දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මාර්තු මාසය තුළ තුන්වතාවක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදු වී තිබුණා. 2026.04.30 දින නැවත ඉන්ධන මිල සංශෝධනයක් සිදු වී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණේ මෙවැනි පසුබිමකයි. සැබෑ ලෙසම එවැනි ඉන්ධන මිල ඉහළ යෑමක් සිදුවී ඇත්ද යන සොයා බැලීමට අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
2026.04.30 දින මිල සංශෝධනයක් යටතේ ඉන්ධන මිල යලි ඉහළ ගොස් ඇති බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

සත්‍ය ලෙසම යළි ඉන්ධන මිල සංශෝධනයක් සිදුවී ඇත්ද යන්න සොයාබැලීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉන්ධන මිල සංශෝධනයක් 2026.04.30 දින සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ ප්රමුඛ අවධානයකින් වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් 2026.04.30 දින සිදුවූ ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ වාර්තාකර ඇත්ද යන්න පරීක්ෂා කළත්, එවැනි වාර්තා කිසිවක් හමු වුණේ නැහැ.
මැද පෙරදිග යුද්ධය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන ලබා ගැනීමට ඇති අපහසුව හේතුවෙන් මාසික ඉන්ධන මිල සංශෝධනයට අමතරව මාර්තු මාසය තුළ ඉන්ධන මිල දෙවතාවක් වැඩි කිරීමට රජය විසින් කටයුතු කර තිබුණා. ඒ අනුව අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වූයේ 2026 මාර්තු මස 21 වනදා මධ්‍යම රාත්‍රියේ ය. එදින සිදු වූ ඉන්ධන මිල සංශෝධනය පහතින්.
| ඉන්ධන වර්ගය | පැවති මිල (රු.) | නව මිල (රු.) | ඉහළ යාම (රු.) |
| පෙට්‍රල් 92 ඔක්ටේන් | 317.00 | 398.00 | +81.00 |
| පෙට්‍රල් 95 ඔක්ටේන් | 365.00 | 455.00 | +90.00 |
| ලංකා සුදු ඩීසල් | 303.00 | 382.00 | +79.00 |
| ලංකා සුපිරි ඩීසල් | 353.00 | 443.00 | +90.00 |
| ලංකා භූමිතෙල් | 195.00 | 255.00 | +60.00 |
සටහන: මෙම මිල ගණන් 2026 මාර්තු 21 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
එම මිල සංශෝධනය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පළ කර තිබූ නිල නිවේදනය පහතින්.

2026.04.30 දින ඉන්ධන මිල සංශෝධනයක් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවිය තුළ දක්වා නැහැ.
2026 මාර්තු 21 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ මිල ගණන් තවදුරටත් නොවෙනස්ව පවතින බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී පැහැදිලිව දැක ගත හැකි වනවා.

ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශ කළ බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා කර තිබුණා. ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරනයක් ගත හැකි බවද එහි දක්වා තිබුණා. එම මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ සටහනක්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදාළ සටහන සමීපව නිරීක්ෂණය කිරීමේදී එහි අන්තර්ගත SynthID සලකුණ පැහැදිලිව හඳුනා ගත හැකිය. SynthID සලකුණ යනු කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ අන්තර්ගතයන්හි දක්නට ලැබෙන සලකුණකි.

ඒ අනුව අදාළ සටහන කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කටයුතු කළා. එහිදී අදාළ සටහන Google හි කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිතයෙන් සංස්කරණය කර ඇති බව තහවුරු වුණා.

බලශක්ති අමාත්‍යාංශය
ඉන්ධන මිල යළි ඉහළ ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වන සටහන සම්බන්ධයෙන් අප විසින් බලශක්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමක් කලා. එහිදී ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන අසත්‍ය එකක් බවත්, එවැනි මිල සංශෝධනයක් සිදු කර නොමැති බවත් ය. එසේම ඉදිරි දින කිහිපයේදී එවැනි මිල සංශෝධනයක් සිදු වේද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් කළ නොහැකි බවත්, කෙසේ නමුත් ඊයේ හෝ අද දිනයේදී එවැනි සංශෝධනයක් සිදු නොවන බවත් ඔහු සඳහන් කළා.
ඉන්ධන මිල යළි ඉහළ ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වන සටහන සම්බන්ධයෙන් අප විසින් බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද විමසීමක් කලා. එහිදී ඔහුද සඳහන් කර සිටියේ, 2026.04.30 දින ඉන්ධන මිල සංශෝධනයක් සිදුකර නොමැති බවයි. එසේම හුවමාරු වන සටහන අසත්‍ය සටහනක් බවද එවැනි ඉන්ධන මිල ඉහළ දැමීමක් ඊයේ හෝ අද දින සිදු කර නොමැති බවත් ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ 2026.04.30 දින ඉන්ධන මිල ඉහල දැමීමක් සිදුවී ඇති බවට දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. එවැනි ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවී නොමැති බව බලශක්ති අමාත්‍යංශය විසින් තහවුරු කළා. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුව ඇත්තේ 2026.03.21 මධ්‍යම රාත්රියේදී ය.


