කොවිඩ් ව්‍යසනය පවතින වකවානුවේ දුෂ්කර පාසල් වල සිසුන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මාර්ග ගත පහසුකම් නොමැති අවස්ථාවක එවන් අවශ්‍යතා සපුරාලා දීමට කටයුතු කරන අවස්ථාවක් වාර්තා කිරීමේදී ඇතිවූ අනවබෝධය හේතුවෙන් පළවූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

හිටපු පළාත් සභා මන්ත්‍රී Dilip Kumar විසින් පළ කරන ලද ෆේස්බුක් සටහනක දැක්වුණේ, “පියල් ඇමති දොඩම්පාපිටිය පාසල් දරුවන්ට ටැබ් බෙදයි. අල්ලන්න දෙයි ආපසු ගනියි දරුවන් හූල්ලයි සෞභාග්‍යයේ දැක්ම මෙයයි” යනුවෙනි.

Facebook | Archived Link

මෙම සටහන ජූනි 16 වන දා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අතර මේ වන විට පරිශීලකියන් 56 දෙනෙකු අතරේ සංසරණය වී තිබුණා.

ඉන් පසුව පසුගිය 23 වන දා ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වෙබ්අඩවි දෙකක එම පුවත පළ වී තිබුණේ මෙලෙසින්.

‘අද’ පුවත්පතේ පළ වූ පුවතක් එහි නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ ෆොටෝ ගත්තාට පස්සේ දුන්න ලැප්ටොප් ආපසු රැගෙන යයි?” යන තෙමාවෙනි

සිසු දරුවන් වෙත ලැප්ටොප් පරිගණක දහයක් දී ඇති අතර  දරුවන් වෙත පරිගණක පරිත්‍යාග කිරීම් හා දරුවන් පරිගණක පරිහරණය කිරීමේ දර්ශන සේයා රූ  හා වීඩියෝ ගත කිරීමෙන් අනතුරුව ලබා දුන් ලැප්ටොප් යන්ත්‍ර පහක් නැවත එවෙලේම රැගෙන ගිය බව දෙමව්පියන් චෝදනා කරති.

Facebook | Archived Link

Lankadeepa - ලංකාදීප නිල ෆේස්බුක් පිටුවේ පළ වූ එම පුවතේ ශීර්ෂ පාඨයේ සඳහන් වූයේ උත්සවයේදී දුන් පරිගණක 10යෙන් 5ක් අරන්යයි යනුවෙනි.

Facebook | Archived Link

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ මෙසේය.

වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් ඒකාබද්ධව ඉගෙනුම් පහසුකම් නගා සිටුවීම සඳහා පසුගියදා ලැප්ටොප් පරිගණක ලබා දි තිබුණි.

මෙදින චාම් උත්සවයක් පවත්වා සිසු දරුවන් වෙත ලැප්ටොප් පරිගණක දහයක් දී ඇති අතර දරුවන් වෙත පරිගණක පරිත්‍යාග කිරීම් හා දරුවන් පරිගණක පරිහරණය කිරීමේ දර්ශන සේයා රූ හා වීඩියෝ ගත කිරීමෙන් අනතුරුව ලබා දුන් ලැප්ටොප් යන්ත්‍ර පහක් නැවත එවෙලේම රැගෙන ගිය බව දෙමව්පියන් චෝදනා කරති.

පසුව දරුවන්ට ඉතිරි කර ගිය ලැප්ටෝප් යන්ත්‍ර පහ ගුරුමහත්ම මහත්මීන් ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන ගිය බවත් දෙමව්පියන් වැඩි දුරටත් කියයි.

මෙසේ පැවති උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍යය ජී එල් පීරිස් රාජ්‍ය අමාත්‍යය පියල් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුලු මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලාල් දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටි අතර මෙම තත්වය පිළිබඳ පැහැදිලි කරමින් කලාප අධ්‍යක්ෂක දිසානායක මහතා මෙසේ පැවසීය.

අපේ මතුගම කලාපයට අයත් ඉතාම දුෂ්කර පාසල් කිහිපයක් තෝරාගෙන තමයි අමාත්‍යාංශය මේ ඉගෙනුම් පහසුකම් නගා සිටුවීමේ වැඩසටහන සංවිධානය කළේ.

මේ පරිත්‍යාගය පොදුවේ පාසලේ සෑම සිසුවෙකුටම පරිශිලනය කළ හැකි අයුරින් තමයි ලබා දුන්නේ. ඒ අනුව මේ දොඩම්පාපිටිය විදුහලේ ළමයි 51 දෙනා අතරින් හතර ශ්‍රේණි දරුවන් කිහිප දෙනකු තෝරා ගත්තා මේ පරිත්‍යාගයේ සංකේත වශයෙන් සනිටුහන් කරන්න.

ඒ වගේම ඒ මොහොතේ එතැන සිටි සෑම දරුවෙකුටම අපි සංකේත වශයෙන් ලැප් ටොප් ලබා දුන්නත් අපි නිර්දේශව වෙන් කරලා තිබුණේ ලැප්ටොප් පහක් සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් පමණයි. අද ඒ ලැප් ටොප් සහ ප්‍රක්ෂේපන යන්ත්‍රය දරුවන්ගේ ඔන් ලයින් ඉගෙනුම් කටයුතු වලට ඉන්වෙන්ට්‍රියට ඇතුළත් කරලා ගුරුවරුන්ට භාර දීලා තියෙනවා.. මේ ක වැරදී ආකාරයෙන් වටහා ගෙන ගම පුරා දෙමව්පියන් අතර වැරදි මතයක් ඇති වෙලා තියෙනවා..

ඇත්තටම මේ තරමින් හෝ පාසලේ දරුවන් වෙනුවෙන් ලැබීම ගැන දෙමව්පියන් සතුටු විය යුතුයි.

Archived Link | Archived Link

එම පුවත ‘ලංකාදීප’ සහ ‘අද’ වෙබ් අඩවියේ වාර්තා කර තිබුණේ වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර යන අයයි.

මෙම පුවත් අනුසාරයෙන් සෑදුනු ෆේස්බුක් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

බැලූ බැල්මට මෙහි දැක්වෙන්නේ උත්සවයක් පවත්වා පාසලකට පරිගණක දහයක් ලබා දී එම අවස්ථාවේ ඡායාරූප ගෙන අවසන් වූ වහාම ඉන් පරිගණක පහක් රැගෙන ගොස් ඇති බවයි. ඇතැම් පුවත්වල ටැබ් ලෙසත්, පරිගණක ලෙසත්, ලැප්ටොප් ලෙසත් ලබා දුන් බව සඳහන් වූ මෙම පුවත පිළිබඳ ඒ හා සම්බන්ධ පාර්ශව කිහිපයකගෙන් විමසා සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැහැදිලි කිරීම

අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, මෙම පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මතුගම අධ්‍යාපන කලාපයේ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ පාසලට ලැබුණේ ලැප්ටොප් පරිගණක 5 සහ බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් බවත් එදින සමාරම්භක වැඩසටහන සඳහා තාවකාලික පදනම මත ආසන්න පාසලකින් ටැබ් පරිගණක 10 ක් ලබා ගෙන ඇති අතර එම ටැබ් පරිගණක නැවත එම පාසලට ලබා දීම පමණක් සිදු කළ බවයි.

Online ඉගෙනුම් ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වීමට නොහැකි දරුවන් උදෙසා, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කුඩා කණ්ඩායම් වශයෙන් රැස් වී අධ්‍යාපනය ලබා ගත හැකි මධ්‍යස්ථාන ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල්, ප්‍රාථමික හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය එක් ව ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන 2100ක පමණ සංඛ්‍යාවක් පළාත් 9 ම ආවරණය වන පරිදි ආරම්භ කර ඇති අතර මතුගම අධ්‍යාපන කලාපයේ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ද, එවැනි මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර එම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේදී පාසල සතුව පරිගණක පහසුකම් නොමැති නම් කලාපයේ ආසන්න පාසලකින් තාවකාලික පදනම මත උපකරණ කිහිපයක් ලබා ගෙන මධ්‍යස්ථානය ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලය සඳහා මතුගම අධ්‍යාපන කලාපයේ පරිගණක වැඩ සටහනට අයත් පාසලක් වූ හොරවල නවෝද්‍යා විද්‍යාලවෙන් තාවකාලික පදනම මත ටැබ් 10 ක් ලබා ගෙන ඇති අතර එදින සමාරම්භක වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු පිරිස පැමිණ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට පරිගණක 5ක් ලබා දී තිබේ. එසේම මොබිටෙල් ආයතනය මගින් බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ (Multimedia projector)ලබා දීමද සිදු කර තිබේ.

ඒ අනුව අසාන්න පාසලකින් තාවකාලික පදනම මත ලබා දුන් ටැබ් පරිගණක නැවත එම පාසලට ලබා දීම කලාප අධ්‍යාපන කාර්යාලයේ අධීක්ෂණය මත විදුහල්පතිවරුන් විසින් සිදු කර ඇත.

පාසලට ලැබුණු ලැප්ටොප් පරිගණක 5 සහ බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය භාවිතයෙන් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථානයේ කටයුතු පවත්වා ගෙන යන බවත් ඒ සඳහා එම පරිගණක පහසුකම් ප්‍රමාණවත් බවත් දොඩම්පාපිටිය ප්‍රාථමික විදුහලේ විදුහල්පති පවසා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වුණා.

එම නිවේදන පහතින්

මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක මහතාගේ පැහැදිලි කිරීම

කලාපයේ ඇති දුෂ්කර පාසලක් වන දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුවන් සඳහා පරිගණක පහසුකම් මෙතෙක් නොතිබූ බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත පරිගණක ඒකකයකට පහසුකම් ලැබුණු අතර සමාරම්භක උත්සවයට පෙර වෙනත් පාසලකින් ලබා ගත් ටැබ් යන්ත්‍රය 10 ක් නැවත ලබා දීමට පියවර ගත් අතර සමාරම්භක දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණු පරිගණක සහ මොබිටෙල් ආයතනයෙන් ලැබුණු බහු මාධ්‍ය ප්‍රක්ෂේපණයත් කුඩා ළමුන් සංඛ්‍යාවක් සිටින මෙම ශිෂ්‍යන්ට ප්‍රමාණවත් බවත් සඳහන් කළා. එදිනම ඕමන්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ පාසලකට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 5 ක් සහ බහු මාධ්‍ය ප්‍රක්ෂේපණයත් ප්‍රදානය කළ බවද සඳහන් ඒ මහතා සඳහන් කළා. මීට පෙර එම පාසල් පරිශ්‍රයට අන්තර් ජාලය භාවිතා කිරීමට දුරකථන සංඥා පහසුකම් ද නොතිබුණු අතර මොබිටෙල් ආයතනය මැදිහත්ව අන්තර්ජාල පහසුකම් ද ලබා දුන් බවද වැඩි දුරටත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කරනු ලැබුවා.

දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිගේ පැහැදිලි කිරීම

විදුහල්පති සෙනවිරත්න මහතා අප කළ විමසීමේදී සඳහන් කළේ පළමු වසරේ සිට 5 වසර තෙක් ශිෂ්‍යයින් 56 දෙනෙකු දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර මේ මස (ජූලි) 5 වන දින පාසලට ලබා දුන් ලැප්ටොප් පරිගණක 5 සහ බහු මාධ්‍ය ප්‍රක්ෂේපණය ශිෂ්‍යයින්ට ප්‍රමාණවත් බවත් පරිගණක 10 ක් ලබා දී 5ක් රැගෙන ගිය බවට පළ වන්නේ අසත්‍ය පුවතක් බවයි.

වෙනත් පාසලකින් තාවකාලික පදනමින් ලබා ගත් ටැබ්යන්ත්‍ර 10 ක් එම පාසලට නැවත ලබා දීමට කටයුතු කළ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසලට ලබා දුන් පරිගණක යන්ත්‍ර නැවත රැගෙන ගියේ නැති බවයි විදුහල්පති වැඩි දුරටත් සඳහන් කළේ. එමෙන්ම දෙමාපියන් මේ සම්බන්ධයෙන් චෝදනා නැගුවාද යන්න අප කළ විමසීමේදී දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කළේ, එවන් ගැටලුවක් පැන නොනැගුණු බවයි. විදුහල්පති විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දොඩම්පාපිටිය ප්‍රාථමික විදුහලේ විදුහල්පති

https://vimeo.com/579792413

එම ව්‍යාපෘතිය යටතේ එදිනම මතුගම, ඕමත්ත ජනපද කණිෂ්ඨ විද්‍යාලයට ලබා දුන් ලැප්ටොප් පරිගණක සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිගේ පැහැදිලි කිරීම

ඉතාමත් දුෂ්කර පාසලක් වන ඕමත්ත ජනපද කණිෂ්ඨ විද්‍යාලයේ සිසු සිදුවියන්ට අධ්‍යාපනය ලැබීම සඳහා මෙම ලැප්ටොප් පරිගණක 5 ඇතුළු බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත් බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ පමණක් වුවද අධ්‍යාපනය ලබා දීම සඳහා ප්‍රමාණවත් බවත් ඕමත්ත ජනපද කණිටු විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කළා.‍

තාවකාලික පදනම මත ටැබ් යන්ත්‍ර ලබා දුන් හොරවල ‍නවෝද්‍යා විදුහලේ විදුහල්පතිවරයාගේ පැහැදිලි කිරීම

දොඩම්පාපිටිය විදුහලේ තාවකාලික පදනම මත පරිගණක මධ්‍යස්ථානය විවෘත කිරීමේ වැඩකටයුතු සඳහා හොරවල නවෝද්‍යා විද්‍යාලයට අයත් ටැබ් යන්ත්‍ර 10 ක් ලබා දුන් අතර නැවත එම ටැබ් යන්ත්‍ර භාර දුන් බවද හොරවල ‍නවෝද්‍යා විදුහලේ විදුහල්පති සඳහන් කළා.

එම අවස්ථාවට සහභාගි වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ලේකම්වරයාගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ලේකම්වරයා සඳහන් කළේ, මතුගම දොඩම්පාපිටිය විදුහලේ පාසල් සිසුන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා එම පාසලට ලබා දීමට නියමිතව තිබූ ලැප්ටොප් පරිගණක 5 ක් බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ පාසල වෙත ප්‍රදානය කළ බවත් සිසුන්ට ලබා දුන් පරිගණක නැවත රැගෙන ගිය බවට පළ වන පුවත් අසත්‍ය බවයි.

දොඩම්පාපිටිය විදුහලේ ඉගෙනුම ලබන සිසුවන්ගේ දෙමාපියන් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ අදහස්

https://vimeo.com/579785854

https://vimeo.com/579789748

කොවිඩ් වසංගත තත්ත්වය නිසා දුරස්ථ - මාර්ගගත ක්‍රම මඟින් පාසල් දූ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දී මතු වී තිබෙන ප්‍රායෝගික ගැටලු සඳහා පිළියමක් වශයෙන් රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2,096ක් විවෘත කෙරෙන බැව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. ජූලි 05 දින මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම ඕමත්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ ආරම්භ කළ සම්පත් මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබුණේ මෙලෙසින්.

ජාතික රූපපවාහිනි නාලිකාවේ මේ පිළිබඳ සිදුවූ විකාශයට අයත් දර්ශන අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ද පළකර තිබුණි. එහිදී මෙසේ තෝරාගත් එක් එක් පාසලකට ලැප්ටොප් පර්ඝණක යන්ත්‍ර 5 බැගින් මධ්‍යස්ථාන දෙකකට එදින ලැප්ටොප් 10ක් ද ඇතුළු අනෙකුත් උපකරණ ලබාදුන් බව පැහැදිලිවම සටහන් කර තිබෙනු ද දැක ගන්නට ලැබුණා.

Facebook | Archived

මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී අසීරුතාවලට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් තෝරා ගත් ස්ථාන 2,096කදී සම්පත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බවට පළ වූ තවත් පුවතක් මෙතනින්.

මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට සහ ඕමත්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයට සම්පත් මධ්‍යස්ථාන වෙත අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විසින් ලැප්ටොප් පරිගණක ලබා දුන් අවස්ථාවේ ඡායාරූප මෙතනින්.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසලට ලබා දුන් ලැප්ටොප් පරිගණක 5 සංකේතාත්මකව දරුවන්ට ලබා දෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් පහතින්.

Facebook | Archived Link

මෙම අවස්ථාවේදී ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 5 ක් සහ බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ලබා දීමට සූදානම් කර ඇති අයුරු මෙම ඡායාරුප මඟින් ද පැහැදිලි වෙයි.

මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට ලබා දුන් පරිගණක මේ වන විට ස්ථානගත කර ඇති අයුරු.

https://vimeo.com/579798412

මෙලෙස ලැප්ටොප් පරිගණක යන්ත්‍ර කළුතර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් දෙකක් වෙත ප්‍රදානය කිරීම සිදුවී ඇත්තේ මේ මස (ජූලි) 5 වන දින වුවද මේ ආකාරයේ අදාළ උත්සවයේදී සිදුවූ බව කියන ලබා දුන් ලැප්ටොප් පරිගණක රැගෙන යාම පිළිබඳ එම දිනයේ හෝ ආශ්‍රිත දිනයන්හි පුවත්පත් වාර්තාවල දක්වා නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් පුවත් පත්වල වාර්තා වී තිබුණේ ඊට සති දෙකෙකටත් පසුව ජූලි 23 වනදා වීම ද පුදුමයට කරුණක්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් ප්‍රධාන මාධ්‍යධාරා වල ‘මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට ලබා දුන් ලැප්ටොප් පරිගණක 10 න් 5ක් නැවත රැගෙන යයි’ ලෙස පළ වූ පුවත නොමග යවන සුළු සටහනක් බවයි.

Online ඉගෙනුම් ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වීමට නොහැකි දරුවන් උදෙසා, රටපුරා දුෂ්කර පාසල්වල සම්පත් මධ්‍යස්ථාන 2,096ක් විවෘත ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙළ යටතේ ජුලි 05 වනදා සමාරම්භ අවස්ථාව වන මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලය සඳහා ලැබී ඇත්තේ ලැප්ටොප් පරිගණක 5 ක් සහ බහු මාධ්‍ය ප්‍රක්ෂේපණයකි. වෙනත් පාසලකින් තාවකාලික පදනමින් උත්සව අවස්තාව සඳහා ලබා ගත් ටැබ් යන්ත්‍ර 10ක් ද එම අවස්ථාවේ තිබූ බවත් ඒවා නැවත අදාළ පාසල වෙත ලබා දුන් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් පරිගණක 5 නැවත රැගෙන නොගිය බවත් අදාළ පාර්ශවයන් සියල්ලම තහවුරු කරයි. මෙම වැඩසටහන යටතේම ලැප්ටොප් පරිගණක 5 ක් එදිනම (ජුලි 05) ඕමත්ත ජනපද කණිටු විද්‍යාලයට ද ලැබී තිබුණා.

Avatar

Title:අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දොඩම්පාපිටිය ප්‍රාථමික විදුහලට ලැප්ටොප් පරිගණක 10 ක් ලබා දී නැවත පරිගණක 5 ක් රැගෙන ගියාද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading