කුලියාපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු සහ 04 හැවරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බවට, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

බාලවයස්කරුවෙකු විසින් අපරික්ෂාකාරීව ධාවනය කල ඩිෆෙන්ඩර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් කුලියාපිටිය කනදුල්ල මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (01) පස්වරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැමිණි තරුණයෙකු සහ අවුරුදු 04ක පමණ වයසැති කුඩා දරුවෙකු (තාත්තා සහ පුතා) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

අනතුරත් සමග ප්‍රකෝපකාරීව හැසිරුන ගම් වැසියන් අනතුර සිදුකල ඩිෆෙන්ඩර් රථයට මෙසේ ගිනිතබා තිබුණා.

ඒ අහිංසක තාත්තටයි පුංචි පුතාටයි නිවන් සුව ලැබේවා.!” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන ඇතුළත් තවත් ඡායාරූප සහ වීඩියෝ සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ අයුරු.

මෙම සටහන සඳහා බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණේ, අනතුරින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් නොවුණු බවයි.

එම ප්‍රතිචාර පහතින්.

ඒ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Update (03/05/22 ) :

කුලියාපිටිය ඩිෆෙන්ඩර් අනතුර 14 හැවිරිදි ළමා රියදුරාගේ විස්තරේ මෙන්න!” යනුවෙන් ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ කෙසේද යන්න පිළිබඳ අපගේ අවධානය යොමු විය.

මෙම අනතුර ඊයේ(01) සවස කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණා.

එලෙස මිය ගොස් ඇත්තේ කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථය පැදවු රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් අත්අඩංගුවට ගත් පිරිස අතර 14 හැවිරිදි දරුවෙකු ද වන බවයි වාර්තා පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් අනතුරින් වසය අවුරුදු 4ක දරුවෙක් ජීවිතක්ෂයට පත් වූ බවට පුවත් වාර්තා වල සඳහන් නොවුණි.

මේ පිළිබඳව අප කුලියාපිටිය ප්‍රදේශවාසියෙකුගෙන් ද විමසා සිටි අතර කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වූ සිද්ධියක් වාර්තා වූ නැති බව පවසා සිටියා.

එමෙන්ම පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (02) දිනයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේද, දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් වී නොතිබුණි.

Police.lk

මේ හේතුවෙන් අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතාගෙන් විමසීමක් කළා.

මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, රිය අනතුරින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වී නොමැති බවත් අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදි රියදුරු සමග දරුවෙකුද නොසිටි බවයි.

ඩිෆෙන්ඩර් රථයේ තිබූ කැමරාවෙන් එම අනතුර සිදු වන අවස්ථාවේ පටිගත වී තිබූ අයුරු සහ අනතුරින් පසුව ප්‍රකෝපකාරී වූ අවට සිටි පිරිස ඩිෆෙන්ඩර් රථය පොලීසියට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඊට පහරදී ගිනි තබා තිබුණේ මෙලෙසින්. ඒ පිළිබඳව පළවූ පුවත් වාර්තා මෙතනින්.

Update (03/05/22 ) :

මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථය ධාවනය කළේ කවුරුන්ද යන්න විමසීම සඳහා අප කුලියාපිටිය ස්ථානාධිපතිව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ඒ මහතා සඳහන් කළේ, එම අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථය ධාවනය කරනු ලැබුවේ 14 හැවිරිදි දරුවාගේ පියා බවත්, දරුවා සිටින්නේ රියැදුරු අසුනට වම් අත අසුනේ බවත්, එම අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ තිබූ කැමරාවේ පටිගත වී තිබූ වීඩියෝවෙන්ද දැක්වෙන බවත් ඔහු සඳහන් කරනු ලැබුවා. එම වීඩියෝව පහතින්.

https://youtu.be/N2v7s5ni37Y

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ඊයේ (02) කුලියාපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් දරුවෙකු ද, ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සටහන් අසත්‍ය බවයි. එම අනතුරින් යතුරුපැදිකරු පමණක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ කුඩා දරුවෙකු එහි නොසිටි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකද තහවුරු කරනු ලැබුවා.

Avatar

Title:කුලියාපිටිය ඩිෆෙන්ඩර, යතුරුපැදි අනතුරින් දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා ද ?

Fact Check By: Pavithra Sandamali

Result: False