Last updated on November 10th, 2022 at 11:41 am

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ඖෂධ සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාවන, භාවිතා වන මෙවැනි වකවානුවක ජනතාව බිය වැද්දීමේ අරමුණින්, නොමග යැවීමේ අරමුණින් අසත්‍ය සටහන් ජනතාව තුළ පැතිරවීම බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඖෂධයක වෛරසයක් අඩංගු බවට පළ වූ ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවූ පණිවිඩයක සඳහන් වුණේ, පැරසිටමෝල් P -500 ඖෂධය භාවිතා නොකරන ලෙසයි. දිලිසෙන සුදු පැහැයකින් පැරසිටමෝල් -500 පෙත්තෙහි “මැචුපෝ”(Machupo) නම් මරණ අනුපාතය වැඩි භයානක වෛරසයක් ඇති බවයි.

WhatsApp පණිවිඩයේ සඳහන් මෙම කරුණු ඇතුළත්ව 2017 වර්ෂයේ දී ද මෙරට ෆේස්බුක් ඔස්සේ සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ තවත් සටහන් කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link
මෙම සටහන් 2017 වර්ෂයේදී බහුලව සංසරණය වී ඇති බව පෙනී යනවා. නයිජීරියානූ ජාතිකයෙකු සිය Twitter ගිණුමේ මෙසේ සඳහන් කර තිබුණේ, මෙම පැරසිටමෝල් නිෂ්පාදනයෙන් ඈත් වෙන ලෙසයි. එමෙන්ම පකිස්ථාන ජාතිකයෙකුද මේ සම්බන්ධයෙන් Twitter පණිවිඩයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්. ඉන්දියාවේ ද එම අවධියේ මේ ආකාරයේ සටහන් රැසක් හුවමාරු වී තිබූ අතර ඒවායේ තවදුරටත් පෙන්වා දී තිබුණේ පැරසිටමෝල්-500 භාවිතයෙන් “මැචුපෝ”(Machupo) නමැති වෛරසය අසාධ්‍යනය වූ පිරිසකගේ ඡායාරූප පෙළකි.
මෙසේ කලින් කලට හුවමාරු වන සටහන් වල දැක්වෙන පරිදි, පැරසිටමෝල්වල මෙවැනි වෛරසයක් අඩංගු වී ඇත්දැයි කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
පැරසිටමෝල් යනු වේදනා නාශකයකි. මෙම ඖෂධය සමහර රටවල acetaminophen යන නමින්ද හඳුන්වනු ලැබේ. පැරසිටමෝල් වේදනා දුරු කරන බැවින් නිර්වේදනික කාණ්‌ඩයට ද, ශරීර උෂ්ණත්වය වැඩි වූ අවස්‌ථාවල පහත හෙළන බැවින් ප්‍රතිජීවක ඖෂධ කාණ්‌ඩයට ද අයත් වේ. එම ඖෂධය පෙති, දියර, බින්දු ලෙස කුඩා ළමයින්ට දිය හැකි අයුරින් ද
විවිධ ආකාරයෙන් නිපදවේ. ලොව පුරා මෙම ඖෂධය හඳුන්වනු ලබන්නේ පැරසිටමෝල් යන ඖෂධීය නාමයෙනි.
පැරසිටමෝල් ඖෂධයට නොයෙකුත් වෙළෙද නාම තිබේ. පැනඩෝල් යනුවෙන් හඳුන්වන්නේ එවැනි එක් වෙළෙඳ නාමයකට ය. ලෝකයේ Paramol, maxmol, paracetol, astamol, pyrol යනා දී වශයෙන් පැරසිටමෝල් ඖෂධයෙහි වෙළෙදනාම 30-40 පමණ ප්‍රමාණයක් පවතින බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පවසයි.
එසේම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් ආකාරයට ලංකාවේ ද පැරසිටමෝල් වෙළඳපොලේ බොහෝ වෙලාවට මිලදී ගැනීමට තිබෙන්නේ මිලි ග්‍රෑම් 500 පෙති වශයෙනි. කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට ලබා දිය යුතු පැරසිටමෝල් මාත්‍රා වෙනස් විය යුතු අතර නිර්දේශිත ප්‍රමාණයට වඩා ලබාගැනීමෙන් නොයෙකුත් ව්‍යාකූලතා ද ඇතිවිය හැකි බවත් දක්වමින් පළවූ ලිපියක් මෙතනින්.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ “P-500” පැරසිටමෝල් පෙති විශේෂය නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ Apex Laboratories පුද්ගලික සමාගමෙනි.
Machupo වෛරසය නොහොත් Bolivian hemorrhagic fever (BHF) යන වෛරසය 1962 දී දකුණු අමෙරිකාවේ බොලිවියානු San Joaquín ගම්මානයේදී මුලින්ම වාර්තා වී ඇති අතර රෝගය බෝ වූයේ මීයන්ගෙන් බව සඳහන් වෙනවා. උණ, මස්පිඩු වේදනාව, විදුරුමස් වලින් ලේ ගැලීම වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය ප්‍රධාන වශයෙන් ආසාදිත මීයන්ගේ කෙල, මළ මුත්‍රා මඟින් සම්ප්‍රේෂණය වන අතර බොහෝ දුරට දකුණු ඇමරිකාවෙන් වාර්තා වෙනවා.
Paracetamol P-500 ඖෂධ වර්ගයේ එම වෛරසය අඩංගු බවට කිසිදු පුවත් වාර්තාවක් හෝ එවන් සිදුවීමක් සම්බන්ධයෙන් හෝ ජාත්‍යන්තරයේද වාර්තා වී නොතිබුණු අතර මෙය හුදෙක් මෙම ඖෂධ වර්ගය ඉලක්ක කර ගනිමින් එල්ල කළ අනතුරු ඇඟවීමක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ.
මේ පිළිබඳව සිංගප්පුරු සෞඛ්‍ය අංශය 2017 වසරේ පළකර පැහැදිලි කිරීම පහතින්.
hsaupdates_machupoparacetamol-finalඉන්දුනීසියාවේ ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්. එමෙන්ම මැලේසියානූ රජයද මෙම අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්. මෙම වෛරසය මීයන්ගෙන් බෝවිය හැකි නමුත් මෙම වෛරසය කිසි ලෙසකින්වත් පැරසිටමෝල් පෙත්තකින් බෝ විය නොහැකි බවත් මෙම Machupo වෛරසය දකුණු අමෙරිකාවේ පමණක් හමුවී ඇති බවත් මැලේසියාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නූර් හිෂාම් අබ්දුල්ලා මෙම නිවේදනයේ ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවන් කළ විදේශීය වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
Factcrescendo අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දිය හැක්කේ, Paracetamol P–500 නම් ඖෂධයේ මාරාන්තික වෛරසයක් වන Machupo වෛරසය අඩංගු බවට පළ වන සටහන් අසත්‍ය බවයි. එම වෛරසය දකුණු ඇමෙරිකාවේ පමණක් බොහෝදුරට පැතිරී තිබූ වෛරසයක් වන අතර එම රෝගය වැළදෙන්නේ මීයන්ගේ කෙළ, මළ මුත්‍රා හරහා වෙයි.
