පසුගිය වකවාණුවේ රට පුරා පැවති ගුරු-විදුහල්පති උද්ඝෝෂණ හමුවේ, කොවිඩ් වසංගතයේ පැතිරීම වේගවත් කිරීමට දාකය වූ බව පවසමින්, එම උද්ඝෝෂණවල නියැලුන වෘත්තීය සමිතී නායකයන් ඇතුළු ගුරුවරුන්ට ඇතැම් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ලවුණා. තත්ත්වය එසේ තිබියදී, මේ දිනවල සිදු වන කොවිඩ් මරණ තුළද එම උද්ඝෝෂණ සඳහා දායක වූ ගුරු පිරිස් සිටින බව දක්වමින් විවිධාකාරයේ සටහන් හුවමාරු වී තිබුණා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ජවිපෙ ගුරු බිල්ල” යන තේමාවෙන් Manjula Weerasiri නැමැත්තෙක් විසින් හුවමාරු කරගෙන තිබු සටහනක නන්දසේන කළුපහන නම් පුද්ගලයෙකු ට ජනතා විමුක්ති පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් බලමණ්ඩලය ශෝකය ප්‍රකශ කිරීමට දැක්වූ සටහනක් බව දැක්වෙන ඡායාරුපයක් යොදාගෙන තිබුණි.

Facebook | Archived Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එම සටහන්වල ගුරු වෘත්තීය ඉස්මතු කර තිබීම හේතුවෙන්, මෙලෙස මියගොස් ඇත්තේ ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූ ගුරුවරයෙක් බව සිතා ඇතමුන් එම සටහන් වලට ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.


එසේම තවත් පිරිසක් සඳහන් කර තිබුණේ මෙම පුද්ගලයා ගුරුවරයෙකු නොව මිනින්දෝරුවෙකු බවයි.

මේ සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා විමර්ශනයක් සිදු කරන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක්ද මුල් කරගනිමින් අපි මෙහි කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කොරෝනා සෑදී මිය ගිය ගුරුවරයෙකු බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ ඡායාරූප වල ද මෙම පුද්ගලයා ගුරුවරයෙකු නොවන බවට සඳහන් කිරීම හේතුවෙන් අප මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර මේ මහතා ජනතා විමුක්ති පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නාගරික මන්ත්‍රීවරයෙකු වන අනුෂ්ක දිල්හාර මහතාගේ පියා බවට අනාවරණය විය.

අප මේ සම්බන්ධයෙන් විමසීමට එම මන්ත්‍රීවරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර අප ඔහුගෙන් විමසා සිටියේ පියාගේ වෘත්තිය කුමක්ද යන්නයි.

ඒ මහතා සඳහන් කළේ, නන්දසේන කළුපහන වන තම පියා බලයලත් මිනින්දෝරු සහ රත්නපුර දිස්ත්‍රික් උසාවි කොමසාරිස්වරයෙකුද වන බවයි. කොවිඩ් වැළඳී තිබූ බවත් ඉන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ගනිමින් සිටියදී ඇතිවූ හෘදාබාධයකින් ජීවිතක්ෂයට පත්වූ බවයි ඒ මහතා සඳහන් කළේ.

එමෙන්ම කිසිදු අවස්ථාවක තම පියා ගුරු වෘත්තියේ නියැලුණේ නැති බවත් කිසිදු ගුරු උද්ඝෝෂණයකටද සහභාගී නොවූ බවත් ඔහු පවසා සිටියා. තමන් ජනතා විමුක්ති පෙරමුණ නාගරික මන්ත්‍රී වරයෙකු බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් තම පියාද ගුරු උද්ඝෝෂණයට සහභාගි වූ ගුරුවරයෙකු ලෙසට සඳහන් කරමින් මඩ ගැසීමට කටයුතු කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

අප නන්දසේන කළුපහන මහතාගේ වෘත්තීය පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික් උසාවියෙන්ද විමසූ අතර ඔවුන් සඳහන් කළේ ඒ මහතා බලයලත් මිනින්දෝරු සහ රත්නපුර දිස්ත්‍රික් උසාවි කොමසාරිස්වරයෙකු ලෙස සේවයේ යෙදුණු බවයි. එසේම කළුපහන මහතා සිය අසනීප තත්ත්වය හේතුකොටගෙන මේ වසරේ මුල් භාගයේ සිට සේවා කටයුතුවලින් ඉවත් වූ බව ද රත්නපුර දිස්ත්‍රික් උසාවිය අපට තහවුරු කර සිටියා.

අප රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, මිනින්දෝරු වරයෙක් ලෙස කටයුතු කළ කළුපහන මහතාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව නිවැසියන් තමාට දැනුවත් කළ අතර ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග නිවසේ සිටම නිරෝධායනය කළ බවත් ඉන් පසුව ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවය මත රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රත්නපුර රෝහලේදී ජීවතක්ෂයට පත් වූ බවයි.

කෙසේවෙතත් ගුරුවරුන් නොවූ පිරිස්ද දීප ව්‍යාපත්ව පැවැත්වූ ගුරු උද්ඝෝෂණයන්ට සහභාගී වී අත්අඩංගුවට ද පත්වූ පිරිස් අතර සිටි හෙයින්ද අප නන්දසේන කළුපහන මහතාගේ සෞඛ්‍ය පසුබිම තහවුරු කර ගැනීම සඳහා පවුලේ වෛද්‍යවරයාගෙන්ද විමසීමක් කළා. එහිදී වෛද්‍යවරයා සඳහන් කළේ, නන්දසේන මහතා හෘද රෝගියෙකු වූ අතර මෑතක දී ද හෘදයාබාධ තත්ත්වයක් පැමිණ තිබූ බවත් ඔහුට විවේකීව සිටින ලෙස උපදෙස් තිබූ බවයි. එවැනි තත්ත්වයක් තිබියදී කොරෝනා රෝගය ආසාදනය වීමෙන් පසුව නැවතත් එවැනි හෘදයාබාධ තත්ත්වයක් පැමිණීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවත් සඳහන් කර සිටියා.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් ශෝකය ප්‍රකාශ කිරීමට කිරීමට යොදාගෙන තිබු ඡායාරූප සටහනක් යොදාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති සටහන් නිර්මාණය කර තිබූ බව ද දැකගනන්ට ලැබුණා. එම සටහන මෙතනින්.

සැ.යු. නන්දසේන කළුපහන මහතා හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු ගුරු උද්ඝෝෂණ සඳහා සහභාගී වූ බව හෝ නොවූ බවට අපට ස්වාධීනව සත්‍යාපනය කිරීමට අපහසු කරුණක් වන්නේ එම උද්ඝෝෂණ දීප ව්‍යාප්තව සිදුවූ බැවිනි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දිය හැක්කේ රටපුරා පැවැත්වූ ගුරු - විදුහල්පති උද්ඝෝෂණයට සහභාගී වූ ගුරුවරයෙක් කොවිඩ් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවට සංසරණය වූ සටහන් නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි.

මෙසේ කොවිඩ් ආසදිතව ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික් නාගරික මන්ත්‍රීවරයෙකු වන අනුෂ්ක දිල්හාර මහතාගේ පියා වන නන්දසේන කළුපහන මහතා වන අතර ඔහු බලයලත් මිනින්දෝරුවෙකි. කළුපහන මහතා, සිය අසනීප තත්ත්වය තීව්‍ර වීමට පෙර, එනම මේ වසර මුල තෙක්ම රත්නපුර දිස්ත්‍රික් උසාවි කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කර තිබුණා.

හෘද රෝගියෙකු වූ කළුපහන මහතාට, රෝගී තත්ත්වය හමුවේ විවේකී සුවයෙන් සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබූ අතර කොවිඩ් ආසාදනය වීමෙන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුළත් කර එහිදී ඇතිවූ හෘදාබාධයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.

Also Read : FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගි වූ කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ ගුරු වෘත්තීය සංගමයේ නායකයෙක්?

Avatar

Title:ගුරු උද්ඝෝෂණයට සහභාගි වීමෙන් කොරෝනා ආසධනය වී මියගිය ගුරුවරයෙක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading