දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

විවිධාකාරයේ මානුෂීය කාරණා සඳහන් කරමින්, මුදල් පරිත්‍යාග ලබා දෙන මෙන් ඉල්ලීම් සහිත සටහන්, බොහෝ දෙනා අතර සංසරණය වනවා. මේ අතරින් දරුවන්ගේ දරුණු අසනීප තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට මුදල් එකතු කිරීම් ප්‍රමුඛ වනවා. මේ සඳහා බොහෝ අය මුදල් ආධාර එකතු කිරීමට ද උත්සුක වන අතර එම පරිත්‍යාග ද සමඟ එවැනි සැත්කම් සහ ප්‍රතිකාරය ක්‍රමා සාර්ථකව නිම කරන සත්‍ය තොරතුරු ද අපට දැක ගන්නට ලැබෙනවා.

කෙසේනමුත් මෙවැනි සංවේදී කාරණා ඔස්සේ අයුතු ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යාජ සටහන් ඉතාමත් කූට අන්දමින් ජනතාව රවට්ටමින් මුදල් වංචා කිරීම ද, සුලබව දක්නට ලැබෙනවා. එවැනි සටහනක නිරවද්‍යතාවය සොයා FactCrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මිහින්තලේ ,කටුපොත පදිංචි පිළිකා රෝගයෙන් පීඩා විදින දරුවෙකුට සැත්කමක් සඳහා ලක්ෂ 18ක මුදලක් අවශ්‍ය බවට දක්වමින්, ඒ සඳහා මුදල් ආධාර ලබා දෙන ලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ සටහනක, එම දරුවගේ සහ දෙමව්පියන්ගේ බවට හඟවමින් ඡායාරූප පෙළක් ද සමඟ, ඔවුන්ගේ දුරකථන අංක සහ බැංකු ගිණුම් තොරතුරු ද බවට විස්තර ඇතුළත් කර තිබුණා.

Facebook | Archived Link

අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් මෙම සටහන පළ කර තිබූ අතර මෙය සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

එම සටහනට යොදාගෙන තිබු ඡායාරූප Reverse Image සෙවුමක් ඔස්සේ පරික්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබුණේ, මෙම ඡායාරූප වල සිටින්නේ 2020 වසරේ ඉන්දියාවේ එවකට දෙහැවිරිදි අද්වයිත් නමැති දරුවෙකු බවයි.

එම අවධියේ දී මෙම දරුවා උග්‍ර වූ b-lymphoblastic ලියුකේමියා රුධිර පිළිකා වර්ගයකින් පීඩා විඳින බවත්, දිනෙන් දින ඔහුගේ තත්ත්වය නරක අතට හැරෙන අතර, දුප්පත් දෙමාපියන්ට ඔහුට ප්‍රතිකාර කිරීමට වත්කමක් නොමැති බවට විස්තරයක් ද සමගින් ඉහත සටහනේ දක්වා ඇති ඡායාරූප ද ඇතුළත්ව, මේ ආකාරයේ ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින්ට අරමුදල් එකතු කිරීමට භාවිතා වන වේදිකාවක් වන ketto වෙබ් පිටුවක දක්වා තිබුණා.

මෙම දරුවාගේ පිළිකා රෝගී තත්වය සහ අරමුදල් ලබාදිය හැකි සත්‍ය තොරතුරු ද ඇතුළත් වාර්තාව මෙතනින්. එම දරුවාගේ දෙමාපියන්ගේ නම් වූයේ අනූෂා සහ ශ්‍රීධර් බවත්, සුළු රැකියාවක යෙදී සිටි පියාට කොවිඩ් වසංගත තත්වයත් සමඟ රැකියාව ද අහිමි ව තිබූ බවත්, ප්‍රතිකාර සඳහා අවශ්‍ය විශාල මුදල සපයා ගැනීමට උපකාර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබුණා.

ඉන්දියාවේ හයිද්‍රබාද්හි පිළිකා මධ්‍යස්ථානයකින් පිළිකා සම්බන්ධ විශේශඥ වෛද්‍යවරයෙකු විසින් දරුවාගේ අසනීප තත්ත්වයන් සම්බන්ධව ලබා ඇති වෛද්‍ය වාර්තා මෙන් ම, අනෙකුත් වෛද්‍ය වාර්තා ද, ඉන්දියාවේ ඇති CITIZENS රෝහලින් ඉදිරිපත් කර ඇති වෛද්‍යවාර්තාවක් ද අපට අන්තර්ජාලය ඔස්සේ දැක ගන්නට ලැබුණු අතර, මෙම දරුවාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 18ක මුදලක් වැය වන අතර ඒ සඳහා අරමුදල් එකතු කිරීමේ වැඩපිළිවෙළක් ද, අපට දැක ගන්නට ලැබුණා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

කෙසේවෙතත් ketto වෙබ් අඩවිය මඟින් මෙම දරුවාගේ ප්‍රතිකාර සඳහා ඉලක්කගත කරමින් එකතු කර අරමුදල් ප්‍රමාණය, දෙදහසකට වැඩි පිරිසකගේ දායකත්වය මත, සපුරා ගැනීමට හැකි වී තිබෙනවා. දරුවාට මුදල් පරිත්‍යාග සිදුකළ සියල්ලට ස්තූති කරමින්, එම පරිත්‍යාග ඔස්සේ ප්‍රතිකාර ලබමින් දරුවා දැන් සුව වෙමින් පවතින බවත්, ඔහුගේ රසායනික චිකිත්සාව (chemotherapy) තවමත් සිදුවෙමින් පවතින බවත්, මව විසින් නිවසේදීම ඔහුට අධ්‍යාපන කටයුතු සිදුකරමින් සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ලබාදෙන බවත් ඇතුළු විස්තර, එම අරමුදල් එකතු කිරීම මෙහෙයවූ කාන්තාව, මීට දින 22කට පෙර එහි සඳහන් කර තිබුණා.

ව්‍යාජ බැංකු ගිණුම් සහ දුරකථන අංක සමඟ ලංකාවේ හුවමාරු වන සටහන්වලට ප්‍රතිචාර දක්වන්න එපා!

එමෙන් ම ලංකාවේ හුවමාරු වන සමාජ මාධ්‍ය සටහනින් එම දරුවාගේ පියා සහ මව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක බවට සඳහන් කර තිබු අංක වලට ඇමතුම් ලබා ගැනීමට අප උත්සහ කළ අතර ඒවා ක්‍රියාවිරහිත කර තිබුණා.

එසේම ඉහත සමාජ මාධ්‍ය සටහන්හි යොදාගෙන තිබු Commercial බැංකුවේ ගිණුම් අංකයම යොදාගනිමින්, ක්‍රියාවිරහිත කර ඇති දුරකථන අංකයක් ද සමඟ, ඉහත පරිදිම තවත් සටහනක් ද මීට මාස කිහිපයක සිටම හුවමාරු වී තිබු අයුරු අපට දැක ගන්නට ලැබුණා. එවැනි සටහනක් මෙතනින්. Archived

Facebook

මානුෂිය කාරණයක් හේතුවෙන් බොහෝ දෙනෙක් අතර හුවමාරු වූ මෙම සටහන සඳහා ඉහත පරිදිම යොදාගෙන තිබුණේ, ඉන්දියානු දරුවෙකුගේ විස්තර පෙළක්. අවාසනාවන්ත ලෙස ප්‍රතිකාර ලබාගනිමින් සිටයදී මීට වසර දෙකකට පෙර එම දරුවා මෙලොවින් සමුගෙන තිබුණා. ඒ පිළිබඳ ketto වෙබ් අඩවියේ පළවී තිබෙන විස්තරය මෙතනින්

එසේම වංචනික ලෙස මුදල් එකතු කිරීමට යොදාගෙන තිබු බැංකු ගිණුම සම්බන්ධයෙන් බොහෝ දෙනාගෙන් ලැබුණු පැමිණිලි මත, අදාළ කොමර්ෂල් බැංකු ගිණුම, එම බැංකුව විසින් බ්ලොක් කර තිබෙනවා.

රෝගියාගේ පාර්ශවයක් සමඟ සම්බන්ධ වී, විස්තර තහවුරු කර ගැනීමෙන් පසු, මුදල් ආධාර ලබා දෙන්න!

ඉන්දියාවේ පිළිකාවේ පිඩා විඳින දරුවාගේ විස්තර සමඟ, ව්‍යාජ තොරතුරු ද ඇතුළත් කරමින්, ලංකාවේ හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් වලින් ප්‍රවේශම් වන ලෙසත්, පිළිකා වැනි රෝගී තත්ත්වයකින් පෙළන මුදල් පරිත්‍යාග ඇත්ත වශයෙන්ම අවැසි අයට එම පරිත්‍යාග සිදුකිරීමට පෙර, අදාළ රෝගීන් සම්බන්ධ කරගෙන, මුදල් ඉල්ලීම් කරන වෛද්‍ය උපදෙස් (prescription) ඇතුළත් වාර්තා, අදාල සැත්කම් හෝ ප්‍රතිකාර සඳහා රෝහල්වලින් ලබා දුන් ඇස්තමේන්තු වැනි තොරතුරු ද සොයා බලන ලෙස උපදෙස් ද සමඟ Fight Cancer Team Sri Lanka ෆේස්බුක් පිටුවේ ද සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

එමනිසා නිසියාකාරව සොයා බැලීමකින් තොරව, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන මෙවැනි සටහන් වල දැක්වෙන බැංකු ගිණුම් සඳහා මුදල් පරිත්‍යාගයන් සිදු නොකරන ලෙසත්, සැක කටයුතු සටහන් පිලිබඳ තතු Google හෝ වෙනත් සෙවුම් යාන්ත්‍රණ ඔස්සේ සහ Reverse Image වැනි සෙවුම් යාන්ත්‍රණ ඔස්සේ ද සෙවීමක් සිදු කර, ලබා දී ඇති ඇති දුරකතන ඔස්සේ ඇමතුම් ලබා පුද්ගලයින් සම්බන්ධ කරගෙන, වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව තම පරිත්‍යාගයන් සිදු කරන ලෙස අප ද ඔබගෙන් ඉල්ලා සිටිමු.

Also Read : FACT CHECK : කුඩා දරුවෙකුගේ ඡායාරුපයක් හුවාමාරු කර ගන්නා ප්‍රමාණයට මුදල් ලැබෙන බවට ව්‍යාජ සටහනක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

මිහින්තලේ ,කටුපොත පදිංචි පිළිකා රෝගයෙන් පීඩා විදින දරුවෙකුට සැත්කමක් සඳහා ලක්ෂ 18ක මුදලක් අවශ්‍ය බවට දක්වමින් ඒ සඳහා මුදල් ආධාර ඉල්ලමින් සමාජ මාධ්‍ය ජාලා සටහනක් සංසරණය වන්නේ මෙරට ව්‍යාජ ලෙස මුදල් වංචා කිරීම සඳහා සකසන ලද සටහනකි.

ඡායාරූප පෙළ, ඉන්දියාවේ පිළිකා තත්ත්වයකට මුහුණ පා ඇති දරුවෙකුට අදාළ ඡායාරූප වන අතර එම දරුවා ද දැන් සුව අතට හැරෙමින් සිටින අතර ආධාර එකතු කිරීමට ගොඩනැගු ඉලක්කය ද සාර්ථකව සපුරාගෙන තිබෙනවා. එසේම ලංකාවේ බැංකු ගිණුමක් ඔස්සේ වෙනත් රටක මුදල් ආධාර සිදුකළ නොහැක.

Avatar

Title:පිළිකාවෙන් පීඩා විදින දරුවන්ගේ ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙස, ව්‍යාජ බැංකු ගිණුම් සමඟ හුවමාරු වන වංචනික සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: False