2022 ගෝල්ෆේස් අරගලයේ සමස්ථය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ?

Election Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවලදී ඇතැම් මාධ්‍ය විසින් පුවත් වාර්තා කිරීමේදී ජනතාව නොමග යන අයුරින් පුවත් වාර්තාකරණය කළ අවස්ථාවන් දැක ගන්නට ලැබෙනවා. විශේෂයෙන් ම ජනාධිපතිවරණ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, ඇතැම් පාර්ශව වලට වාසි දායක වන අයුරින් මාධ්‍ය වාර්තා වල ශීර්ෂ පාඨ හරහා සමාජයට යම් කිසි පෙළඹවීමක් සිදු කර නොමග යන අයුරින් වාර්තා කරන අතර එලෙසින් නොමග යන සුළු අන්දමින් සිදු කළ වාර්තාවන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

‘අරගලයේ තරුණ සහය ත් රනිල් වික්‍රමසිංහ’ට බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook

එසේම අරගලයේ අපේක්ෂකයා තේරී පත් වූ බව සඳහන් කරමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණේ මෙලෙසින්.

මෙම වීඩියෝවට පාදක වූ පුවත් ලිපිය මෙතනින්.

මෙම සටහන් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ, ගෝල්ෆේස් අරගලයේ සමස්ථ ප්‍රජාව නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගෙන ඇති බවටයි.

මේ හේතුවෙන් මෙහි සත්‍ය කරුණු සොයා අප සිදු කළ පැහැදිලි කිරීම පහතින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

ඉහත පළමු වීඩියෝවේ සඳහන් වී තිබුණේ, ‘ජන අරගලයේ ක්‍රියාකාරීන්’ නමැති සංවිධානය විසින් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන බවටයි. ඒ බවට ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක දක්වා තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

එමෙන් ම දෙවන වීඩියෝවේ දැක්වෙන්නේ, ‘ජන අරගල සන්ධානයේ’අපේක්ෂකයා නුවන් බෝපගේ සම්බන්ධයෙන් වාර්තා කර ඇති අයුරු වේ. ඒ බවට පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

මෙම අපේක්ෂකයින් 2022 පැවති ගෝල්ෆේස් සාමූහික අරගලය නියෝජනය කරමින් තෝරා පත් කර ඇති අපේක්ෂකයින් බවට ඇතැම් මාධ්‍ය පුවත් වාර්තා කර තිබූ බැවින් අප මේ පිළිබඳ ‘ගෝල්ෆේස් අරගලයේ’ කැපී පෙනුන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් සිදු කළා.

අනුරුද්ධ බණ්ඩාර : “2022 වසරේ සිදු වූ මහජන අරගලය නියෝජනය කරමින් කිසිදු පාර්ශවයක් මම දැනුවත්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නැහැ. එසේ සිදු කිරීමට උත්සාහ කරනවා නම් එයත් මහජනතාව නොමග යැවීමක් පමණයි. 2022 අරගලයේ ද ක්‍රියාකාරීව කටයුතු කල යම් යම් පාර්ශව  විසින් දේශපාලනික පෙරමුණු නිර්මාණය කරගෙන තිබුණත්, එම කිසිදු පාර්ශවයක් විසින් සමස්ථ මහජනතාවක් එක්ව කළ මහජන අරගලය නියෝජනය වෙන්නේ නැහැ. එසේ කළ නොහැකි බව මම විශ්වාස කරනවා.”

ඡන්ද දායකයෙක් ඡන්දය ප්‍රකාශ කල යුත්තේද යම් පාර්ශවයක ප්‍රතිපත්ති, භාවිතය සහ විභවය හඳුනා ගැනීම තුළින් පමණක් වන අතර අරගලයට සහභාගී වීම හෝ නොවීම කිසිදු සාධකයක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ පිළිබඳව වැඩිදුරටත් අනුරුද්ධ සිය නිල ෆේස් බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින්.

පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි : ලං”කාවේ නිර්මාණය වූ අරගලය මහ ජනතාවගෙන් මතු වුණ අරගලයක්. එම අරගලයේ හැම පක්ෂයකම පුද්ගලයන් ඉන්න ඇති. ඒ පක්ෂවල අය 2022 අරගලයට එකතු වුණත් මෙය එවැනි පුද්ගලන් විසින් කරපු තනි දෙයක් නෙමෙයි මේක මහජන අරගලයක්. මේකේ නායකයෙක් හිටියේ නැහැ. පක්ෂයක් තිබුණේ නැහැ. පක්ෂයක් මතු වෙන්න හැදුවනම් එතනදී ඒක ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා එතන හිටපු හැමෝම මේක මහජන අරගලයක් ලෙස තියාගන්න හැදුවේ පක්ෂ වලට මතු වීමට ඉඩ දුන්නේ නැහැ.

මේ නිසා මෙම අරගලයේ හිටපු අය කිහිපයක් ගොස් තමන්ගේ දේශපාලන මතයක් නියෝජනය කරන්න පුළුවන් නමුත් ඔවුන්ට කිසිදු අයිතියක් නැහැ ගෝල්ෆේස් අරගලය ලෙස භාවිත කිරීමට ඉන් අරගලයේ සමස්ථ නියෝජනය ලෙසක් හඳුන්වා දීම නොකළ යුතුයි.”

ජීවන්ත පීරිස් පියතුමා : “2022 පුරවැසි අරගලය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් ඇති වුණ ජන සහභාගිත්වයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යායාමයක්. එහිදී මූලිකව මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිදු කරන කාර්ය භාරයයට වඩා ජන සහභාගීත්වයේ ජන බලයයි පිළිඹිඹු වුණේ. මෙහිදී කිසිදු පුද්ගලයෙකුට පුරවැසි අරගලයේ සාමූහික ව්‍යායාම පක්ෂයකට ලඝු කළ නොහැකි අතර එය සදාචාරාත්මක ද නොවේ”

මෙලනි ගුණතිලක : “අරගලය කියලා කියන්නේ,  තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක පමණක් දෙයක් නෙමෙයි. ඒක මුළු රටක ජනතාවක් එකතු වෙලා කරපු දෙයක්. ඒකෙන් ආ ප්‍රතිපත්ති තිබුණා. ප්‍රධාන වශයෙන් වගවීම ඉල්ලුවා, විනිවිද භාවය මෙවැනි අදහස් සමගින් ආ ප්‍රතිපත්ති මාලාවක් ද තිබුණා. ජූලි 05වන දා ජනගත කරපු ක්‍රියාකාරී සැලැස්මක් තිබුණා. එමෙන් ම අරගල කියන්නේ පුද්ගල චරිත නෙමෙයි. ඕනෑම කෙනෙකුට තමන්ගේ දේශපාලන මතය දැරීමට අයිතිය ඇති මුත්, කවුරු හරි කියනවා නම් අපි සමස්ත අරගලයම එක් පුද්ගලයෙකු විදියට නියෝජනය කරලා කිසියම් හෝ පක්ෂයකට සහය දක්වනවානම් එය වැරදියි.”

රතිඳු සුරම්‍ය සේනාරත්න : අරගලයේ සිටිය පුද්ගලයන් දේශපාලනය, පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. මෙහි සිටි පුද්ගලයන්ට ද, තමන් සිටින දේශපාලන මත අනුව ඉස්සරහට ගිහින් වැඩ කිරීමට මගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් එම පුද්ගලයන් අරගලයේ සිටි පමණින් සමස්ත අරගලයේ සහය තියෙන්නේ යම්කිසි අපේක්ෂකයෙකුට හෝ පක්ෂකයෙකුට බව කියන දෙය වැරදි. සමස්ත අරගලයේ සියලුම පාර්ශව සිටියා. ඒ පාර්ශව වල එකතුවෙන් වෙච්ච දෙයක් අරගලය. අරගලයට නායකයෙක් නොසිටීමට ත් හේතුව එයයි.”

ලහිරු වීරසේකර : “2022 අරගලයේ විවිධ පාර්ශව සිටියා. නොයෙකුත් පක්ෂ වල මෙන් ම කිසිදු පක්ෂයකට නොමැති අයත් හිටියා. මේ සියලු දෙනාගේ සහයෝගයෙන්, මැදිහත් වීමෙන් පොඳු එකඟතාවලින් තමයි අරගලයෙන් ඉස්සරහට ආවේ. ගෝඨා ගෝ හෝම් සටන් පාඨය හැදුණේ. අරගලයෙන් ආපු අභිලාෂයන්,සටන් පාඨයන් නියෝජනය කරන අයත් නැති අයත් හිටියා. නමුත් ඇතැම් දේශපාලන පක්ෂ අරගලයේ අභිලාෂයන් පිළිගන්නේ නැහැ. 2022 අරගලයේ හිටපු පලියට, ගෝල්ෆේස් එකේ හිටපු පළියට අරගලයේ අභිලාෂයන් නියෝජනය කරන බවට පත් වෙන්නේ නැහැ එතනින් එහාට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තන්. ජන අරගලයේ ව්‍යාපරය ගෝල්ෆේස් අරගලයටත් කලින් පටන් ගත්තේ අපි මේ පාර මැතිවරණයට ජන අරගල සන්ධානය කියලා ඉදිරිපත් වෙනවා. අපි අරගලයේ අභිලාෂයන් වලට පිටින් යනවා නම්, අරගලය නම භාවිත කිරීම ප්‍රශ්න කිරීමට පුළුවන්. නමුත් අපි නිශ්චිතව ඉන්න අදහස තමයි සමාජයේ මීට පෙර තිබූ අරගල වලදිත්,විවිධ කණ්ඩායම් වල මැදිහත්වීම තිබුණා”

