CHEC PORT CITY COLOMBO (PVT) LTD යටතේ ක්‍රියාත්මක වන වෙනත් සමාගමක ව්‍යාපාර කාඩ්පත ද යන්නයි.

ඒ මහතා අවධාරණය කළේ, වරාය නගරය සම්බන්ධයෙන් මෙරට ඇති සියලු ගිවිසුම් හා කටයුතු සඳහා ඇත්තේ එක් සමාගමක් පමණක් බවත් එය CHEC PORT CITY COLOMBO (PVT) LTD බවත් එහි සේවය කරන තනතුරු දරන නිලධාරීන්ට ව්‍යාපාර කාඩ්පත් නිකුත් කර ඇති බවත් චතුර කබ්රාල්ට අයත් ව්‍යාපාර කාඩ්පතද ඉන් එකක් වන අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය විසින් පසුගියදා මාධ්‍යට පෙන්වූයේ CHEC PORT CITY COLOMBO (PVT) LTD හි නිලධාරීන්ට නිකුත් කරන චතුර කබ්රාල්ට අයත් ව්‍යාපාර කාඩ්පත බවයි. එය හුදෙක් අනවබෝධය තුළින් වැරදි අර්ථකනයක් ලබා දී ඇති බවද ඔහු සඳහන් කළ සිටියා.

මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කිරීම සඳහා අප කළ ඉල්ලීමකට අනුව ඒ මහතා අප වෙත යොමු කළ එහි සේවය කරන අනෙක් නිලධාරීන්ගේ ව්‍යාපාර කාඩ්පත් කිහිපයක් පහතින්.

කෙසේ වෙතත් චතුර කබ්රාල්ට අයත් සමාගමක් වරාය නගරයේ දේපළ කළමනාකරණ සමාගම සඳහා යෝජනා වී ඇත්දැයි අප විමසා සිටියා. චතුර කබ්රාල් සේවය කරන්නේ CHEC PORT CITY COLOMBO (PVT) LTD හි බවත් දේපළ කළමනාකරණ සමාගම ස්ථාපිත කිරීමට බලය ඇත්තේ රජය හා CHEC PORT CITY COLOMBO (PVT) LTD එකතුවෙන් වන අතර ඒ සඳහා වෙනත් නව සමාගමක් තෝරා ගැනීමට පසු කාලීනව පියවර ගන්නා බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් ලංකාවේ ලියාපදිංචි වී තිබෙන සමාගම් යටතේ වරාය නගරය (PORT CITY) යන නම සහිත සමාගම් පිළිබඳ පරීක්ෂා කිරීමේදී අපට සමාගම් කිහිපයක් දැක ගන්නට ලැබුණු අතර ඒ සියල්ලක් ම වාගේ මීට පෙර ලියාපදිංචි වී තිබු සමාගම් බව ද දැක ගන්නට ලැබුණා. ඒ අතර COLOMBO PORT CITY CORPORATION (PVT) LTD යන සමාගමක් ද දැක ගන්නට ලැබුණා. එය දැනට ලියාපදිංචිය සම්පුර්ණ වී නැති සමාගමන් වශයෙන් පෙන්නුම් කළා.

එබැවින් අප මේ සම්බන්ධයෙන්ද කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානීගෙන් විමසීමක් කළා. ඒ මහතා පැවසුවේ, COLOMBO PORT CITY CORPORATION (PVT) LTD යන නමින් සඳහන් ආයතනයක් CHEC PORT CITY COLOMBO (PVT) LTD යටතේ හෝ ලියාපදිංචි නොකර ඇති බවයි. COLOMBO PORT CITY CORPORATION (PVT) LTD යන නමින් ලියාපදිංචි කිරීමේ මූලික අවස්ථාවේ ඇති බවට දැක්වෙන සමාගම CHEC PORT CITY COLOMBO (PVT) LTD ව්‍යාපෘති සමාගමට අයත් නොවන අතර ඊට අනුබද්ධ ආයතනයක් හෝ නොවන බවට ඒ මහතා තවදුරටත් සඳහන් කළා.

චතුර නිවාඩ් කබ්රාල්ගෙන් ද අප මෙම සමාගම පිළිබඳ විමසීමේදී ඔහු සඳහන් කළේ, COLOMBO PORT CITY CORPORATION (PVT) LTD තමන්ට අයිති හෝ සම්බන්ධයක් ඇති ආයතනයක් නොවන අතර තමන් එහි සේවකයෙකු ද නොවන බවයි. ඒ පිළිබඳව තමන් නොදන්නා බවද ඔහු අවධාරණය කළා.

Also Read:

FACT CHECK: අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුතුට, අධිවේගී මාර්ගයේ නීතිය ක්‍රියාත්මක නොවුනේ ඇයි?

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශන වලින් පෙන්වා දිය හැක්කේ CHEC PORT CITY COLOMBO (PVT) LTD යනු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතුණුවන් වන චතුර කබ්රාල්ට අයත් සමාගමක් බවට පලවී තිබෙන පුවත අසත්‍යක් බවයි.

CHEC PORT CITY COLOMBO (PVT) LTD සමාගම 2013 වර්ෂයේ ලංකාවේ සමාගම් පනත යටතේ වරාය නගර ව්‍යාපෘතිය සඳහා ලංකාවේ ලියාපදිංචි වී තිබෙන බලයලත් එකම සමාගමයි. මෙය China Harbour Engineering Company(CHEC) සමාගමේ උප සමාගමකි.

චතුර නිවාඩ් කබ්රාල් මහතා CHEC PORT CITY COLOMBO (PVT) LTD සමාගමට 2016 වසරේ සිට සේවය කරන අතර දේපළ කළමනාකරණ අංශයේ කළමනාකරුවෙකු ලෙස ඔහු සේවයේ යෙදෙයි.

Avatar

Title:PORT CITY COLOMBO (PVT) LTD චතුර කබ්රාල්ට අයිති සමාගමක් ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading