ළූණු කෑවොත් දියවැඩියාව සම්පූර්ණයෙන් සුව වෙනවා ද? 

Health Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දියවැඩියාව යනු මේ වනවිට මෙරටින් වාර්තාවන ප්‍රධානතම බෝ නොවන රෝගී තත්ත්වයකි. මේ වනවිටත් අතිවිශාල දියවැඩියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අලුතින් රෝගීන් හඳුනා ගැනීම ද විශේෂයෙන් ම දැකගත හැකියි. 

දියවැඩියා රෝගී තත්වයන් සම්පූර්ණයෙන් සුව කළ හැකි බවට වෛද්‍ය විද්‍යාත්මක හෝ පර්යේෂණ මගින් නිසි ලෙස තහවුරු කරන ලද බවට වාර්තා නොමැති වටපිටාවක් තුළ දියවැඩියාව සුව කළ හැකි බව කියමින් ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ සටහන් පළ වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස දියවැඩියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදුකළ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“දියවැඩියාව විනාශ කරන, ධමනි පිරිසිදු කරන, හදවත සුරකින ළූණු වට්ටෝරුව!” යන තේමාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් බී ළූණුවල ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති පහත සටහනේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, EAT THIS AND FORGET ABOUT BLOOD SUGAR යනුවෙනි.  එනම්, ළූණු ආහාරයට ගත හොත් රුධිරයේ සීනි නැතහොත් දියවැඩියා තත්වයන් ගැන සම්පූර්ණයෙන්ම අමතක කළ හැකි බවයි. 

කෙසේ වෙතත් ඒ සඳහා ළූණු ආහාරයට ගත යුත්තේ කුමන ආකාරයෙන් ද? කොපමණ ප්‍රමාණයක් ද මෙය කිසියම් පර්යේෂණයකින් හෙළි කරගත් දෙයක් ද? යන්න පිළිබඳව වැඩිදුර තොරතුරු කිසිවක් මෙම සටහනේ ඇතුළත්ව නොමැත. 

Facebook | Archived Link

ඒ අනුව මෙම සටහනේ සඳහන් පරිදි  ළූණු ආහාරයට ගැනීමෙන් ප්‍රධාන වශයෙන් රුධිරයේ සීනි ප්‍රමාණය අඩුවී දියවැඩියාවෙන් මිදිය හැකි ද යන්න පිළිබඳව අපි සොයා බැලුවෙමු.  

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

දියවැඩියාව වැළැඳුණු රෝගියෙකුට නිතර පිපාසය දැනීම, නිතර මුත්‍රා කිරීම සහ තෙහෙට්ටුව යන රෝග ලක්ෂණ දැකගත හැකි අතර වෛද්‍ය විද්‍යාවට අනුව දියවැඩියාව පාලනය කිරීම සඳහා නිරන්තරව රුධිරයේ සීනි මට්ටම නිරීක්ෂණය කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම සහ ඖෂධ නිසි පරිදි ලබාගැනීම සිදු කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම වන්නේ, එලෙස රුධිරයේ සීනි මට්ටම පාලනය නොකළ හොත් හෘද රෝග, ආඝාතය, වකුගඩු  අබාධ මෙන්ම ස්නායු පද්ධතියට පවා බලපෑම් ඇතිවිය හැකි බවයි.  විස්තර මෙතැනින් 

එ් අනුව සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි බී ළූණු ආහාරයට ගැනීමෙන් දියවැඩියාවෙන් මිදීමට හැකි බව විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර තිබේ ද යන්න සොයා බැලීමට අප පියවර ගත්තේ ය. 

යම් ප්‍රමාණයට ළූණු ආහාරයට ගැනීම සෞඛ්‍යට හිතකර වුව ද එමගින් දියවැඩියාව මැඩලිය හැකි බවට කිසිඳු සායනික අධ්‍යයනයකින් ඔප්පු වී නැහැ!

Allium cepa උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන ළූණු ලොව පුරා ජනතාව තම ආහාර රසවත් කරගැනීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරනු ලබයි.  National Library of Medicine හි ,  Onions–a global benefit to health ලෙස පළ කරන ලද පර්යේෂණ වාර්තාවක දැක්වෙන්නේ, ළූණු මිනිස් සෞඛ්‍යට හිතකර මෙන්ම ප්‍රතිලාභ සහිත flavonoids සහ alk(en)yl cysteine sulphoxides (ACSOs)  යන රසායනික කාණ්ඩ දෙකින් අනූන බවයි. ඒ අනුව ළූණු  හෘද රෝග, පිළිකා අවදානම, සහ රෝග ආසාදනය වීමේ අවදානම අඩු කිරීමට උපකාරී වන බවට පර්යේෂණ මගින් පෙන්වා දී ඇතැයි එහි සඳහන් ය. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි ළූණුවලින් රුධිරයේ සීනි මට්ටම පාලනය කර දියවැඩියාව විනාශ කර දමන බවට සාක්ෂි ඉදිරිපත් කිරීමක් එහි දැකගත නොහැක.  

