වසර 60කට පසු අලුත්වන බව කියූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ගැන පැහැදිලි කිරීමක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ වීමත් සමග ඒ පිළිබඳ වැඩි වශයෙන් සමාජයේ කතා බහට ලක් වුණේ, වසර 60කට පසුව මෙම බස්නැවතුම් පොළ ප්‍රතිසංස්කරණය කරන බවට වත්මන් රජය ප්‍රකාශ කිරීමත් සමගයි. මෙම ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයා අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

වසර 60කට පසු අලුත්වන කොළඹ මධ්යම බස් නැවතුම්පොළ යන තේමාවෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙම පුවත් වාර්තා කර තිබුණු අතර ඉන් කිහිපයක් පහතින්.

Facebook | Facebook | Facebook

මේ පිළිබඳව කරුණු පරීක්ෂා කරල ලෙස ලැබුණු පාඨක ඉල්ලීම් ද, මුල් කර ගනිමින් අප මෙම සටහන් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :  

“Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සැප්තැම්බර් 15 වෙනිදා ආරම්භ කෙරිණි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් යොමු කරමින් සඳහන් කර තිබුණේ,  රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ත්, මෙම පර්යන්තය සම්පූර්ණයෙන් වසා දමා සියලු පහසුකම් සහිත නවීන සහ ආකර්ෂණීය බස් නැවතුම්පොළක් ලෙස පුර්ණ සංවර්ධනයකට ලක් කිරීමට සැලසුම් කර ඇති බවත්, වසර 60ක කාලය තුළ මෙය සිදුවන පළමු අවස්ථාව බවයි. එසේම 2026 අප්‍රේල් මාසයේ, සිංහල-දෙමළ අලුත් අවුරුද්දට පෙර ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත බවත් සඳහන්.

මේ ඔස්සේ වසර 60 කට පසු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයට කරන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මේ පිළිබඳ වාර්තා කිරීමත් සමග මීට පෙර මෙම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්රණය කර නොමැති ද , යන්න පිළිබඳ සමාජයේ ද, දැඩි කතා බහකට ලක් වු අතර මීට පෙර ආණ්ඩු පක්ෂවල සිටි ඇතැම් පිරිස් ද මේ ගැන කරුණු දක්වා තිබුණා.

2009 වසරේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කර තිබේ

මේ අතර 2009 වසරේ, එනම් මීට වසර 16කට පෙර කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කර ඇති බව ත්, ඒ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ පුවත් පතේ පුවතක් පළ වී තිබූ අතර එම පුවත් ලිපිය ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. 

එම පුවත් වාර්තා වලට අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මුදල් වැය නොකරමින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ලැබුණු දායකත්වයෙන්, එවකට හිටපු ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කර තිබුණා. 

මගීන්ට සුව පහසු ලෙස අසුන්ගෙන සිටීමේ පහසුකම් ඇතුළුව වැසිකිළි පහසුකම් ද ගොඩනැගිල්ල පිරිසිදු කිරීම මෙන් ම බස්නැවතුම්පොළ අපවිත්‍ර කර ඉදිකිර තිබූ වෙළඳසැල් සියල්ල ම ඉවත් කර බව ත් එහි වැඩිදුරටත් සඳහන්.

එම පුවත් ලිපි පහතින්.

ඉන් දෙදිනකට පළ වූ තව ත් පුවතක් පහතින්.

එමෙන් ම  මෙලෙසින් නවීකරණය කළ පිටකොටුව බස් නැවතුම්පොළේ ඡායාරූප කිහිපයක් සහ Ada Derana නාලිකාව මගින් මෙම ව්‍යාපෘතියට අදාළ රූපවාහනි යන්ත්‍ර පරිත්‍යාග කළ බවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

ඩලස් අලහප්පෙරුම මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක

අප මේ පිළිබඳ ඩලස් අලහප්පෙරුම මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරගෙන් ද විමසීමක් කරනු ලැබුවා. ඒ මහතා සදහන් කළේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ලැබුණු දායකත්වයෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ 2009 වසරේ ප්‍රතිසංස්කරණය කළ බවයි. 

එම ව්‍යාපෘතිය සදහා මූලිකත්වය ගනු ලැබුවේ පසු කාලීනව කෝට්ටේ නගරාධිපති බවට පත් වූ මෙන්ම කලක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස ද කටයුතු කළ මධුර විතානගේ මහතා බව ත්, ඔහු පෙන්වා දුන්නා. 

එවකට මධුර විතානගේ මහතා විසින් Hammer BTL යනුවෙන් වෙළඳ දැන්වීම් සිදු කරන ආයතනයක් පවත්වා ගිය බවත්, මධ්‍යම බස් නැවතුම්පොළේ තිබුණු දැන්වීම් අවකාශය, අවන්හල් ද බදු දී මෙම ව්‍යාපෘතිය සදහා වියදම උපයාගත් අතර කෙසේවෙතත් බස් නැවතුම්පොළේ  තිබුණු ගොඩනැගිලි ඉදිකිරීම් මෙම ව්‍යාපෘතිය යටතේ වෙනස් නොකළ බවත් ඊට හානියක් නොවී මෙම නවීකරණ කටයුතු කළ බව ත් ඩලස් අලහප්පෙරුම මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක පෙන්වා දෙනවා. 

