හන්ටා වෛරසය හේතුවෙන් ප්‍රංශය හෝ ලෝකයේ කිසිදු රටක් ලොක්ඩවුන් කිරීමේ සූදානමක් නැහැ!

False International

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හන්ටා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගනිමින් නොමග යවන සුළු සටහන් හුවමාරු වුණා.  එවැනි නොමග යවන සුළු එක් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

හන්ටා වෛරසය ඇමරිකානු සහ ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකුටත් වැළඳී ඇති බවත්, ඒ අනුව ලොක්ඩවුන් කිරීමේ සූදානමක් ඇති බවත් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

හන්ටා වෛරසය සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ්‍ය තුළ බහුලව කතාබහට ලක්වීම හේතුවෙන් අප විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ප්‍රංශයෙන් හන්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තා වී තිබෙන අතර, ඇය ආර්ජන්ටිනාවේ සිට යාත්‍රා කළ MV Hondius නමැති ඕලන්ද සංචාරක නෞකාවේ සිටි ප්‍රංශ ජාතික කාන්තාවකි. ඇයව ස්පාඤ්ඤයේ කැනරි දූපත්හි දී නෞකාවෙන් මුදාහැර, විශේෂ ගුවන් යානයකින් ප්‍රංශයට රැගෙන එනු ලැබ ඇති අතර, දැනට මෙම කාන්තාව පැරිස් නුවර බිෂා රෝහලේ ප්‍රතිකාර ලබයි. ඇය සමඟ ගුවන් යානයේ ගමන් කළ සහ ඇයව ඇසුරු කළ සමීප පුද්ගලයන් 26 දෙනෙකු හඳුනාගෙන වහාම දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කර ඇත. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

එසේම අදාළ නෞකාවේ සිට ඇමරිකාවේ නෙබ්‍රස්කා හි පිහිටි විශේෂ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ආ ඇමරිකානු වැසියන් පිරිස අතර සිටි එක් අයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණ මඟින් තහවුරු විය. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

ප්‍රංශය හෝ කිසිදු රටක් ලොක්ඩවුන් තත්ත්වයක් පනවා හෝ පැනවීමේ සූදානමක් නැහැ

මෙවැනි තත්ත්වයක් තුළදී ප්‍රංශ රජය හෝ ඇමරිකානු රජය විසින් ලොක්ඩවුන් තත්වයක් පනවා ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළ අතර කෙසේ නමුත්, ප්‍රංශ රජය විසින් හෝ ඇමරිකානු රජය විසින් ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමක් සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් පළ කර තිබුණේ නැහැ.

ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තාකර ඇති ආකාරයට නිරෝධායනය සඳහා යොමු කර තිබෙන්නේ අදාල නෞකාවේ මගීන් සමග සබඳතා පැවැත්වූ අයවලුන් පමණක් වන අතර රට පුරා සංචාරක සීමාවන් හෝ, පාසල් වසා දැමීම හෝ පොදු ජනතාවට බලපාන ලෙස නිවෙස් වල රැඳී සිටීමට හෝ හුදෙකලා කිරීමට කිසිදු නියෝගයක් ප්‍රංශ රජය හෝ ඇමරිකානු රජය විසින් නිකුත් කර නැහැ. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

එසේම මේ වන තුරු හන්ටා වෛරසය හේතුවෙන් ලෝකයේ කිසිදු රටක් හෝ නගරයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සූදානමක් හෝ තීරණයක් ගෙන නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය  පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ මෙය කොවිඩ්-19 මෙන් ගෝලීය වසංගතයක් වීමේ අවදානමක් නොමැති බැවින් කිසිදු රටකට සංචාරක සීමා පැනවීමක් හෝ ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හන්ටා වෛරසයෙන් සාමාන්‍ය ජනතාවට ඇති අවධානම අඩු බව ප්‍රකාශ කරන අතර, හන්ටා වෛරසය වසංගත මට්ටමේ අවධානමක් නොදක්වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දක්වා තිබෙනවා. එසේම හන්ටා වෛරසය කොවිඩ් -19 වෛරසය වැනි වෛරසයක් නොවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් අවධාරණය කර තිබෙනවා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතැනින් සහ මෙතනින්

හන්ටා වෛරසය ප්‍රධාන වශයෙන් මීයන් මඟින් බෝවන අතර බොහෝ විට සම්ප්‍රේෂණය වන්නේ ආසාදිත මීයන්ගේ මුත්‍රා, කෙළ වලට නිරාවරණය වීමෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වෛරසය සමීප සහ දිගු කාලීන සම්බන්ධතා මගින් මිනිසුන් අතරත් සීමිත සම්ප්‍රේෂණයක් සිදු විය හැකි බව දක්වා තිබෙනවා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතැනින් 

Also read: හන්ටා වෛරසය පිළිබඳ පැහැදිලි කිරීමක්! 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ හන්ටා වෛරසය හේතුවෙන් රටවල් ලොක් ඩවුන් කිරීමේ සූදානමක් ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. MV Hondius නෞකාවට සම්බන්ධ මගීන් සහ ඔවුන්ගේ සමීප සම්බන්ධතා පැවති සුළු පිරිසක් සඳහා නිරෝධායන පියවරයන් ක්‍රියාත්මක කර ඇති නමුත් ප්‍රංශය තුළ හෝ ලෝකයේ කිසිදු රටක් හෝ නගරයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සූදානමක් හෝ තීරණයක් ගෙන නොමැත.

Result Stamp

Title: හන්ටා වෛරසය හේතුවෙන් ප්‍රංශය හෝ ලෝකයේ කිසිදු රටක් ලොක්ඩවුන් කිරීමේ සූදානමක් නැහැ!

Written By: BP Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *