දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අනුරාධපුර ප්රදේශයේ දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිදු වීම සම්බන්ධයෙන් සමාජය තුළ මහත් කතිකාවතක් ඇතිවූ අතර, අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයේදී ඊයේ දිනයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ දැරිය වෙනුවෙන් එක් නීතිඥයෙකු හෝ ඉදිරිපත් වී නොසිටි බවත්, සැකකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥයන් 30 කට ආසන්න ප්රමාණයක් පෙනී සිටි බවටත් සමාජ මාධ්යය සටහන් හුවමාරු වී තිබුණා. ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීම මත සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීමක් පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
ස්ත්රී දූෂණ චෝදනා ලත් පල්ලේගම හේමරත්න හිමියන් වෙනුවෙන් නීතිඥවරුන් 20 ක් පෙනී සිට ඇති බවත් දූෂණයට ලක් වූ දැරිය වෙනුවෙන් නීතිඥවරුන් කිසිවෙක් ඉදිරිපත් වී නොමැති බවත් දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙම සිදුවීමෙන් පසු අදාල දැරිය වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥවරුන් සූදානමින් සිටින බවට ද සටහන් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණා.




Facebook Facebook Facebook Facebook
ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අප කටයුතු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුව 2026.05.15 එනම් ඊයේ දින අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්ය විසින් නිල තොරතුරු වාර්තා කර තිබුණා. එහිදී අදාල පැමිණිලි පාර්ශවය එනම් දැරිය වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන සමග ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනිෂියා ප්රේමරත්න සහ නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න පෙනී සිට ඇති බවත්, අනුරාධපුර මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද ද ඊට සහය වූ බවත් එම වාර්තා තුළ දක්වා තිබුණා.
කෙසේ නමුත් අදාළ දැරිය වෙනුවෙන් කිසිදු නීතිඥයකු විසින් පෙනී සිටි බව අදාල වර්තාකරණයන් තුළ දක්වා තිබුණේ නැහැ. එසේම සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් නීතීඥයන් පෙනී සිටි බව අදාළ වාර්තාකරණයන් තුළ දක්වා තිබුණා. කෙසේ නමුත් සැකකාර හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඇප ඉල්ලීමක් සිදු කර තිබුණේ නැහැ. අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කළ, දැනට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර තිබුණා. එසේම ආධාර අනුබලදීමේ චෝදනාව මත දැරියගේ මව මැයි මස 22 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර තිබුණා. ඒ සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
මැයි 15 වනදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම විමර්ශන සඳහා කිසිදු පාර්ශවයකින් දේශපාලන හෝ බාහිර බලපෑමක් එල්ල වී නොමැති බවත්, දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් උපරිමයෙන් පෙනී සිටින බවත්ය.

නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති
මෙම සිදුවීමට අදාලව විමර්ශන නිට්ටඹුව පොලිසිය විසින් සිදු කිරීම හේතුවෙන් අප විසින් මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු විසින් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් මේ වනවිට මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීම සිදු කරන බවයි. නිට්ටඹුව පොලිසිය විසින් මෙම නඩුව සම්බන්ධයෙන් කටයුතු කරන බැවින් ඊයේ(15) දිනයේදී නිට්ටඹුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස තමා අදාළ දැරිය (පැමිණිල්ල) වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බවත් ඔහු සඳහන් කළා. එසේම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරිනියන්ද මේ සඳහා පෙනී සිටි බවත් ඒ අනුව පොලීසිය පාර්ශවයෙන් විමර්ෂණයට අදාළ කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. හැකි ඉක්මනින් නඩුව මහාධිකරණය වෙත ගෙන යා යුතු නිසා මෙම ගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ඒ අනුව සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරීමට නීතිපතිවරයාට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළා. ලංකාවේ අපරාධ නීතිය අනුව මෙවැනි සිදුවීම් වලදී වින්දිත තැනැත්තා වෙනුවෙන් රජය පෙනී සිටින බවත් ඒ අනුව මහේස්ත්රාත් අධිකරණයේදී පොලිසිය ද මහාධිකරණයේ නීතිපති ද රජය වෙනුවෙන් වින්දිත පාර්ශවය නියෝජනය කරන බවත් ඔහු සඳහන් කළා. ඊට අමතරව අගතියටපත් පාර්ශවය වෙනුවෙන් වින්දිත තැනැත්තාගේ හෝ පවුලේ උපදෙස් මත නීතිඥයන්ටද අධිකරණයේ පෙනී සිටිය හැකි බවත් ඔහු සඳහන් කළා. දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට කිසිදු ගැටළුවක් නොමැති බවත්, දැරිය මේ වන විට රාගම රෝහලේ සිටින බවත් ඔහු සඳහන් කළා.
අධිකරණ වාර්තාකරුවන්
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අප විසින් මේ සම්බන්ධයෙන් අනුරාධපුර අධිකරණ වාර්තාකරුවන්ගෙන් විමසීමක් කළා. එහිදී පැහැදිලි වූයේ, ඊයේ දිනයේ එනම් 2026.05.15 දින අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයේදී අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අදාළ චෝදනා ලැබූ පාර්ශවය වෙනුවෙන් නීතීඥයන් 20කට ආසන්න ප්රමාණයක් පෙනී සිටි බවත් පැමිණිලි පාර්ශවය නැතිනම් අදාළ දැරිය වෙනුවෙන් නීතීඥයන් පෙනී සිටීමක් සිදු නොවූ බවත් ය. දැනට මේ සම්බන්ධයෙන් විමර්ෂණ මෙහෙයවන්නේ පොලීසිය විසින් වන බැවින් පැමිණිලි පාර්ශවය (දැරිය) වෙනුවෙන් පොලීසිය පෙනී සිටි බව ද සඳහන් කළා. මෙවැනි නඩුවකදී වින්දිත තැනැත්තාගේ හෝ පවුලේ උපදෙස් මත නීතිඥවරුන්ට අධිකරණයේ පෙනී සිටීමේ හැකියාවක් ඇති බවත්, මෙම සිදුවීමේ දී අදාල බාලවයස්කාර දැරියට එවැනි උපදෙස් ලබාදීමේ හැකියාවක් නැති වීමත්, අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා මත ඇගේ මවද නඩුවේ සැකකරුවකු වීම හේතුවෙන් පෞද්ගලික නීතීඥයකු පත් කිරීමට පවුලේ පාර්ශවයෙන් ඉදිරිපත් වීමක් සිදුව නැති බවත් ඔහු සඳහන් කළා. කෙසේ නමුත් අදාළ දැරිය වෙනුවෙන් ඉදිරියේදී නීතීඥයන් පෙනී සිටීමේ සූදානමක් ඇති බව ද ඔහු සඳහන් කළා.
නීතීඥ හරේන්ද්ර බානගල
මෙවැනි සිදුවීමක නීතිමය පසුබිම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා අප විසින් නීතීඥ හරේන්ද්ර බානගල මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු විසින් සඳහන් කර සිටියේ, මහේස්ත්රාත් උසාවියක හෝ දිසා අධිකරණයක නීතිඥවරුන් පෙනී සිටිය යුත්තේ පාර්ශවකරුවන්ගේ උපදෙස් මත බවයි. නීතිඥවරු ස්වේච්ඡාවෙන් පෙනී සිටීමේ සූදානමක් ඇති බව පෙනී ගියද, නඩු කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවත් ඔහු සඳහන් කළා. නීතිඥවරයා විසින් උසාවියේදී ප්රකාශ කරන යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් යම් ආකාරයෙන් අගතිදායී ලෙස දැරියගේ පාර්ශවයට බලපෑම් සිදුවුවහොත් යම් දිනයක එම දැරිය විසින් හෝ තමා වෙනුවෙන් පෙනී සිටීමට උපදෙස් දුන්නේ කවුද යන්න ප්රශ්න කළහොත්, එසේ පෙනී සිටීමට උපදෙස් දුන් කෙනෙක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවද ඔහු සඳහන් කළා. බාලවයස්කාර දරුවකු සම්බන්ධයෙන් මෙවැනි සිදුවීමකදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්රමුඛ වගකීම තිබෙන්නේ ශ්රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවට සහ ළමා ආරක්ෂක අධිකාරියට බවත් ඔහු සඳහන් කළා. විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරිය සෘජු මැදිහත්වීමක් සිදු කළ යුතු බව ඔහු සඳහන් කළා. අවු 16 ට අඩු දරුවකු සම්බන්ධයෙන් මෙවැනි නඩුවක් මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන විට මහේස්ත්රාත්වරයාට හැකියාව තිබෙන්නේ මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු අවසන් කර සියලු සාක්ෂි සටහන් කිරීම සහ ඒකරාශී කිරීම සහ තොරතුරු අනාවරණය කර ගැනීම යන කටයුතු අවසන් කර හැකි ඉක්මනින් නීතිපතිවරයා වෙත යොමු කිරීම බව ඔහු සඳහන් කළා. නීතිපතිවරයා වෙත යොමු කළ පසු එය රජයට එරෙහිව කරන ලද අපරාධ වරදක් බවට පත්වන බවත්, එවිට රජය වෙනුවෙන් ජ්යෙෂ්ඨ රජයේ නීතිඥවරයෙක් මහාධිකරණයේදී අදාළ පැමිණිල්ලේ (දැරියගේ) අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. පැමිණිල්ල මෙහෙයවන කාර්යය රජයේ නීතිඥවරයකු විසින් සිදු කරන අතරදී එම පාර්ශ්වයට අවශ්ය නම් තමන් වෙනුවෙන් පුද්ගලිකව නීතිඥවරයෙකු තැබීමේ හැකියාව තිබෙන බවත් ඔහු සඳහන් කළා.
ඒ අනුව පැහැදිලි වන්නේ මෙම සිදුවීමේ වත්මන් විමර්ෂණ අවධියේදී විමර්ශන වාර්තාවක් (B වාර්තාවක්) මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල නැතිනම් අදාල දැරිය වෙනුවෙන් පෙනී සිටීම පොලිසිය විසින් සිදු කරන බවයි. විත්ති පාර්ශ්වය එනම් සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිට ඇත. සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිට ඇතත් ඇප ඉල්ලීමක් ඊයේ දින (05.15) සිදුකර නැත. දැරියගේ මව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ඇප ඉල්ලීමක් සිදු කර ඇතත් එය ප්රතික්ෂේප වී ඇත. මෙවැනි නඩුවකදී වින්දිත තැනැත්තාගේ හෝ පවුලේ උපදෙස් මත නීතිඥවරුන්ට අධිකරණයේ පෙනී සිටීමේ හැකියාවක් ඇති නමුත්, මෙම සිදුවීමේදී අදාළ බාලවයස්කාර දැරියට එවැනි උපදෙස් ලබාදීමේ හැකියාවක් නැති වීමත් අපරාධයට ආධාර අනුබලදීම යනු චෝදනා මත ඇගේ මව ද නඩුවේ සැකකරුවකු වීමත් හේතුවෙන්, පෞද්ගලික නීතිඥයන් පත් කිරීමට පවුලේ පාර්ශවයෙන් ඉදිරිපත් වීමක් සිදුව නැත. නිල වශයෙන් තහවුරු කළ නොහැකි වුවත් අදාල දැරිය වෙනුවෙන් ඉදිරියේදී නීතිඥයන් පෙනී සිටීමේ සූදානමක් ඇති බව අප විසින් සිදුකළ විමසීමේදී අනුරාධපුර අධිකරණ වාර්තාකරු විසින් සඳහන් කළා. මහේස්ත්රාත් අධිකරණයේ මූලික කරුණු වාර්තා සහ පොලිස් විමර්ශන සාක්ෂි ඇතුළත් විමර්ශන ගොනුව පොලීසිය විසින් නීතිපතිවරයා වෙත යොමු කර ඇත. නීතිපතිවරයාට සාක්ෂි සලකා බලා සෘජුවම මහාධිකරණයට නඩු පැවරීමේ බලය ඇත.
අනුරාධපුර 15 හැවිරිදි බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිදුවීම
බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින බවට නිට්ටඹුව පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලීසිය විසින් මෙම සිදුවීමට අදාළ දැරිය ආරක්ෂිත භාරයට ගත් අතර දැරියගෙන් සිදුකළ දීර්ඝ ප්රශ්න කිරීම්වලදී ඇය තමන් මීට පෙර මුහුණ දුන් බරපතළ ලිංගික අපයෝජන පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත. දැරිය ගම්පහ මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරියා වෙත යොමු කෙරුණු අතර, එහිදී ඇය අවස්ථා ගණනාවකදී බරපතළ ලෙස දූෂණයට ලක්ව ඇති බව වෛද්ය විද්යාත්මකව තහවුරු විය. තමන්ව මුලින්ම අපයෝජනය කළේ අනුරාධපුර ප්රදේශයේ ප්රබල ආගමික නායකයෙකු විසින් 2022 වසරේදී විහාරස්ථාන පරිශ්රයේදී බවත්, පසුව තවත් ව්යාපාරිකයෙකු සහ සිය පෙම්වතා අතින් අපයෝජනයට ලක්වූ බවත් දැරිය ප්රකාශ කර ඇත. ඒ අනුව දැරිය අපයෝජනය කළ බව කියන ව්යාපාරිකයා, දැරිය අපයෝජනයට අනුබලදීම යටතේ ඇගේ මව අත්තඩංගුවට ගන්නා ලදී. එසේම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීති නිලධාරීන් අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බලා, සිද්ධියේ ප්රධාන සැකකරු වන අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නිට්ටඹුව පොලිසියට නියෝග කළේය. ඒ අනුව මැයි 9 වනදා රාත්රියේ කොළඹ පෞද්ගලික රෝහලක හදිසි අනතුරු අංශයේ ප්රතිකාර ලබමින් සිටි පල්ලේගම හේමරතන හිමියන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


