සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ඉලක්ක කරගනිමින් ද ඇතැම් අවස්ථාවල දී ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ, විපක්ෂනායකවරයා ගෑස් හිගය සහ එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව සිදු කළා යැයි සමාජ ජාල හරහා පැතිරෙන සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් :

විපක්ෂනායකවරයා ඉලක්ක කර ගනිමින් හුවමාරු වූ සමාජ ජාලා සටහනක දැක්වුණේ..

“මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න සල්ලි නෑ.ගෑස් නෑ. ඒත් එල්.පී.එල් ගහන්න සල්ලි තියෙනවා. මේ ආණ්ඩුව ගෑස් දෙන්නෙ නෑ.මිනිස්සු ගෑස් ගන්න පෝලිම්වල. අපිත් එක්ක එකතු වෙන්න. ඔබ තමුන්නාන්සේලාට මන් කියන්න කැමැතියි අපි බලයට පත්වූ වහාම මේ සියලු ප්‍රශ්න වලින් ඔබ සියල්ලම මුදවනවා. දූවිල්ලක් වගේ ඔබ දෙපතුල ලගට ගෑස් ගේන්න මා සූදානම්.” යනුවෙන්

Facebook | Archived

එම සටහනේම තවදුරටත් දක්වා තිබුණේ..

“LPL ගහන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් කියලා හිතන් ඉන්න පොරකගේ මේ වගේ ගොන් කතා අහන්නද මෙච්චර සෙට් එකක් කොරෝනා අස්සේ කොළඹ ගියේ “ යනුවෙනි.

මෙම ප්‍රකාශ දෙකම පසුගිය දා විරෝධතා රැළියක දී සජිත් ප්‍රේමදාස මහතා පැවසු බවට පෙන්නුම් කිරීමට කටයුතු කර තිබු බව ද ඒ සඳහා යොදාගෙන තිබු ඡායරූප මඟින් පෙනී යනවා.

දෙසැම්බර් මාසයේදී ලංකාවේ ආරම්භ වීමට නියමිත LPL තරගාවලිය සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සිදු කල ප්‍රකාශයක් ලෙස සඳහන් කරමින් තවත් සමාජ ජාල සටහනක එම කරුණු පළව තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

මේ හා සම්බන්ධ තවත් සටහන් සමාජ ජාල හරහා පැතිර තිබුණේ මෙලෙසින්

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

අප මුලින්ම සොයා බැලුවේ මෙම සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරුපය සම්බන්ධයෙන්. එම ඡායාරුපය ''සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය'' යන තේමාවෙන් ඊයේ (නොවැම්බර් මස 16 වැනිදා) සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාව අතරතුර දී ගාලු මුවදොර අසලදී ලබාගත් ඡායාරුපයක් බවට අපට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබුණා.

එම ඡායාරුපය යොදාගනිමින් පළවූ සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඉන්පසුව ගාලු මුවදොර ආසන්නයේදී ,නොවැම්බර් 16 දින පැවති රැලියේදී විපක්ෂනායකවරයා විසින් සිදු කල සම්පූර්ණ කතාව ද අප නිරීක්ෂණය කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ LPL සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් විපක්ෂනායකවරයා සිදු නොකළ බවයි. එමෙන්ම ගෑස් , ජනතාවගේ දෙපා මුලට දූවිල්ලක් ලෙස රැගෙන එන බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කරන්නේ නැහැ.

කෙසේනමුත් විපක්ෂ නායකවරයා පවසන්නේ ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කිරිපිටි පෝලිම්, සීනි පෝලිම් වැනි පෝලිම් යුගයක් පවතින රජය බිහිකළ හමාර බවයි.

විපක්ෂනායකවරයාගේ සම්පූර්ණ කතාව සම්බන්ධ වීඩියෝව පහතින්.

https://youtu.be/3E43PRcVGBk

ඉහත සමගි ජන බලවේගය පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් පළවූ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්වල දැක්වෙන කරුණු වාර්තා කර ඇද්ද යන්න පිළිබඳවද අප පරීක්ෂා කළද ඒ ආකාරයේ පුවතක් දක්නට ලැබුණේ ද නැහැ.

මේ පිළිබදව අප විපක්ෂනායකවරයාගේ මාධ්‍ය අංශයෙන්ද විමසා බැලුවා. විපක්ෂනායක වරයා LPL සම්බන්ධ කිසිම ප්‍රකාශයක් නොවැම්බර් 16 පැවති විරෝධතා රැලියේදී ප්‍රකාශ නොකල බවත් එමෙන්ම මීට පෙර හෝ LPL සම්බන්ධ සමාජ ජාලා වල පැතිරෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු නොකල බවත් විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පැවසුවා. එමෙන්ම ගෑස් සම්බන්ධයෙන්ද සමාජ ජාලා වල සටහන් ආකාරයේ ප්‍රකාශයක් විපක්ෂනායක වරයා පැවසුවේ නැති බවත් ඔහු තහවුරු කර සිටියා.

LPL තරඟාවලිය සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද විමසීමක් සිදුකළ අතර තහවුරු කර සිටියේ එම තරඟාවලියේ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකෙරෙන අතර ඩුබායි හි IPG (Innovative Production Group) නම් සමුහයක් වෙත වසර 5ක කාලයක් සඳහා මෙම තරඟාවලියේ නිල අයිතීන් ලබා දීමට ගිවිසගෙන ඇති බවයි. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත වාර්ෂිකව ගිවිසුමේ පරිදි ගෙවීමක් සිදුවන අතර කිසි ලෙසකත් රජය විසින් LPL සඳහා මුදල් ලබාදීමක් සිදුවන්නේ නැති බව තහවුරු කර සිටියා. IPG නිල වෙබ් අඩවියේ ද LPL සඳහා සහභාගී වන ෆ්‍රැන්චයිස් පිලිබඳ අයිතීන්, මාධ්‍ය අයිතීන්, ක්‍රීඩා පිටිවල අනුග්‍රාහකත්වය සහ නිෂ්පාදන අයිතීන් යනාදිය 2020-2024 කාල පරාසය තුළ හිමිවන බවට සඳහන් කර තිබුනේ මෙලෙසින්.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද විමසුමේදී තහවුරු වූයේ එල්.පී.එල් තරගාවලිය පිළිබද කිසිම සදහනක් විපක්ෂනායකවරයා විසින් නොවැම්බර් 16 ගාලු මුවදොර අසල පැවැත්වූ විරෝධතා රැලියේදී සිදු නොකල බවයි. එසේම ගෑස් ඇතුළු පෝලිම් යුගයක් වර්තමානය රජය විසින් බිහිකර තිබෙන බවක් විපක්ෂනායකවරයා පැවසුවද සමාජ ජාලාවල සඳහන් වන ආකාරයේ  ප්‍රකාශයක් විපක්ෂනායකවරයා සිදු කර තිබුනේ නැහැ.

Avatar

Title:LPL ගහන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් බවට විපක්ෂනායක වරයාගේ ප්‍රකාශයක්?

Fact Check By: Kalana Krishantha

Result: False