මධ්‍යම බස් රථ පරිශ්‍රයම ඉහත කී ආයතනයට බදු දී ඔවුන් මෙම බස්නැවතුම් පොළ ප්‍රතිසංස්කරණය ත්, නඩත්තුවත්,ලාභය ඉපැයීමත් සිදු කළ බව ත් ඔහු පවසා සිටියා. ඉන්පසු අවුරුද්දකට හෝ දෙකකට පසු අමාත්‍යවරයා ප්‍රවාහන ඇමතිකමින් අයින් වීමට සිදුවීමත් සමග මෙහි නඩත්තු කටයුතු අඩාල වූ බව ත්, ඒ මහතා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් මධුර විතානගේ මහතා සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්

මව් වරුන්, දරුවන්ට කිරි දීම සඳහා වෙනම ස්ථානයක්, රූපවාහිනි යන්ත්‍ර, අසුන් ගැනීම සඳහා පහසු අසුන්, ගොඩනැගිලි තීන්ත ගෑම සහ වැසිකිළි ඇතුළු මෙම ස්ථානය නවීකරණය කළ බව ත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, මේ වන විට (නව ප්‍රතිසංස්කරණයට පෙර) කොළඹ මධ්‍යම බස්නැවතුම් පොළහි තත්ත්වය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Clean Sri Lanka ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ

වසර 60කට පසුව සිදු කෙරෙන බව පවසා තිබූ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසූ අතර ඔහු සඳහන් කළේ, වසර 60කට පසු සිදු කෙරෙන පූර්ණ සංවර්ධනයක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා තිබුණේ, මෙහි මීට පෙර නොතිබුණු නව ස්ථාපනය  කිරීම් ද, ඇතුළත් වීම හේතුවෙන් බවයි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුළත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පළ කර තිබූ ෆේස්බුක් සටහන මෙතනින්.

ඒ අනුව, නවීනතම පහසුකම්වලින් සමන්විත සේවක විවේකාගාර පරිශ්‍රයක් මෙම ව්‍යාපෘතිය යටතේ අලුතින් ස්ථාපනය කෙරෙන අතර එකවර විශාල පිරිසකට භාවිත කළ හැකි පරිදි නවීන, සියලු පහසුකම් සහිත පිරිසිදු ආපන ශාලාවක් ස්ථාපනය ද නව ව්‍යාපෘතියට ඇතුළත් වෙයි.

බස් ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ මධ්‍යස්ථානයක් සහ මගීන්ට අවශ්‍ය සියලු තොරතුරු නිවැරදි ව ලබාගත හැකි අති නවීන තාක්ෂණය සහිත කාර්යාලයක් ස්ථාපනය කිරීම ද මෙම නවීකරණ වැඩසටහනට ඇතුළත්ය. 

තවද මධ්‍යම බස් නැවතුමෙහි පරිපාලන හා බස් රථ මෙහෙයුම් විධිමත් කිරීමේ කාර්යාලයක්ද මධ්‍යම බස් නැවතුම්පළ ආශ්‍රිතව ස්ථාපනය කෙරෙන අතර එයට නවීන සන්නිවේදන පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇත. එමෙන්ම මෙහිදී බස් රථ සඳහා සේවා සැපයුම් සහ නඩත්තු ඒකකයක් පිහිටුවීමට ද තීරණය කර ඇත.

නවීකරණ කාර්යයන් හරිත ගොඩනැගිලි සංකල්පය යටතේ ක්‍රියාවට නැංවීම රජයේ අපේක්ෂා කරන අතර ඒ යටතේ දැනට පවතින යටිතල පහසුකම්, නවීන තාක්ෂණයෙන් සංවර්ධනය කිරීමක් ද සිදුවෙනවා.

බස් රථ භාවිත කරන මගීන්ට සුව පහසු, කඩිනම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම මෙහිදී රජයේ ප්‍රධාන අරමුණක් වෙනවා මෙන්ම දිගු දුර හා කෙටි දුර ධාවනයේ යෙදෙන බස් රථවල සේවකයන්ට පහසුකම් සැලසීමට ද ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති බව ත්, 2026 වසරේ අප්‍රේල් මාසයේදී, සිංහල දෙමළ අලුත් අවුරුද්ද ට පෙර මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම රජයේ සැලසුම කරනවා.

Clean Sri Lanka යටතේ මෙම ව්‍යාපෘතියේ සිදු කරන නවීකරණ සැලැස්ම පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Avatar

Title:වසර 60කට පසු අලුත්වන බව කියූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ගැන පැහැදිලි කිරීමක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *