දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඡායාරූප, වීඩියෝ සඳහා නොමග යන අන්දමේ අර්ථකතන ලබා දෙමින් නොයෙකුත් ක්ෂේත්‍රයන් වලට වාසි තකා යොදා ගන්නා අයුරු සුලබව දැක ගන්නට ලැබේ. දේශපාලනීකරණය කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“මල්වාන අරගලයට දින තුනයි.. රෑ මුන් කොල්ලෝ එක්ක රැය පහන් කරනවා මේ තැන්වල.. දෙමව්පියෝ කැම්පස් එව්වේ මේ නාඩගම් නටන්ද..?” යනුවෙන් සඳහන් කරමින් මේ දිනවල ප්‍රකට මල්වානේ පිහිටි නිවසේ අන්තරේ විසින් නියැලෙන විරෝධතාවයේ ලබා ගත් වීඩියෝවක් ලෙස හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.
එම වීඩියෝව බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, මල්වානේ නිවසට අලහභානි කරමින් විනෝදවෙන පිරිසක් යනුවෙන් අදහස් දක්වමින්.

එසේම මල්වාන නිවසේ සිදුකරන අරගලයේ තුන්වන දවස යනුවෙන් මෙම වීඩියෝවේ ඡායාරුප ඇතුළත් සටහන් හා කෙටි වීඩියෝ ද මෙලෙස හුවමාරු වී තිබුණා.


මෙහි සත්‍ය වශයෙන් ම දැක්වෙන්නේ එම විරෝධයේ අවස්ථාවක් ද යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති නිවස සහ අක්කර 15ක ප්‍රකට ඉඩම විශ්වවිද්‍යාල ඇතුළු පොදුජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය 14 වන දා සිට විරෝධතා ක්‍රියාමාර්ගය මේ වන විටත් ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවේ මල්වානේ ඉඩමේ රැඳී සිටින ශිෂ්‍ය/ශිෂ්‍යාවන් හැසිරෙන අයුරු බවට දක්වා තිබූ ඉහත වීඩියෝව සත්‍ය වශයෙන් ම කුමන අවස්ථාවක වීඩියෝවක් ද යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් Reverse Image හරහා සොයා බැලීමක් සිදු කළා. ඒ අනුව එම වීඩියෝව මුල් වරට පළ කර තිබූ එම වීඩියෝවේ නර්ථනය යෙදෙන තරුණියගේ ෆේස්බුක් ගිණුම අපට සොයා ගැනීමට හැකි වූ අතර Dinu Liyanage නමැති එම තරුණිය මෙම වීඩියෝව පසුගිය සිකුරාදා(15) ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණා. මෙහිදී එම වීඩියෝව ලබා ගෙන ඇති ස්ථානය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය ලෙස ටැග් කර ඇති බවට ද, දැක ගැනීමට හැකි වූයේ මෙලෙසින්.

පසුව මෙම වීඩියෝව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මල්වානේ නිවසේ සිට සිදු කරන විරෝධතා ක්‍රියාමාර්ගයේ අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය තුළ හුවා දක්වමින් පළ වීම හේතුකොට ගෙන මෙම වීඩියෝව, තමන් අධ්‍යාපනය ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේදී 2024 වසරේ වීඩියෝ ලබා ගත් වීඩියෝවක් බව ත්, තම ව්‍යාපෘතියකට අදාළව තම කණ්ඩායම සමගින් වේදිකාවක පසුබිම් තලය සකස් කරමින් සිටින අවස්ථාවේ තමන් විසින් විනෝදයට කරන ලද නර්ථනයක මතකයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ බව ත්, එය වෙනත් අර්ථ කථනයකින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බව ත්, මෙම වීඩියෝව ගෙන ඇත්තේ, හොරණ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ, 1l ශාලාව පිටුපස බව ත්, සඳහන් කරමින් මේ පිළිබඳ පැහැදිලි කරමින් වීඩියෝවක් පළ කර තිබුණා.
මේ ගැන පැහැදිලි කරමින් ඇය විසින් පළ කර තිබූ තව ත් සටහනක් මෙතනින්. එම නාට්‍ය කණ්ඩායම විසින් පළ කළ, සමාජ මාධ්‍ය සටහනක් මෙතනින්.
අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු
මේ පිළිබඳ වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප මල්වානේ නිවසේ මේ වන විටත් රැඳී සිටින අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව මල්වානේ නිවසේ ඇති විරෝධයට සම්බන්ධයක් නොමැති බවයි. එමෙන් ම මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අපගේ ඉල්ලීම පරිදි මල්වානේ නිවසේ පිටුපස සහ නිවස වටා ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ගෙන්වා ගනු ලැබීය. එම වීඩියෝව පහතින්.
වීඩියෝවේ දැක්වෙන තරුණිය
අප ඉහත වීඩියෝවේ දැක්වෙන තරුණියව ද, දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඇය පවසා සිටියේ, මෙම වීඩියෝව 2024 තමන් ශ්‍රීපාලි මණ්ඩපයේ අධ්‍යාපනය හදාරන කලදී අවසන් ව්‍යාපෘතියේදී වේදිකා නාට්‍ය සඳහා වන පසු තලය සැකසීමේදී විනෝදයට ලබා ගන්නා ලද වීඩියෝවක් බවයි. එය කිසිදු තැනක මීට පෙර පළ කර නොමැති බව ත්, මතකයක් ලෙස තමන් එම වීඩියෝව මෑතකදී තම ගිණුමේ පළ කළ බවයි. අපගේ ඉල්ලීම පරිදි මෙම වීඩියෝව ලබා ගත් කාලවකවාණුව පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා එම වීඩියෝ ලබා ගත් ජංගම දුරකතනයේ ඉහත වීඩියෝ අවස්ථාවේ ඊට අදාළ තොරතුරු සහ එම ඡායාරූප/වීඩියෝ Google Driveහි උඩුගත කරන ලද අවස්ථාවේ දිනයන් පරීක්ෂා කිරීමේදී ද, මෑතක නොව 2024 වසරේ ම වීඩියෝ/ඡායාරූප ලබා ගෙන ඇති බව දැක ගන්නට ලැබුණා. එමෙන් ම තමන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා අවසන්ව වසරක් පමණ කල් ගත වී ඇති බව ත්, ඇය සඳහන් කළා.


ශ්‍රීපාලි මණ්ඩපයේ සිසුන්
ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව ගෙන ඇත්තේ, ශ්‍රීපාලි මණ්ඩපයේ 13 ශාලාවේ පිටුපස බව සඳහන් කර තිබූ බැවින්, අප එම විශ්වවිද්‍යාලයේ සිසුන් හරහා ද, එහි වත්මන් අවස්ථාවේ වීඩියෝවක් අප වෙත යොමු කර ගත් අතර එම වීඩියෝ පරීක්ෂා කිරීමේදී ද, තහවුරු වුණේ, ඉහත වීඩියෝවේ පටිගත කර ඇති අවස්ථිවේ පසුබිම සහ වත්මන ශ්‍රීපාලි මණ්ඩපයේ 13 ශාලාවේ පිටුපස දැක්වෙන පසුබිම සමාන බවයි. එමෙන් ම එම සිසුන් ද, තහවුරු කළේ, එම වීඩියෝවේ දැක්වෙන්නේ, ශ්‍රීපාලි මණ්ඩපයේ නාට්‍ය ශාලාවේ පසුපස බවයි.
ඒ අනුව තහවුරු වන්නේ, ඉහත වීඩියෝව මල්වානේ නිවසේ මේ වන විට ත්, අන්තර් විශ්වවිද්‍යාල සිසුන් විසින් දක්වන විරෝධයේ අවස්ථාවක් නොව, හොරණ පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ නාට්‍ය ශාලාවේ පසුපස ලබා ගත් වීඩියෝවක් බවයි.
මල්වානේ විරෝධතාව
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී ‘ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව’ මතක් කරමින් නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතව සිටී.
ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙසය.
අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර, ඊට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණා. එමෙන් ම මෙම නිවසට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ මහතා නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබුණා.
අදාළ නිවස සහ ඉඩම වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කළ අතර අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබූ අතර, ගිනි ගැනීමෙන් නිවසේ කොටසකට හානි සිදුවිය.
පසුව මෙම නිවයේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, එය දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වී නොතිබුණි.
එම තත්ත්වය තුළ හිමිකරුවෙකු නොමැති මෙම නිවස තමන්ට ලබාදෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම ඉල්ලීම සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මේ දිනවල ප්‍රකට මල්වානේ නිවසේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය විසින් දක්වන විරෝධතාවේ අවස්ථාවක් බවට දක්වමින් ඔවුන් විසින් එම නිවසට අලාභහානි කරමින් වනෛා්දවන අයුරු ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත වීඩියෝව එම අවස්ථාවේ ලබා ගත් වීඩියෝවක් නොව හොරණ පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ නාට්‍ය ශාලාවේ පසුපස 2024 වසරේ ලබා ගත් වීඩියෝවක් බවයි.


