
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමඟ එම සන්ධානයේ ප්‍රධාන නායකයන් ඉලක්ක කරගනිමින් ඇතැම් නොමඟ යවන සුළු සටහන් ද හුවමාරු වෙනවා. ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්තගේ රථයක් ගැන හුවමාරු වූ සටහන් පිලිබඳ අප විමසා බැලුවේ මෙලෙසින්.
සමාජ ජාලා සටහන්
සමාජ ජාලා සටහන් පෙළකින් හඟවා තිබුනේ, ජාතික ජන බලවේගය බලයට පත්ව ඉතා කෙටි කාලයක් ඇතුලත, ලාල් කාන්ත මහතා විසින් තමන් භාවිතා කල ඩබල් කැබ් රථය වෙනුවට, මිල අධික රේන්ජ් රෝවර් රථයක් භාවිතා කිරීමට පටන්ගෙන හෝ මිලට ගෙන හෝ ඇති බවක්. ඒ බව දැක්වීමට ඔහු රේන්ජ් රෝවර් රථයකින් නුවර පැවති රැළියකට එන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.
එසේම ඇතැම් සටහන් මඟින් පෙන්වා තිබුනේ ජාතික ජන බලවේගයේ රජය පිහිටුවීමෙන් අනතුරුව, හිටපු ආණ්ඩුවේ උසස් නිලධාරීන්, මැති ඇමතිවරු සහ මන්ත්‍රීවරුන්ට භාවිතා කර, ගෝල්ෆේස් පිටියේ ගාල් කර තිබු වාහනයක් මෙසේ ලාල් කාන්ත මහතා දැන් භාවිතා කරන බවක්.
තවත් මේ පිළිබඳව සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝසි සේනානයක මහත්මිය ද මාධ්‍ය හමුවකදී කියා සිටියේ ජාතික ජන බලවේගයේ පිරිස තමාට මඩ ගැසූ බවත්, තමාට ජනාධිපති තනතුරක් තිබියදී ලැබුණු පෝෂ් රථය සඳහා බොහෝ අපහාස කිරීමින් මාධ්‍ය සංදර්ශන තිබු බවත්, එසේ තමාට පැවසූව ද, කිසිම රජයේ තනතුරක් නොමැති ලාල් කාන්ත මහතා රේන්ජ් රෝවරයක ගමන් ගන්නා බවයි. රෝසි සේනානයක මහත්මිගේ අදහස් දැක්වීම මෙතැනින්.
කරුණු විමසා බැලීම :
මුලින්ම අප මෙයට සම්බන්ධ මුල් වීඩියෝව සොයාගත්තා. නොවැම්බර 09 වෙනිදා හිරු ප්රවෘත්ති වල පලවූ වීඩියෝවක් .
මෙවර මහමැතිවරණය සදහා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග වදින ලාල් කාන්ත , ජාතික ජන බලවේගයේ කඩුගන්නාව රැලියකට රේන්ජ් රෝවර් රථයකින් පැමිණෙන අයුරු එහි දැකගන්නට ලැබෙනවා. කෙසේ වෙතත් වාහනයේ අංක තහඩුව එහි පැහැදිලි නැහැ .
ඒ අනුව සිය හුරු පුරුදු ඩබල් කැබ් රථය වෙනුවට මේ මිල අධික වාහනයෙන් ලාල් කාන්ත පැමිණෙන බවට සමාජ ජලාවල පැතිර යත්ම, අනුරාධ අබේවික්‍රම නම් පුද්ගලයෙක් රේන්ජ් රෝවර් රථයක් සමග ෆේස්බුක් සටහනක් එක් කරමින් පවසන්නේ ලාල් කාන්ත මේ දිනවල භාවිතා කරන රථය තමන්ගේ වාහනය බවයි.
ලාල් කාන්ත භාවිතා කරන ඩබල් කැබ් රථය මේ දිනවල අලුත්වැඩියා කටයුත්තක් සදහා යොමුකර ඇති නිසා තම වාහනය තාවකාලික භාවිතය සදහා ඔහුට ලබාදී ඇති බව දක්වමින් ඔහු පළකර තිබු ෆේස්බුක් සටහන පහතින්.
ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහනේ ඇති රේන්ජ් රෝවර් රථයේ අංකය අප මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කර බැලූ අතර එය රජයට අයත් නොවන වාහනයක් බවක් අපට දැකගත හැකි වුණා.
කෙසේනමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන රේන්ජ් රෝවර් රථයේ අංකය කොටස පෙනෙන්නේ නැති බැවින් මේ ගැන අපි ලාල් කාන්ත මහතාගෙන් ද විමසා සිටියා.
ලාල් කාන්ත
ලාල් කාන්ත මහතා පැවසුවේ මෙම වාහනයේ අයිති සිය පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සහය දක්වන මිත්‍රයෙකුගේ බවයි. විවිධ වාහනවල, ඇතැම් විට බයිසිකලයෙන් පවා තමන් ගමන් ගන්නා අවස්ථා ඇති බවත්, එදින දවස පුරාම මෙම වාහනය භාවිත නොකළ බවත්, එම අවස්ථාව සඳහා පමණක් එම වාහනයෙන් පැමිණි බවත් එම මහතා පැවසුවා.
එමෙන් ම එම වාහනය රජයේ වානයක් නොවන බවත් පෞද්ගලික වාහනයක් වන බවත් තමන් මහජන මුදල් භාවිතා කිරීමක් නොකළ බවත් එම මහතා පැවසුවා.
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය
මේ පිලිබදව අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද විමසු අතර ඔවුන් පැවසුවේද ඉහත සමාජ ජාලා සටහනේ ඇති කරුණු අසත්‍ය බව සහ ලාල් කාන්ත මේ දිනවල භාවිතා කරන රේන්ජ් රෝවර් රථය, ඔහුගේ සුපුරුදු ඩබල් කැබ් රථය අලුත්වැඩියාවට දමා ඇති නිසා තාවකාලිකව භාවිතා කරන රථයක් මිස ඔහු මිලට ගත එකක් හෝ රජයේ වාහනයක් නොවන බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය Conclusion අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ ලාල් කාන්ත අලුතින් රේන්ජ් රෝවර් රථයක් මිලට ගෙන හෝ රජයේ වාහනයක් භාවිතා කරන බවට පළවන සමාජ ජාලා සටහන් නොමගයවන සුළු ඒවා බවයි.ඔහු අලුත් රථයක් මිලට ගෙන නොමැති අතර එම වාහනය වෙනත් පුද්ගලයෙක් විසින් මේ දිනවල භාවිතය සදහා ලබාදී ඇත්තේ ලාල් කාන්ත ගේ සුපුරුදු ඩබල් කැබ් රථය අලුත්වැඩියාව සදහා යොමුකර ඇති නිසායි.

Title:ලාල් කාන්තගේ වාහනය සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙන සටහන් ගැන පැහැදිලි කිරීමක්!
Written By: Fact Crescendo TeamResult: Insight