මේ අතර 2021 වසරේ The Diabetes Council හි පළ කරන ලද වාර්තාවක දැක්වෙන්නේ,  ළූණු අමුවෙන් ආහාරයට ගැනීම සෞඛ්‍යට වඩාත් හිතකර බවයි. එහි සඳහන් වන්නේ, ළූණු අඩු Glycemic ​අගයක් (Glycemic Index යනු කිසියම් ආහාරයක් කෑමට ගත් විට එය රුධිරයේ සීනි මට්ටම කොතරම් වේගයෙන් ඉහළ දමන්නේ ද යන්න මනින අගය) පෙන්නුම් කරන ආහාරයක් වන බැවින් එය දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනයට උපකාරී වන බවයි.  ළූණු, කැලරි සහ  කාබෝහයිඩ්‍රේට් ද අඩු ආහාරයක් වන අතර ළූණුවල අමතර සීනි නොමැති නිසා දියවැඩියා රෝගීන්ට සිය ආහාරය සඳහා ළූණු එකතු කර ගත හැකි බව ද එම ලිපියේ සඳහන්ව ඇත. තව ද ළූණුවල ඇති කෙඳි දියවැඩියාව පාලනයටත්, මළ බද්ධය වැළැක්වීමටත් උපකාරී වන බව සඳහන් ය.  

මේ අනුව ළූණු අඩු Glycemic දර්ශක ආහාරයක් බවත් ඒ අනුව ඉහළ Glycemic දර්ශක පෙන්නුම් කරන ආහාරවලට වඩා සෙමෙන් රුධිරයට සීනි මුදා හරින බව එහි සඳහන් වේ. ඒ අනුව රුධිරයේ සීනි මට්ටම හදිසියේ ඉහළ යාම වැළැක්වීමට උපකාරී වුවත් දියවැඩියාව වැළඳුණු රෝගියෙකුගේ දියවැඩියාව සම්පූර්ණයෙන් සුව කිරීමට ළුණුවලට හැකියාවක් ඇති බව මෙහි සඳහන්ව නොමැත. 

මේ අතර  Endocrine Society’s 97th Annual Meeting and Expo, March 5–8, 2015 – San Diego හිදි ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තාවක දැක්වුණේ, ළූණුවලින් ලබා ගත් සාරය දියවැඩියාවට එරෙහි ඖෂධයක් වන Metformin සමග මීයන්ට ලබා දුන් විට රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කිරීමට සැලකිය යුතු බලපෑමක් සිදු කර ඇති බවයි. මෙම සොයා ගැනීම මගින් ළූණු රුධිරයේ සීනි මට්ටම ආසන්න වශයෙන් 50%කින් පමණ අඩුකළ හැකි ආහාරයක් බවට වන ඉඟි පළ වුව ද  දියවැඩියා ප්‍රතිකාර සඳහා එය තවමත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට සූදානම් නොමැති බව සැලකිය යුතු වේ. මන් ද මෙය සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා අධ්‍යනයක් වන මෙහිදී රුධිරයේ සීනි පාලනය සඳහා ළූණු පමණක් භාවිත කර නොමැති ඇති අතර එය ලබා දී ඇත්තේ, Metformin ඖෂධය ද සමගයි. ඒ අනුව මිනිසුන්ගේ දියවැඩියාව පාලනය සඳහා ළූණුවල ඇති හැකියාව තහවුරු කිරීම සඳහා වැඩිදුර පර්යේෂණ  අවශ්‍ය වේ. 

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. . කරුණාතිලක මහතා

සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි ළූණු ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සුව කර ගැනීමේ හැකියාවක් පවතී ද යන්න පිළිබඳව අප හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක මහතාගෙන් විමසීමක් කළේ ය. 

වෛද්‍යවරයා පැවසුවේ, එහි සත්‍යතාවක් නෙමැති බවත් එය සමාජ ය නොමගයවන සුළු ආකාරයේ සටහනක් බවත් ය. ආහාරයක් ලෙස එකතු කර ගන්නා ළූණුවල ඖෂධ ගුණ තිබුණ ද එය ආහාරයක් ලෙස ඖෂධයක් ලෙස භාවිත නොකරන බවයි. 

ළූණු දියවැඩියාව සුව කරන ඖෂධයක් ලෙස ගත හැකි බවට කිසිදු පර්යේෂණයකින් හෙළි වී නොමැති බව ද ඔහු සඳහන් කළේ ය. තව ද  වෛද්‍ය කරුණාතිලක මහතා  සඳහන් කළේ , මෙය ඖධයක් ලෙස ගන්නේ නම්, මාත්‍රාවක්, කාලයක්, තිබිය යුතු බවයි. 

කෙසේ වෙතත් ළූණුවල ඇති ඖෂධීය ගුණය නිසා ලෙඩ ඇතිවීමට ඇති හැකියාව අඩුවන බවත් කිසියම් රෝගී තත්ත්වයක් තිබේ නම්, එය පාලනය කිරීමට සුළු උපකාරයක් විය හැකි බවයි. තව ද  ළූණු ආහාරයට ගැනීමෙන්  දියවැඩියාව සුවවූ බවට කිසිදු පර්යේෂණයකින් හෙළි වී නොමැති බවත්, දියවැඩියාවට ඖෂධයක් ලෙස කිසිදු අවස්ථාවක ළූණු ආහාරයට ගැනීම අනුමත කළ නොහැකි බවත් වෛද්‍යවරයා සඳහන් කළේ ය. 

කෙසේ වෙතත් ළූණුවලින් ආහාර දිරවීම යම් දුරකට පහසු කරවීම නිසා දියවැඩියාව සැදීමට ඇති අවදානම යම් අවම කර ගත හැකි වුවත් ළූණුවලින් පමණක් තනිකරම එය එසේ සිදු නොවන බව ද වෛද්‍යවරයා කියා සිටියේ ය. මේ අතර ළූණු මගින් ශරීරයේ මේද දහනය, ආහාර දිරවීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම, රුධිරය පිරිසිදුවීම,  බඩවැල ශක්තිමත් කිරීමේ ඖධීය ගුණය ද ඇති බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.

අධික ලෙස ළූණු  ආහාරයට ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ

ආහාර වර්ග රසවත් කර ගැනීම සඳහා එකතු කර ගන්නා ළූණු  ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම සුදුසු නොවේ. ප්‍රමාණාත්මකව ආහාරයට ගැනීමෙන් පෝෂණ ප්‍රතිලාභ තිබුණ ද ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ, ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීමෙන් අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවයි. ඒ අතර අමු ළූණු අධික ලෙස ආහාරයට ගත හොත් ආහාර ජීර්ණයවීම අපහසු වීම, හුස්ම ගැනීමේ අපහසුව, ආසාත්මිකතා ඇතිවීම, අජීර්ණ ඇතිවීම, ඉරුවාරදය, මුඛ සෞඛ්‍යට බාධාවීම මෙන්ම ඇතැම් රෝග සඳහා ගනුලබන ඖෂධ බාධා ඇතිවිය හැකියි. අධික ලෙස ළූණු ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳ සඳහන් තවත් වාර්තාවක දැක්වෙන්නේ, ආසාත්මිකතා, අජීර්ණය, අක්ෂි ගැටලු, බඩවැල් ආශ්‍රිත රෝග ද ඇතිවිය හැකි බවයි. ළූණු වල ඇති අවාසි සහගත තත්ත්වය පිළිබඳව healthline  හි පළකරන ලද වාර්තාව මෙතැනින් මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ප්‍රමාණවත් ළූණු අනුභවය මිනිස් සෞඛ්‍යට ගුණදායක වුව ද  සුනඛයින්, බළලුන් අශ්වයින් සහ වඳුරන් ඇතුළු ඇතැම් සත්ත්වයින්ට ළූණු මාරාන්තික විය හැකි බවයි. 

ළුණු ආහාරයට ගැනීම ගැන පෝෂණවේදිනියකගේ අදහස

ඉන්දියාවේ පෝෂණවේදිනියක වන කම්නා චෞහාන් Thip වෙත මෙසේ දන්වයි, “අමු ළූණු ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කළ හැකිය. නිසි සැලකිල්ලක් නොමැති විට, අක්‍රමවත් රුධිර සීනි මට්ටම වකුගඩු අකර්මණ්‍ය වීම, හෘද සංකූලතා සහ තරබාරුකමට හේතු විය හැක. ප්‍රතිඔක්සිකාරක කාණ්ඩයක් වන බහු ෆ්ලේවනොයිඩ් අඩංගු බැවින් අමු ළූණු අපගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වන බව සමහර අධ්‍යයනවලින් පෙන්වා දී ඇත. මීට අමතරව, ළූණු තන්තු වලින් ඉහළයි, කාබෝහයිඩ්‍රේට් මෙන්ම ග්ලයිසමික් ​​දර්ශකයද අඩුයි. කෙසේ වෙතත්, මිනිසුන් එය ඔවුන්ගේ නියමිත වෛද්‍ය ප්‍රතිකාර මගින් ප්‍රතිස්ථාපනය නොකළ යුතුය”.

දියවැඩියා රෝගියෙකු වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ඇති වැදගත්කම

දියවැඩියා රෝගියෙකු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අතිතශය වැදගත් වේ. සීනි මට්ටම හානි දායක නොවන බව කියන විවිධ කෑම වර්ගග ආහාරයට එකතු කර ගන්නා අතරතුර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ද අනිවර්යයෙන් සිදුකළ යුතු ය. කිසියම් හෝ ආහාරයකින් දියවැඩියා රෝගියෙකුගේ දියවැඩියාව සම්පුර්ණයෙන්ම සුව කරන බවට මේ වනතෙක් කිසිදු පර්යේෂණයකින් හෙළිවි නොමැත. නිසි වෛද්‍ය උපදෙස් නොගෙන සිටිය හොත් ඉතා භයානක තත්ත්තවයන්ට මුහුණ දීමට සිදු වේ. විස්තර මෙතැනින් 

මේ අතර 2024 වසරේදී  පළකරන ලද අධ්‍යන වාර්තාවක දැක්වෙන්නේ,  සමබර ආහාර වේලකට ළූණු යොදා ගැනීමෙන් දියවැඩියා රෝගීන්ගේ  රුධිරයේ සීනි මට්ටම පාලනය කළ හැකි බවයි.  මීට අමතරව  ළූණුවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය සහ සල්ෆර් සංයෝග කොලෙස්ට්‍රෝල් සහ රුධිර පීඩනය අඩු කිරීමෙන් හෘද සෞඛ්‍යයට යහපත් බව ද එහි සඳහන් ය.  වේලන ලද ළූණු පොතු සිහින්ව අඹරා සකසා ගන්නා ලද සාරයක් යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදු කර ඇත. වියළි ළූණු ලෙලි සාන්ද්‍රණයෙන් ලබා ගන්නා එතනොලික් සාරය සමග දියවැඩියා විරෝධී කාර්යක්ෂමතාව වැඩි වන බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත. තව ද ළූණුවල එතනොලික් කොළ සාරයෙහි රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට ​​සහ දියවැඩියා විරෝධී ගුණ ඇති බව ද සඳහන් ය. 

ළූණුවල පෝෂණ ගුණ 

ළූණු යනු විටමින්, තන්තු සහ ඛනිජ ලවණ බහුල, කැලරි අඩු  ආහාරයක් වන අතර මධ්‍යම ප්‍රමාණයේ ළූණු ග්‍රෑම් 110ක කැලරි- 44, ප්‍රෝටීන්-1.2g, කාබෝහයිඩ්‍රේට් – 10.3g, සීනි – 4.7g, තන්තු – 1.9g, මේදය – 0.1g, පොටෑසියම්  අඩංගු බව පැවසේ. තව ද ළූණුවල විටමින් C බහුලව අඩංගුවීම, කොලජන් සංස්ලේෂණය, යකඩ අවශෝෂණය සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය පාලනය කිරීමට උපකාරී වන බව ද සඳහන් ය. ඊට අමතරව, ළූණු හඳුනාගෙන ඇත්තේ, ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්  ලෙසයි. විටමින් B6, ෆෝලේට් සහ අනෙකුත් B විටමින් ළූණුවල බහුලව අඩංගු වේ. මේවා ස්නායු ක්‍රියාකාරිත්වය, පරිවෘත්තීය ක්‍රියාවලිය සහ රතු රුධිර සෛල සංස්ලේෂණය සඳහා අත්‍යවශ්‍ය වේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, ළූණු ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සම්පූර්ණයෙන් සුව වන බවට වන සමාජ මාධ්‍ය සටහන සමාජය නොමග යවන සුළු බවයි. ළූණු ආහාරයට එකතු කර ගැනීමෙන් යම් ආකාරයකට රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට හැකි බවට ඇතැම් පර්යේෂණ වාර්තා පළ වී තිබුණ ද ළූණු ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම සම්පූර්ණයෙන් ම අඩු වන බවට  එම කිසිදු පර්යේෂණ වාර්තාවකින් තහවුරු කර නොමැත.  

Avatar

Title:ළූණු කෑවොත් දියවැඩියාව සම්පූර්ණයෙන් සුව වෙනවා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply