හෙට දිනයේ දී (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ජන්දයකින් අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පත්කරගැනීමට නියමිතයි. මෙම ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරිපත්වීමට නියමිතයි. එජාප ය විසින් මෙම පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලැයිස්තුවක ලිපියක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන්හි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින් යනුවෙන් සඳහන් කරමින්, එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ ලිපියක් ලෙස එම පක්ෂයේ ලිපි ශීර්ෂයක් යටතේ ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

WhatsApp ඔස්සේ ද, මෙම නිවේදනය පරිශීලකයින් අතර හුවමාරු වුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

එක්සත් ජාතික පක්ෂයේ නිල ලිපි ශීර්ෂය සහිතව දක්වා ඇති ලිපිය සම්බන්ධයෙන් අප එහි මාධ්‍ය සම්බන්ධීකාරකවරුන්ගේ විමසීමක් සිදු කළා.

ඔවුන් සඳහන් කලේ, එම ලිපිය එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් නොකළ, ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද අසත්‍ය ලිපියක් බවයි.

එමෙන්ම ඉහත ලිපිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

කෙසේ වෙතත් මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප එම ලිපියේ දිස්ත්‍රික් නායකයින් යනුවෙන් සඳහන් කර තිබූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් මේ පිළිබඳව විමසා සිටියා.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙවැනි ලිපියක් තමන්ට නොලැබුණු බවත් මෙය අසත්‍ය ලිපියක් බවයි. එමෙන්ම, කනක හේරත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සරත් වීරසේකර යන මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය අංශයද, සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂයෙන් මෙවැනි ලිපියක් හෝ නිවේදනයක් තමන් වෙත නොලැබුණු බවයි.

ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනපති තේරීමේ තරඟයට වර්තමාන වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන බවට ප්‍රකාශයට පත් කර ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද, ජනපති තරඟයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කළද, අද දිනයේ(19) අනුප්‍රාප්තික ජනාධිපති අපේක්ෂක්තවයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර තිබුනේ මෙලෙසින්.

ජනාධිපති තනතුරට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්දයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි එහි සභාපති ජී.එල්.පීරිස් මහතා ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ගෙන් විමසා තිබුණා. ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ මාධ්‍ය වේදියෙකු නැගූ පැනයට කාරියවසම් මහතා පිළිතුරු ලබා දුන්නේ මේ අයුරින්.

ජනාධිපති ධුරය සඳහා අද (19) පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායකගේ නම් යෝජනා වී ඇති අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඩලස් අලහප්පෙරුමගේ නම ජනාධිපති ධුරය සඳහා යෝජනා කළ අතර පොදුජන පෙරමුණු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් ඩලස් අලහප්පෙරුමගේ එම නම ස්ථිර කළා.

දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ අතර එය මනූෂ නානයක්කාර විසින් එය ස්ථීර කරනු ලැබුවා.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක මහතාගේ නම විජිත හේරත් මහතා යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ, හරිනි අමරසූරිය විසින්.

එම අවස්ථාව පහතින්.(04.02)

ඡන්ද විමසීම හෙට (20) පෙරවරු 10 .00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

ජුලි 19 සහ 20 පාර්ලිමේන්තුවේ සිදුවීමට නියමිත නාම යෝජනා භාර දීම සහ ඡන්ද විමසීම පිලිබඳ පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය විසින් සිදුකළ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, එක්සත් ජාතික පක්ෂය විසින්, පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින් යනුවෙන් ලිපියක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ ලිපිය ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවයි. ඒ බවට එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය තහවුරු කරනු ලැබුවා, එම ලිපියේ සඳහන්කර තිබූ ඇතැම් මන්ත්‍රීවරුන්ද පැවසුවේ, එවැනි ලිපියක් හෝ නිවේදනයක් තමන් වෙත නොලැබුණු බවයි.

Avatar

Title:ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණයට එජාපයෙන් පත් කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලිපියක් ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading