එප්ස්ටීන්, බිල් ගේට්ස් සමග කොවිඩ් වසංගත අනුකරණයක් පිළිබඳ සාකච්ඡා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත!

False Health Internatioanl Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ජෙෆ්රි එප්ස්ටීන් ගොනු මඟින් 2017 දී බිල් ගේට්ස් ජෙෆ්රි එප්ස්ටීන් සමඟ වෛරස් වර්ගයක් පදනම් කරගෙන කරන වසංගත අනුකරණයක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් පළ කර ඇති සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ Factcrescendo අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

කොරෝනා පැතිරීමට වසර 3කට පෙර බිල් ගේට්ස් සහ එප්ස්ටීන් තඅර ඒ පිළිබඳ හුවමාරු කරගත් ‘රහස් ඊමේල්’ පණිවිඩයක් ඇති බව ත්, එය හිතාමතා නිර්මාණය කළ වෛරසයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

ලෝකයම රැවැට්ටූ වසංගතය කලින්ම සැලසුම් කළාද? කොරෝනා එන්න වසර 3කට කලින් බිල් ගේට්ස් සහ එප්ස්ටීන් හුවමාරු කරගත් රහස් ඊමේල්පණිවිඩය මෙන්න! 📧🦠

ලෝකයම උඩු යටිකුරු කළ කොරෝනා වසංගතය මතකද? 2020 දී අපි හැමෝම ගෙවල්වලට කොටු වෙද්දී, මුළු ලෝකයම දණ ගැස්සූ මේ වෛරසය “ස්වභාවික විපතක්” කියලා අපි හැමෝම හිතාගෙන හිටියා. ඒත්, සමහර විට අපි හිතාගෙන ඉන්න ඇත්ත, තිරය පිටුපස සිදුවුණු මහා නාටකයක එක ජවනිකාවක් විතරක් නම්? 🤔

ලෝකයේ ප්‍රකෝටිපතියන්, දේශපාලඥයින් සහ ප්‍රභූවරුන්ගේ අඳුරු රහස් හෙළි කරන එප්ස්ටීන් ලිපිගොනු‘ (Epstein Files) හරහා දැන් එළියට ඇවිත් තියෙන අලුත්ම තොරතුරුවලින් මුළු ලෝකයම කම්පනයට පත් වෙලා තියෙනවා. මේ කතාව නිකම්ම කතාවක් නෙවෙයි. මෙය අමෙරිකානු ඩොලර් බිලියන ගණන් වටිනා, අතිශය භයානක සහ තාක්ෂණික රහස් අඩංගු ගනුදෙනුවක් ගැන කතාවක්.

විශේෂයෙන්ම මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් (Bill Gates) සහ කුප්‍රකට ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein) අතර 2017 දී සිදුවුණු රහස් ඊමේල් හුවමාරුවක් දැන් කරළියට ඇවිත්. කොරෝනා එන්න වසර 3කට කලින් ඔවුන් “වසංගත අනුකරණය” (Pandemic Simulation) ගැන කතා කළා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? 😱

මේ ලිපිය කියවන ඔබට, ලෝක දේශපාලනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවන ගුප්ත ක්‍රියාකාරකම් ගැන මෙතෙක් නොඇසූ, එහෙත් අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු රැසක් සරලව සහ ගැඹුරින් පහදා දීම අපේ අරමුණයි.

🕵️♂️ මොකක්ද මේ ‘bgc3’ ඊමේල් පණිවිඩය?

2017 මාර්තු 3 වැනිදා. ඒ කියන්නේ ලෝකයට ‘COVID-19’ කියන වචනය අහන්න ලැබෙන්නත් හරියටම වසර තුනකට කලින් දවසක්. එදා ජෙෆ්රි එප්ස්ටීන් විසින් බිල් ගේට්ස්ගේ කණ්ඩායම වෙත ඉතාම වැදගත් ඊමේල් පණිවිඩයක් යොමු කරනවා. එහි මාතෘකාව (Subject Line) වෙලා තිබුණේ ‘bgc3 deliveries and scope’ යන්නයි.

සාමාන්‍ය කෙනෙක්ට මේක දැක්කම හිතෙන්නේ මේක නිකම්ම ව්‍යාපාරික ලිපියක් කියලයි. ඒත් ‘bgc3’ කියන්නේ බිල් ගේට්ස්ගේ අතිශය පුද්ගලික සහ රහසිගත පර්යේෂණ සිදු කරන ආයතනයක් (Think-tank/LLC). මේ ලිපිය හරහා එප්ස්ටීන් උත්සාහ කරන්නේ ගේට්ස්ගේ අනාගත ව්‍යාපෘති සඳහා තමන්ට දායක විය හැකි ආකාරය පෙන්වා දීමටයි. නමුත් එහි අඩංගු කරුණු පහ (5) දැක්කම ඇඟ සීතල වෙනවා. 

මෙන්න ඒ ආන්දෝලනාත්මක කරුණු 5:

1. Pandemic Simulation (වසංගත අනුකරණය): වසංගතයක් පැතිරෙන ආකාරය පරිගණක සහ තාක්ෂණය ආධාරයෙන් කලින්ම අත්හදා බැලීම.

2. Neuro-technological Weapons (ස්නායු තාක්ෂණික අවි): මිනිස් මොළය සහ ස්නායු පද්ධතිය ඉලක්ක කරගත්, ජාතික ආරක්ෂාවට වැදගත් වන තාක්ෂණික අවි.

3. Digital Health Data (ඩිජිටල් සෞඛ්‍ය දත්ත): මිනිසුන්ගේ පුද්ගලික සෞඛ්‍ය තොරතුරු ඩිජිටල් ආකාරයට ගබඩා කිරීම සහ පරිරක්ෂණය.

4. Chronic Disease Management: නිදන්ගත රෝග සහ මොළය ආශ්‍රිත රෝග පාලනය.

5. Health Economics: සෞඛ්‍ය වියදම් පිළිබඳ ආර්ථික විශ්ලේෂණය.

මේ අතරින් ලෝකයේම අවධානය දිනාගෙන තියෙන්නේ පළමු සහ දෙවැනි කරුණුයි.

🦠 වසංගතයක් එන බව ඔවුන් කලින්ම දැන සිටියාද?

බොහෝ දෙනා අසන ප්‍රධානම ප්‍රශ්නය මෙයයි. “කොරෝනා වසංගතය ස්වභාවිකද? නැත්නම් එය කෘත්‍රිමව නිර්මාණය කළ එකක්ද?”.

එප්ස්ටයින්ගේ මෙම ඊමේල් පණිවිඩයත් සමඟ බොහෝ කුමන්ත්‍රණ න්‍යායන් (Conspiracy Theories) නැවත පණ ලබා තිබෙනවා. 2017 දී ගේට්ස් සහ එප්ස්ටීන් “වසංගත අනුකරණය” (Pandemic Simulation) ගැන කතා කිරීම අහම්බයක් වෙන්න පුළුවන්ද?

මෙහි ඇත්ත නැත්ත විමසා බලද්දී අපට පෙනෙන දෙයක් තමයි, බිල් ගේට්ස් 2015 දී ‘TED Talk’ එකක් කරමින් ලෝකයට අනතුරු ඇඟවූවා “ඊළඟ ලෝක යුද්ධය සිදුවන්නේ න්‍යෂ්ටික අවිවලින් නොව වෛරසයකින්” කියා. ඔහු දිගින් දිගටම ලෝකය වසංගතයකට සූදානම් කිරීම (Pandemic Preparedness) ගැන කතා කළා.

නමුත් ගැටලුව වන්නේ මෙයයි: ජෙෆ්රි එප්ස්ටීන් වැනි ලිංගික අපරාධකරුවෙක්, ගේට්ස් වැනි තාක්ෂණික දැවැන්තයෙක් සමඟ එකතු වී වසංගත පාලනයගැන සැලසුම් කළේ ඇයි? 🤔

විශ්ලේෂකයන් පවසන අන්දමට, එප්ස්ටීන් හට අවශ්‍ය වුණේ ගේට්ස්ගේ මුදල් සහ බලය භාවිතා කරමින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට සහ ලෝක මට්ටමේ විද්‍යාත්මක පර්යේෂණවලට මැදිහත් වීමටයි. 2020 ට පෙර ‘Event 201’ නමින් ලෝක ආර්ථික සංසදය සහ ගේට්ස් පදනම එකතු වී වසංගතයක් ආවොත් මොකද කරන්නේ කියලා පෙරහුරුවක් (Simulation) පැවැත්වූ බව අපි දන්නවා. එප්ස්ටයින්ගේ ඊමේල් පණිවිඩය මගින් හෙළිවන්නේ එවැනි පෙරහුරුවල මූලික සැලසුම් වසර ගණනාවකට පෙර සිටම තිරය පිටුපස සාකච්ඡා වී ඇති බවයි.

🧠 ස්නායු තාක්ෂණික අවි (Neuro-Weapons): ඊළඟ භීෂණය?

වසංගත කතාව පැත්තකින් තිබ්බොත්, ඊටත් වඩා භයානක කාරණයක් මේ ලිපිගොනුවල සැඟවී තිබෙනවා. ඒ තමයි ‘Neuro-technological Weapons’ හෙවත් ස්නායු අවි.

සරලවම කිව්වොත්, මෙය මිනිස් මොළයට බලපෑම් කළ හැකි තාක්ෂණයකි. මෙය හුදෙක් සෞඛ්‍යය සඳහා පමණක් නොව, “ජාතික ආරක්ෂාව සහ බුද්ධි අංශ” (National Security and Intelligence) සඳහා භාවිතා කළ හැකි බව එප්ස්ටීන් සිය යෝජනාවලියේ සඳහන් කර තිබුණා.

හිතන්න, යම් තාක්ෂණයකට පුළුවන් නම් ඔබේ සිතුවිලි වෙනස් කරන්න, නැත්නම් දුර සිට ඔබේ ස්නායු පද්ධතිය අඩපණ කරන්න? මෙය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක (Sci-Fi Movie) කොටසක් වගේ පෙනුනත්, ලෝකයේ බලවත්ම රටවල් මෙවැනි පර්යේෂණ සඳහා ඩොලර් බිලියන ගණන් වියදම් කරනවා. එප්ස්ටීන් උත්සාහ කළේ මෙවැනි අතිශය රහසිගත සහ භයානක ව්‍යාපෘති සඳහා ගේට්ස්ව හවුල් කර ගැනීමටයි.

එප්ස්ටීන් හට ‘Transhumanism’ හෙවත් ජාන තාක්ෂණය සහ තාක්ෂණය හරහා සුපිරි මිනිසුන් බිහි කිරීමේ පිස්සුවක් තිබූ බව ප්‍රසිද්ධ රහසක්. ඔහුට අවශ්‍ය වුණේ තමන්ගේ ජාන ලොව පුරා පතුරුවන්නටයි. එවැනි විකෘති මනසක් ඇති අයෙක් අතට “ස්නායු අවි” වැනි තාක්ෂණයක් ගියොත් සිදුවිය හැකි විනාශය ගැන හිතාගන්න පුළුවන්ද? 🤯

🤝 බිල් ගේට්ස් සහ එප්ස්ටීන්: නොගැලපෙන මිතුරුකම

බිල් ගේට්ස් ලෝකයේ පිළිගත් සමාජ සේවකයෙක් සහ ධනවතෙක්. ජෙෆ්රි එප්ස්ටීන් ලෝකයේ පිළිකුල් සහගතම ළමා අපචාරකයා සහ ජාවාරම්කරුවෙක්. මේ දෙන්නා කොහොමද එකට වැඩ කළේ?

මෙම ලිපිගොනු මගින් හෙළිවන පරිදි, ගේට්ස් සහ ඔහුගේ කණ්ඩායම එප්ස්ටීන් සමඟ කිහිප වතාවක් හමුවී තිබෙනවා. එප්ස්ටීන් මියයන තුරුම උත්සාහ කළේ ගේට්ස්ගේ ‘Bill & Melinda Gates Foundation’ එක හරහා අරමුදල් ලබාගෙන තමන්ගේ ව්‍යාපෘති දියත් කිරීමටයි.

ගේට්ස් පසුව ප්‍රකාශ කළේ එප්ස්ටීන් හමුවීම තමන් අතින් සිදුවූ විශාලතම අත්වැරැද්දක් බවයි. “මම හිතුවේ ඔහු හරහා ලෝක සෞඛ්‍යයට අවශ්‍ය අරමුදල් රැස් කරගන්න පුළුවන් වෙයි කියලා, නමුත් එය වැරදි තීරණයක්” යනුවෙන් ගේට්ස් පවසා තිබුණා. නමුත් විචාරකයන් අසන්නේ, එප්ස්ටයින්ගේ අතීතය දැන දැනම ඔහුත් එක්ක මෙතරම් ගැඹුරු තාක්ෂණික කාරණා (Deep Tech) කතා කළේ ඇයි කියන එකයි.

⚖️ එප්ස්ටීන් ලිපිගොනු: අයිස් කන්දේ මුදුන පමණයි

එප්ස්ටීන් ලිපිගොනුකියන්නේ ඇමරිකානු අධිකරණය විසින් මුදා හරින ලද පිටු දහස් ගණනක ලේඛන සමූහයක්. මෙහි ඇත්තේ එප්ස්ටයින්ගේ දූපතට (Epstein Island) ගිය ලෝක නායකයින්, නළුවන් සහ විද්‍යාඥයින්ගේ නම් ලැයිස්තු සහ විස්තරයි.

මේ ලේඛනවලින් පෙනී යන්නේ එප්ස්ටීන් යනු නිකම්ම ධනවතෙක් නොවන බවයි. ඔහු ලෝකයේ බලවත්ම පුද්ගලයින්ගේ “රහස්” දැනගෙන හිටපු, ඒ රහස් පාවිච්චි කරලා ඔවුන්ව පාලනය කරපු (Blackmail) කෙනෙක් විය හැකි බවට සැක කෙරෙනවා.

2019 අගෝස්තු 10 වැනිදා නිව්යෝර්ක් සිරගෙදරදී එප්ස්ටීන් අද්භූත ලෙස මිය ගියා (නිල වාර්තාවලට අනුව දිවි නසා ගැනීමක්). ඔහු මිය යන්නේ මෙවැනි රහස් ලෝකයට හෙළි වීමට ඔන්න මෙන්න තියෙද්දියි. ඔහුගේ මරණයත් එක්කම බොහෝ රහස් වැළලී ගියත්, ඉතිරි වූ ඊමේල් සහ ලේඛනවලින් හෙළිවන මේ කරුණු ලෝක දේශපාලනයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඳුරු පැතිකඩක් පෙන්නුම් කරනවා.

කොරෝනා වසංගතය කෘත්‍රිම එකක්ද නැද්ද යන්න තවමත් විවාදාත්මකයි. නමුත් 2017 වසරේදී, එනම් වසංගතයට වසර 3කට පෙර, ලෝකයේ බලවත්ම පුද්ගලයින් “වසංගත අනුකරණය” සහ “ස්නායු අවි” ගැන රහසිගතව සැලසුම් සකස් කරමින් සිටි බව අද වන විට සාක්ෂි සහිතව ඔප්පු වී අවසන්.

මේ තොරතුරු අපට කියා දෙන්නේ එක දෙයයි: ලෝකයේ සිදුවන මහා පරිමාණ සිදුවීම් බොහොමයක් අහම්බයන් නොවන බවත්, ඒවාට පිටුපසින් සාමාන්‍ය ජනතාවට නොපෙනෙන අදෘශ්‍යමාන හස්තයන් (Invisible Hands) ක්‍රියාත්මක වන බවත්ය. තාක්ෂණය දියුණු වන විට එය මිනිසාගේ යහපතට වගේම, නපුරටත් යොදාගත හැකි බවට එප්ස්ටයින්ගේ මේ යෝජනා හොඳම උදාහරණයක්.

අපි ප්‍රවේශම් විය යුතුයි. දැනුවත් විය යුතුයි. මොකද, ඊළඟට එන්නේ මොකක්ද කියලා සැලසුම් කරන්නේ කවුරුන්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. 🧐

By Tharanga Gamage.”

Facebook | Archived Link

ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, මෙය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

hirunews.lk

මෙම පණිවිඩය විදෙස් සමාජ මාධ්‍ය වේදිකාවන් අතර ද, ප්‍රචාරය වී ඇති අතර මේ හේතුවෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් කොවිඩ් වසංගතය කලින්  සැලසුම් කළ හෝ අනුකරණය කරන ලද වසංගතයක් ලෙස අදහස් දක්වා තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට කටයුතු කරනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජෙෆ්රි එප්ස්ටීන්

ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටීන් යනු ධනවත් මූල්‍යකරුවෙක්( ධනවත් පුද්ගලයින්ගේ මූල්‍ය කළමනාකරුවෙක් ලෙස වැඩකටයුතු කළ) වන අමෙරිකානු ජාතිකයෙක් වේ. ලිංගික අපයෝජන සහ බාලවයස්කාර ගැහැණු ළමයින් ජාවාරම් කිරීම සම්බන්ධ බරපතල අපරාධ නඩු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය.

ඔහුට බලවත් හා ප්‍රසිද්ධ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, රාජකීයයන්, කීර්තිමත් පුද්ගලයින් වැනි අය සමඟ සම්බන්ධතා තිබූ අතර, ඔහුට විරුද්ධව ඇති නඩුව ඉතා ප්‍රසිද්ධ වූ බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

2019 දී, නඩු විභාගයක් පෙනී සිටීමට නියමිත වී තිබූ අතර මේ අතර කාලයේදී ඔහු නිව්යෝර්ක් බන්ධනාගාරයක මිය ගොස් තිබූ අතර ඔහුගේ මරණය නිල වශයෙන් සියදිවි නසා ගැනීමක් ලෙස තීන්දු කරන ලදී, නමුත් එය තවමත් මතභේදාත්මක ය.

කෙසේ වෙතත් 2026 ජනවාරි 30 දින ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව(DOJ) විසින් “එප්ස්ටීන් ලිපිගොනු” ලෙස මේ වනවිට හඳුන්වන එප්ස්ටීන් සම්බන්ධ මිලියන ගණනක් ලේඛන නිකුත් කිරීමෙන් පසුව මෙම ලිපිගොනු අතර එප්ස්ටීන් සහ බිල්ගේට්ස් අතර  වසංගතයක් පැතිරෙන ආකාරය පරිගණක සහ තාක්ෂණය ආධාරයෙන් කළ අත්හදා බැලීමක් බවට ඔවුන් අතර විද්‍යුත් ලිපි හුවමාරු වී ඇති බවට කටකතා පැතිරුණා.

ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා කොවිඩ් සම්බන්ධ මෙවැනි විද්‍යුත් ලිපියක් ඔවුන් අතර හුවමාරු වී ඇති බවට පුවත් වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා. නමුත් ඒ ආකාරයෙන් පුවත් පළ වී ඇති බවක් දැක ගන්නට නොලැබුණි.

2026 ජනවාරි 30නිකුත් කළ එප්ස්ටීන් ලිපිගොනු තුළ ඇත්තේ කුමක්ද?

Anadolu Agency වාර්තා අනුව, අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මෙම ලේඛන මිලියන තුනකට අධික පිටු සංඛ්‍යාවක් අඩංගු වන අතර, එහි විද්‍යුත් ලිපි, සම්බන්ධතා ලැයිස්තු, සම්මුඛ පරීක්ෂණ සාරාංශ, සහ අභ්‍යන්තර සටහන් ඇතුළත් වේ.

මෙම ගොනු අතර 2013 ජූලි මාසයේදී ජෙෆ්රි එප්ස්ටීන් විසින් තමාටම ලියා තබා ගත්(draft emails) කිසිදා යවනු නොලැබූ විද්‍යුත් ලිපි ඇතුළත් වී තිබේ. ඒවා තුළ බිල් ගේට්ස් පිළිබඳ තහවුරු නොවූ පුද්ගලික චෝදනා කිහිපයක් එනම්, විවාහයට පසුපස ඇති සම්බන්ධතා, රෝග චෝදනා ආදිය සඳහන් වන නමුත්, ඒවා සනාථ වන කිසිදු සාක්ෂියක් හමු වී නොමැත.

නිකුත් කළ ලේඛන සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමේදී, වසංගතයක් පැතිරෙන ආකාරය පරිගණක සහ තාක්ෂණය ආධාරයෙන් කළ අත්හදා බැලීම්, වෛරස් සැලසුම්, හෝ සෞඛ්‍ය සම්බන්ධ සාකච්ඡා කිසිවක් බිල් ගේට්ස් සහ එප්ස්ටීන් අතර පැවති බව පෙන්වන සාක්ෂියක් නොමැත.

Forbes ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින්ද මෙම ලේඛන සජීවීව විශ්ලේෂණය කළ අතර, කොවිඩ් සම්බන්ධ අදහස් හුවමාරු කෙරුණු විද්‍යුත් ලිපි හමුවී නොමැති බව තහවුරු කරයි.

බිල් ගේට්ස්ගේ ප්‍රතිචාරය

එප්ස්ටීන්ගේ ගොනු නිකුත් කිරීමෙන් පසුව, බිල් ගේට්ස්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු  Business Insider වෙත ප්‍රකාශ කර තිබුණේ, බිල් ගේට්ස්ට විරුද්ධ මෙම චෝදනා අතිශයින් විහිළු සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එමෙන්ම, මෙම ලේඛනවලින් පෙන්වන්නේ එප්ස්ටීන් බිල් ගේට්ස් සමඟ දිගු සම්බන්ධතාවයක් නොතිබීම පිළිබඳ ඇති වූ අසතුට පමණක් බවද ඔහු සඳහන් කළ බව ත්, බිල් ගේට්ස් පෙර අවස්ථාවකදී එප්ස්ටීන් හමුවීම තමන් විසින් සිදු කරන ලද විශාල වැරැද්දක් බව පිළිගෙන ඇති බව ද, සඳහන් කර තිබුණා.

එප්ස්ටීන්ගේ ලිපි ගොනු තුළ වෛරස් හෝ වසංගතයක් පැතිරෙන ආකාරය අත්හදා බැලීමක් පිළිබඳ සඳහන් ද?

අප විසින් අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද   එප්ස්ටීන්ගේ ලේඛන දත්ත ගබඩාව තුළ “pandemic”, “simulation”, “virus”, “COVID”, “strain”, “health emergency”යන Key words භාවිතා කර කොවිඩ් වසංගතය බිල්ගේට්ස් සම්බන්ධ කර ගනිමින් මේ සම්බන්ධ කරමින් ලිපි ගොනුවක් ඇත් ද, යන්න පරීක්ෂා කළත්, මෙම පරීක්ෂා කිරීම මගින්, බිල් ගේට්ස් සහ ජෙෆ්රි එප්ස්ටීන් අතර වසංග‍ත හෝ වෛරස් අනුකරණයක් හෝ මහජන සෞඛ්‍ය සැලසුම් පිළිබඳ කිසිදු ලේඛනයක් හමු නොවුණි. එම ලිපි ගොනු සඳහා පිවිසීම මෙතනින්.

මෙම ලිපිගොනුව සම්බන්ධයෙන් BBC විසින් ද, සිදු කළ විශ්ලේෂණයේ ද, සඳහන් කර තිබුණේ, මෙම ගොනු තුළ ඇතුළත් වන්නේ දේශපාලන චරිතයන් සම්බන්ධ ලිපි හුවමාරු, එප්ස්ටීන්ගේ මානසික වාර්තා, Ghislaine Maxwell සම්බන්ධ තොරතුරු, සහ පෙර නිකුත් නොකළ හඬපට/වීඩියෝ දත්ත වේ.

Event 201 සහ වසංගත සූදානම පිළිබඳ වරදවා වටහාගැනීමට හේතු වූ කරුණු

සමාජ මාධ්‍යවල භාවිතා වන “strain pandemic simulation”( වෛරස් වර්ගයක් පදනම් කරගෙන කරන වසංගත අනුකරණයක්) යන වාක්‍ය, 2019 ඔක්තෝබර් මාසයේ පැවැත්වූ Event 201 නම් මහජන වසංගත සූදානම් අභ්‍යාසය සමඟ සම්බන්ධ කරමින් වරදවා වටහාගෙන තිබේ.

මෙම අභ්‍යාසය Bill & Melinda Gates Foundation ඇතුළු ආයතන කිහිපයක් විසින් අනුග්‍රහය දක්වා තිබුණද,Reuters සහ USA Today වැනි ජාත්‍යන්තර මාධ්‍ය ධාරා විසින් මෙය COVID-19 සැලසුම් කිරීමක් නොවන බව පැහැදිලිවම තහවුරු කර ඇත.

මේ හා සම්බන්ධ ප්‍රකාශ මහජනතාව ඉදිරියේම කළ ප්‍රකාශයන් වන අතර , වසංගත සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර පිළිබඳ අභ්‍යාසයක් පමණක් වූ අතර, මෙය එප්ස්ටීන් සමඟ කිසිදු සම්බන්ධයක් නොවන බව පැහැදිලි වේ.

Read in English : No Evidence Epstein Files Show Bill Gates Discussed “Strain Pandemic Simulation” With Jeffrey Epstein

Read more:

ඉදිරියේදී එන්නට නියමිත කොවිඩ් ප්‍රභේද ගැන වාර්තාවක් ලීක්වෙයි?

COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව FDA පිළිගත්තාද?

COVID-19 එන්නත් කරණය මගින් ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා WHO කටයුතු කරන බවට පළ වූ වීඩියෝවේ ඇත්ත කතාව!

Covid19, මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ජීව අවියක් බවට ඩේවිඩ් මාටින් කළ නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2026 ජනවාරි 30 දින අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ජෙෆ්රි එප්ස්ටීන් ලිපිගොනු තුළ, වෛරස් වර්ගයක් පදනම් කරගෙන සිදු කරන වසංගත අනුකරණයක් පිළිබඳ සාකච්ඡා කළ බව පෙන්වන කිසිදු සාක්ෂියක් නොමැත.

තහවුරු නොවූ පුද්ගලික චෝදනා ඇතුළත් ලේඛන කිහිපයක් පමණක් ඇති අතර, වසංගත සැලසුම්, වෛරස් අනුකරණ, හෝ සෞඛ්‍ය සම්බන්ධ කතාබහ කිසිවක් එහි සඳහන් නොවේ.

Avatar

Title:එප්ස්ටීන්, බිල් ගේට්ස් සමග වසංගත අනුකරණයක් පිළිබඳ සාකච්ඡා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත!

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *