දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලියතඹරා මල පිළිබඳව බොහෝ විට අප අසා ඇත්තේ මෙරට සාහිත්‍ය සහ සංස්කෘතික කෘති වලදීය. ලියතඹරා මල ස්ත්‍රී ස්වරූපයක් ඇති මනඃකල්පිත මල් විශේෂයක් බවට සැලකෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ කලින් කලට පළවෙමින් මතුවන තායිලන්තයේ පිපෙන ලියතඹරා මල් යැයි සඳහන් කළ ඡායාරූපවල සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

Aliya නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් එකතු කර තිබුනු එම සටහනට අනුව මෙම ලියතඹරා මල වසර පහකට සැරයක් මල් පිපෙන ශාඛයකි. තායිලන්තයේ හටගන්නා මේ ලියතඹරා මල් සහිත ශාඛ වල චායාරූප කිහිපයක් මෙම සටහනේ දක්වා තිබුණා.

Facebook | Archived

මෙම සටහන් පෙළක් WhatsApp ඔස්සේ ද බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබු අතර මීට පෙර ද වසර කිහිපයක සිට මේ ආකාරයේ සටහන් ලංකාවේ හුවමාරු වී තිබෙනු දැක ගන්නට ලැබුණා. මේ පිළිබඳ සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එමෙන්ම ලියතඹරා මල් හටගෙන ඇති බව පවසමින් පළ කළ යූටූබ් හි වීඩියෝ පටයක්ද අපට දැකගන්න ලැබුණා.

YouTube | Archived

ස්ත්‍රීයක රූපයට ඉතා සමාන ලෙසින් මෙම ගසෙහි හටගත් මල් ලෙස බවට එම ඡායාරූප පරීක්ෂා කිරීමේ දී දක්නට ලැබෙන අතර මෙය සැබැවින්ම විශ්මිත පුවතක් බවට බැලූ බැල්මට පෙනී යනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම නාරිලතා පුෂ්පය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන ධාරාවේ පළ වූ පුවතක් මෙතනින්.

වසර කිහිපයක සිට මේ වන විටත් ලියතඹරා මල ලෙස පවසමින් මෙම ඡායාරූපය සහිත සටහන් හුවමාරු කරගෙන තිබුණු අතර මෙම පුවතේ නිරවද්‍යතාවය පිළිබඳව වැඩි දුරටත් සොයා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

ඉන්දියානුවන් විසින් නාරිලතා යනුවෙන්ද, ශ්‍රී ලාංකිකයන් විසින් ලියතඹරා, නාරිලතා යනුවෙන්ද හඳුන්වනු ලබන මෙම මනඃකල්පිත පුෂ්පය තායිලන්තයේදී Nariphon , Makkaliphon යනුවෙන් හඳුන්වනු ලබනවා.

Nariphon පුෂ්පය පිළිබඳ තායිලන්තය මිත්‍යාමත හා ජනප්‍රවාදය

බුදු දහම හා බැඳුනු පුරාවෘත මත තායිලන්ත ජනප්‍රවාදයේ පිළිගැනෙන්නේ, කාන්තාවකගේ හැඩයෙන් පිපෙන මෙම Nariphon මල් වර්ගය සම්බන්ධයෙන් විකිපීඩියා පිටුවේ දැක්වෙන්නේ කාන්තාවකගේ හැඩරුව සහිත ඵලයක් හිමාලයේ වැඩෙන බවත් එම කාන්තා හැඩති ඵලය හිසින් ගසට සම්බන්ධ වී ඇති බවත් ගාන්ධර්වයන් මෙම ඵලයක් භුක්ති විඳීම සඳහා ඒවා රැගෙන යන බවත්ය. මේ සඳහා මුල් වූ වෙස්සන්තර රජුගේ කතාවේ දැක්වෙන කරුණු ඇතුළත් වාර්තාවක් පහතින්.

මෙරට බෞද්ධ සාහිත්‍යගේද ලියතඹරා මල පිළිබඳව කරුණු ඇති බව සැලකෙනවා. පූජාවලියෙහිද මෙන්ම සුභාෂිතයෙහිද මේ පිළිබඳ කරුණු ඇතුළත් බව දැක්වෙනවා. 

Aruna | Archived

තායි ජනප්‍රවාදයට අනුව මෙම පුෂ්පය මිනිසුන්ට සමාන අභ්‍යන්තර අවයව ඇති නමුත් ඇටකටු නොමැති බවත් මෙම තරුණියන්ට ඉන්ද්‍රජාලික බලයක් ඇති අතර ගායනය හා නර්තනය කළ හැකි ආත්මයන් ඇති බවද විකිපීඩියා පිටුවේ සඳහන්. වෙස්සන්තර රජු සහ පවුලේ අය මියගිය පසු මෙම ගස් දිනපතා ඵල දරන බවත් බුදු දහම මෙලොවින් තුරන් වූ පසු හිමාල වනාන්තරයෙන් මෙම ගස් තුරන් වන බවත් එම ජනප්‍රවාදයේ තවදුරටත් සඳහන්.

Wikipedia | Archived

මේ ආකාරයේ මලක් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමේ දී කරුණු අනාවරණ කිහිපයක් ම අපට දැක ගන්නට ලැබුණු අතර ඒවා බොහොමයක් සඳහා පාදක වී තිබුණේ ඉහත ජනප්‍රවාදයේ දැක්වුණු පරිදි හිමාලයේ වසර 20කට වරක් පිපෙන බවට පැවසෙන නාරිලතා මලක් හා සම්බන්ධ ප්‍රකාශ පෙළක්. මේ පිළිබඳ අපගේ දමිළ කරුණු විමර්ශන කණ්ඩායම ද ඉන්දියාවේ හුවමාරු වෙමින් පැවති සටහන් හේතුවෙන් පළකර තිබු කරුණු අනාවරණක් මෙතනින්.

මේ ආකාරයේ පුෂ්පයක් හෝ ඵලයක් හට ගැනීම පිළිබඳව විද්‍යාත්මකව ඔප්පු කළ හැකි කිසිඳු සාධකයක් ලැබී නැති බව මේ වාර්තා වල සඳහන්.

කෙසේනමුත් මෙරට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් වල තායිලන්තයේ ලියතඹරා මල් පිළිබඳ සඳහන් වී තිබූ නිසා අප ඒ පිළිබඳව වැඩිදුර නිරීක්ෂණයක් කළා.

Nariphon පුෂ්පය පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා

Oneindia Hindi නම් යූටූබ් නාලිකාවකද ඉහත ඡායාරූපය රැගත් නාරිලතා පුෂ්පය සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවක් මෙතනින්. Archived

එමෙන්ම තායිලන්තයේ පීදුන බවට පැවසනෙ මෙම ඵලය සම්බන්ධයෙන් Dailymail  වෙබ් අඩවියේ පළ වූයේ මෙලෙසින්Archived

කෘතිමව නිර්මාණය කළ පළතුරක්ද?

අප මේ පිළිබඳව තවදුරටත් කළ විමර්ශනයේදී යම්කිසි පැළයක් වර්ධනය වීමේදී කෘතිමව එහි ඵලයේ හැඩය වෙනස් කිරීමට ප්ලාස්ටික් වලින් නිර්මාණය කරන ලද අච්චුවක්(Mould) යොදා වෙනස් හැඩයක් ලබා ගත් අවස්ථා පිළිබඳ වාර්තා කිහිපයක් ම දැක ගන්නට ලැබුණා. එවැන් අච්චු වලින් කළ නිර්මාණ කිහිපයක් පහතින්. fruitmould.com | Archived Link 

එවැනි ඡායාරුප කිහිපයක් මෙම වාර්තාවෙන් ද දැක ගන්නට පුළුවන්

Link

එම අච්චු භාවිතා කොට පළතුරුවල හෝ වෙනත් ඵලයක හැඩය වෙනස් කළ යුතු ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙතනින්. pinterest.com හි එලෙස සාදා ගත් ඵලයන්හි ඡායාරූප එකතුවක් මෙතනින් සහ මෙතනින්. Fruit Mould Co.ltd නම් එවැනි අච්චු විකුණුම් ආයතනයක ෆේස්බුක් පිටුවක් මෙතනින්.

නමුත් තායිලන්තයේ වැඩෙන බවට කියන Nariphon පුෂ්පයේ දක්වා තිබූ තරුණියන්ගේ හැඩරුවට සමාන මෙවැනි අච්චුවක් නිර්මාණය කළ බවට අන්තර්ජාල වාර්තා නිරීක්ෂණයේදී හමු වූයේ ද නැහැ.

මාධ්‍ය ඔස්සේ හුවාමාරු වූ නාරිලතා මලේ ස්වභාවය

ඇතැම් විටෙක මෙම ඡායාරූප සංස්කරණය කරන ලද (Photoshop) ඡායාරූප බවට පෙනුනත් ඇතැම් ඡායාරූප සත්‍ය බවට හැඟවෙන පරිදි ශාකයේම හටගත් ඵලයක් ලෙස පෙන්නුම් කෙරුණා. තායිලන්තයේ Nariphon ශාකයේ වීඩියෝවක් මෙතනින්.

නමුත් මෙම ඡායරූප නිරීක්ෂණයේදී දක්නට ලැබුණු සුවිශේෂි කරුණ නම් මෙම කාන්තා සිරුරේ අවයයන් වසා සිටින ඉරියව් විවිධාකාරයේ ඒවා වීමයි. තවද ඇතැම් ඡායාරූපවල කාන්තා සිරුරේ පිටුපසින්ද ශාකයට සම්බන්ධ වී තිබුණේ මෙලෙසින්.

එවැනි විවිධාකාර හැඩයෙන් යුත් ඵල එකම ගසක තිබු අවස්ථා එම වීඩියෝ දර්ශන වල දක්වා තිබු අවස්ථා පහතින්.

එමෙන්ම මෙම Nariphon ශාකයේ ඵලය සම්බන්ධයෙන් තායිලන්ත ජනප්‍රවාදයේ පැවසුන මෙම ඵලය හටගෙන දින 7ක් ඇතුළත නෙළා නොගතහොත් වියළි යනවා යැයි සඳහන් වීමත් එවැනි වියළී ගිය ඵලයන් බව දක්වමින් වෙළඳ ව්‍යාපාරයක් ද තායිලන්තයේ දී දැකගන්නට ලැබුනා. එවැනි අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

වියළී ගිය මෙම Nariphon ශාකයේ ඵලයේ ඡායාරූප සහ ශාකයේ එල්ලී තිබූ ඵලයේ ඡායාරූප සැසඳීමේදී දැක ගැනීමට හැකි පැහැදිලි වෙනස නම් වියළී ඇති සෑම කාන්තා රූපයේ දෑත් සීරුවෙන් පහළට වැටී ඇති බවක්. නමුත් අන්තර්ජාලය ඔස්සේ Nariphon ශාකයේ ඵලය ලෙස පෙන්වා තිබූ ඡායාරූප වල හා වීඩියෝවල දැක්වුණේ දෑත් විවිධ ඉරියව් වලින් තබා ඇති සේයාවකි. බොහෝ දුරට ඇතැම් ඉන්ද්‍රීයන් වසා ඇති බවක්.

තායිලන්තයේ තරුණියකගේ හැඩයෙන් යුතු Nariphon ශාකයේ ඵලය ශාකයේදී එල්ලී තිබෙන අයුරු හා විකිණීමට ඇති වියළි ඇති Nariphon ඵලය යනුවෙන් සඳහන් ඡායරූප වල සංසන්දනය.

තවද මෙම වියළී ඇති ශාකයේ වැඩි දුරටත් නිරීක්ෂණයේදී පිරිමි හැඩහුරුවට සමාන අනුරුවන්ද දක්නට ලැබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link

මෙසේ වියළි Nariphon ඵලයන් ලෙසින් අදටත් තායිලන්තයේ වෙළදපොලේ දක්නට ලැබෙන කොටස් සැබවින්ම නිර්මාණය කර තිබෙන්නේ කුමන ද්‍රව්‍යකින් ද කියා නිශ්චිතව ම පැහැදිලි නැති වුව ද බොහෝ දුරට ඒවා සැහැල්ලු ලී වැනි දෙයකින් නිමවා ඇති බව ද මෙම වාර්තාවේ දැක්වුනා.

තායිලන්තයේ Nariphon පුෂ්පය බවට දැක්වූ තරුණියගේ හැඩරුව සහිත ඵලයේ සැඟවුණු සත්‍ය කුමක්ද?

තායිලන්තයේ Khao Kho දිස්ත්‍රික්කයේ ඇති HimabhanGarden නොහොත් Himmaphan Forest Park හි සාහිත්‍යය තුළ වූ බොහෝ ශාක වර්ග රෝපණය කර ඇති බවත් ෆයිබර්ග්ලාස් භාවිතයෙන් "මැක්රීෆොන් ගසක්"නැතහොත් නාරිලතා ගසක් සෑදීම සඳහා එහි හිමිකරු කාර්මික ශිල්පියෙකු කුලියට ගෙන තිබේ.

1996 සිට සාදන ලද ශාක කඳ, කොළ සහ පළතුරු ෆයිබර් භාවිතයෙන් කළ මූර්ති 52 ක් තිබුණද මේ වනවිට ඉතිරිව ඇත්තේ මූර්ති 20 ක් පමණක් බවත් ඊට හේතුවූයේ මේවා සැබෑ පළතුරු ලෙස සිතා උද්‍යානය නැරඹීමට පැමිණි සංචාරකයින් සොරකම් කළ බවයි වන උද්‍යානයේ භාර නිලධාරියෙකු වන Mr. Bancha Mahasaen සඳහන් කර ඇත්තේ.

ඔහු තව දුරටත් පවසා සිටිනේනේ එම උද්‍යානය හිමිකරු සාහිත්‍යයට ඇලුම් කරන බවයි. එබැවින් මෙම උද්‍යානය නම් කර ඇත්තේද Himabhan Garden යනුවෙන් බවත් සඳහන් කරනවා.

සැබෑ ලෙසම නාරිලතා බවට සඳහන් කළ ගස් නොමැති බව තහවුරු කරමින් ඔහු සඳහන් කරන්නේ ෆයිබර් උපයෝගී කොට අච්චූ වලින් සාදන ලද නිර්මාණ මෙලෙස අන්තර්ජාලය ඔස්සේ සංසරණය වී ඇති බවයි. වංචනික කණ්ඩායමක ගොදුරක් බවට පත්විය හැකි බැවින් එම වීඩියෝ හා ඡායාරූපවලට නොරැවටෙන ලෙසද ඔහු තරයේ ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් එම උද්‍යාන භාර නිලධාරියා සත්‍ය හෙළි කළේ මෙලෙසිනි. (තායි බසින්)

https://www.youtube.com/watch?v=0EEibNQXGLY

පළතුරු අත්තට සවි කර ඇති කම්බිය පහතින්.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශන වල පෙන්වන්නේ ද මෙම අවස්ථාවම බව ද එම රූප රාමු සංසන්දනය කිරීමේ දී පෙනී යනවා.

සත්‍ය තොරතුරු සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

තව ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ එකම වීඩියෝවක් හා සම්බන්ධ දර්ශන පෙළක් වන අතර මෙම අවස්ථාව හැර වෙනත් කිසිඳු අවස්ථාවක දී මෙම මල් වෘක්ෂයක තිබී දක්නට ද ලැබී නැති අතර මෙවැනි වෘක්ෂයක් තායිලන්තයේ හෝ ඉන්දියාවේ හෝ වෙනත් ප්‍රදේශයක වාර්තා වී ඇති බවට ද කිසිඳු විද්‍යාත්මක සාධකයක් ද දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ නාරිලතා පුෂ්පය යනුවෙන් හඳුන්වන පුෂ්පය

කෙසේ නමුත් ස්ත්‍රී රූපයට යම්තාක් දුරකට සමාන හැඩයෙන් හටගන්නා ඔකිඩ් වර්ගයක් වන Habenaria crinifera Doll orchid , Hair carrying habenaria ශ්‍රී ලාංකිකයින් නාරිලතා පුෂ්පය යනුවෙන් හඳුන්වනු ලබනවා.

පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මිය අප කළ විමසීමේදී සඳහන් කළේ ලියතඹරා මල යනුවෙන් සමාජ මාධ්‍ය බොහොමයක දක්වා තිබෙන්නේ මූලික වශයෙන් සාහිත්‍ය ප්‍රබන්ධයේ ඇති මිථ්‍යා මලක් ලෙසයි. කෙසේනමුත් හබෙනාරියා විශේෂය සඳහා භාවිතා කරන පොදු නාමයක් ලෙස නාරිලතා මල යන නාමය ලංකාවේ දී හඳුන්වනු ලබන අතර ඡායාරුපය වල දැක්වූ ආකාරයේ ලියතඹරා නමින් හඳුන්වන්න මලක් මෙරටදී හමුවී නොමැති බවත් ඇය සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ කොළඹ කෞතුකාගාරයේ පුරාවස්තු එකතුව ලැයිස්තුගත 1906 වෙළුමේ එම්බ්‍රොයිඩර් කළ බෑගයක නාරිලතා පුෂ්පය ලෙස දක්වා තිබු අයුරු මේ පිළිබඳව ඉංග්‍රීසි බසින් සිදුවූ කරුණු අනාවරණයක මෙතනින් දක්වා තිබුණා.

Habenaria crinifera නමින් හැඳින්වෙන මෙම ඕකිඩ් වර්ගයෙන් මුද්දරයක්ද 1994 වර්ෂයේදී මෙරටදී නිකුත් කර තිබුණේ මෙලෙසින්.

Conclusion (අවසාන නිගමනය)

ඒ අනුව Fact Crescendo අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කාන්තා රුව ගත් ඵලය වසර පහකට සැරයක් තායිලන්තයේ හටගන්නා ලියතඹරා මල් සහිත ශාඛයක් නොවන බවයි.

මෙය ඇත්ත වශෙයන්ම තායිලන්තයේ Khao Kho දිස්ත්‍රික්කයේ ඇති Himmaphan Forest Park නම් උද්‍යානයක ෆයිබර්ග්ලාස් භාවිතයෙන් කාර්මික ශිල්පියෙකු විසින් සාදන නිර්මාණ මෙසේ ඇත්ත කාන්තා ස්වරුපයක් ගත් මල් ලෙස හුවමාරු වී තිබෙනවා.

තායිලන්තයේ පුරාවෘත මත මෙම නිර්මාණ සිදුවී තිබූ අතර අදටත් මේ ආකාරයේ බොහෝ දුරට ලී ආශ්‍රිත ද්‍රව්‍ය යොදා ගනිමින් සිදුකළ මෙවැනි පුද්ගල හැඩයෙන් යුත් නිර්මාණ ඔවුන්ගේ වෙළෙඳ පොළේ විකිණීමට තිබෙනවා.

කෙසේවෙතත් මෙම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අවස්ථාව හැර වෙනත් කිසිඳු අවස්ථාවක දී මෙම ව්‍යාජ ලියතඹරා මල්, වෘක්ෂයක තිබී දක්නට ලැබී නැති අතර මෙවැනි වෘක්ෂයක් තායිලන්තයේ හෝ ඉන්දියාවේ හෝ වෙනත් ප්‍රදේශයක වාර්තා වී ඇති බවට ද කිසිඳු විද්‍යාත්මක සාධකයක් ද දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

Avatar

Title:තායිලන්තයෙන් වාර්තා වෙන ස්ත්‍රියකගේ හැඩයෙන් යුත් ලියතඹරා මලේ ඇත්ත කතාව!

Fact Check By: Pavithra Sandamali

Result: False