තරිඳු ජයවර්ධන : අරගලය කියලා කිව්වම ඉතිහාසයේ ඉඳන්ම අරගල බහුලව තිබුණා. අරගලය කියන්නේ ගෝල්ෆේස් අරගලයම විතරක් නෙමෙයි. 2022 අරගලය වුණත් එක පාරටම ඇතිවුණ අරගලයක් නෙමෙයි. 2020 සිට හම්බන්තොට සූරිය වැව ගොවි අරගලය, ලංකාව පුරා පොහොර ප්‍රශ්නය නිසා ඇති වූ ගොවි අරගලය, ගුරු අරගලය, සයිටම් විරෝධි අරගලය, ජලය නොමැති වීම, විදුලිය කැපීම, ඉන්ධන නැතිවීම, 2021 වසරේ අවසන් මාස 6 විතරක් උද්ඝෝෂණ 400කට වැඩිය තිබුණා. මේ වගේ අරගල වල ප්‍රතිඵලයක් තමයි 2022 අප්‍රේල් මස අරගලය. ඒ නිසා මේ අරගල එක්කෙනෙකුගේ දෙදෙනෙකුගේ නැත්නම් යම් කිසි කණ්ඩායමකගේ පමණක් අරගලයක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට තමන් අරගලයට සම්බන්ධ වූ බව ට පැවසිය හැකි මුත්, අරගලය අපි තමයි කළේ කියන්න කිසිවෙකුට ත් බෑ. එම දිනවල විනාඩියකට හෝ පැමිණි අයෙක් වුවත්, අරගලයට සහය දක්වලා තියෙනවා.

චානු නිමේෂා : 2022 අරගල ආර්ථික අර්බුදයක් තුළින් නිර්මාණය වුණ අරගලයක්. ඊට එරෙහිව මිනිසුන් පාරට බැස්සා. නමුත් අරගල ඉතිහාසයේ ඕන තරම් තිබුණා. 2022 ගෝල්ෆේස් අරගලය මෑතකදී ඇති වූ අරගලය හේතුවෙන් අරගල සියල්ලම ගෝල්ෆේස් අරගලය ලෙස ද, අර්ථ දැක්වීම සිදු නොකළ යුතුයි. මෙම අරගලය අරගල වල සංදිස්ථානයක් පමණයි. ඇතැම් දේශපාලන පක්ෂ වල නම් අරගලය නමින් පැවතුණේ  2022 ගෝල්ෆේස් අරගලයටත් පෙර සිටයි. තව ඉදිරියටත් අරගල සිදු වේවී. මේ හේතුවෙන් අරගලය නම භාවිත කිරීම ගැටලුවක් නැහැ. මගේ මතය නම් ගෝල්ෆේස් අරගලයේ සිටි පුද්ගලයෙකුට ත්, ඒ නම භාවිත කිරීමට හැකියාව තියෙනවා. හිටිපි නැති අයට වුණත්, අනාගත පරම්පරාවය වුණත්, ගෝල්ෆේස් අරගලය කියන වචනය භාවිත කරමින් පක්ෂයක් හදන්න පුළුවන්.

කෙසේ වෙතත් ගෝල්ෆේස් අරගල විසින් තැනූ නායකයා ලෙස හෝ අරගලයට දායක වූ සමස්තය නියෝජනය කරමින් නව පක්ෂයක් සාදා ඇති බවට පැවසීම හෝ නායකයෙකු පත් කර ඇති බවට හඟවමින් ඇතැම් මාධ්‍ය වාර්තා කිරීම මෙම නොමග යෑමට හේතුවී තිබේ.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:2022 ගෝල්ෆේස් අරගලයේ සමස්ථය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ?

Written By: Pavithra Sandamali  

Result: Insight


Leave a Reply