දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මේ දිනවල රජයෙන් සිදුකරන කෘෂිකර්ම නේවාසික පාඨමාලාවක් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරුවන අතර ඒ පිළිබඳව සොයාබලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලිම් කිහිපයක් ද මුල් කරගනිමින් මෙම පණිවිඩය සම්බන්ධව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
වට්ස් ඇප් ඔස්සේ බොහෝදෙනෙක් හුවමාරුකරගෙන තිබුණු පණිවිඩයක දැක්වුණේ,
තරුණ ලමයින්ට නේවාසික මාස 6 ක රජයෙන් සිදුකරන කෘෂිකර්ම පාඨමාලාවක් පවතින බවත්, ආහාර පාන, නවාතැන් නොමිලේ ලබාදෙන බවත් ය. එහි වැඩිදුරටත් දක්වා තිබුණේ, NVQ4 වටිනා සහතිකයක් එම පාඨමාලාවෙන් ලබාදෙන බවයි. තව ද ජපන් භාෂාව පුහුණු කරන බවත්, කෘෂිකර්මය සඳහා යොදා ගන්නා ඩ්‍රෝන තාක්ශණය ඇතුළත් බවත් එම පණිවිඩයේ සඳහන්ව තිබෙනවා.
එම පාඨමාලාවේ සම්මුඛ පරීක්ෂණ අද(3) දිනයේ මරගම තරුණ සේවා සභාවේදී පැවැත්වෙන බවත්, ඊට සම්බන්ධවන අයගේ විස්තර එවන ලෙස දුරකතන අංකයකුත් එම පණිවිඩයේ සඳහන්කර තිබෙනවා.
ඉහත පණිවිඩයේ ඇති නිරවද්‍යතාවය විමසමින් අපගේ Hotline ඔස්සේ පණිවිඩ කිහිපයක් යොමු කර තිබූ අතර එ අනුව යම් කිසි කෘෂිකර්ම පාඨමාලාවක් මහරගම ජාතික තරුණ සේවා සභාව සම්බන්ධ වී සිදුකරනවා ද යන්න අප සොයා බැලීමක් සිදු කිරීමට පියවර ගත්තා.
කරුණු පැහැදිලි කිරීම (Explanation)
මෙම පණිවිඩයේ දැක්වෙන ලෙස කෘෂි පාඨමාලාවක් සඳහා මේ දිනවල බඳවා ගැනීම් සිදුවනවා ද යන්න පිළිබඳව දැනුවත් කිරීමක් ජාතික තරුණ සේවා සභාවේ නිල වෙබ් අඩවිය ඔස්සේ සිදුකර තිබේ ද යන්න අප පරීක්ෂා කර බැලුවා.
ඒ අනුව එහි 2025 වසරේ කෘෂි පුහුණු පාඨමාලා සඳහා අභ්‍යාසලාභීන් බඳවාගන්නා බවට දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන්ව තිබුණා.
මෙම පාඨමාලාව හැදැරීමට අදාළ සුදුසුකම් ද මෙහි සඳහන් කර තිබූ අතර අයදුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන් වෙත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපියක් මඟින් හෝ දුරකතන ඇමතුමක් මඟින් දන්වන බව මෙහි දක්වා තිබෙනවා.
තව ද අභ්‍යාසලාභියෙකු වීම තුළ ලැබෙන පහසුකම් ලෙස,
- නේවාසික අභ්‍යාසලාභීන් හට ආහාර සඳහා රු.300ක දෛනික දීමනාවක් ලබාදීම.
- නොමිලේ නේවාසික පහසුකම් ලබාදීම.
- කෙටි කාලීන කෘෂි ව්‍යවසායකත්ව පුහුණුවීම්,කුසලතා සංවර්ධන වැඩමුළු, ව්‍යවසායකත්ව පුහුණු ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා සඳහා සහභාගී වීමේ අවස්ථාව
- කෘෂි පාඨමාලා හදාරන අභ්‍යාසලාභීන් හට නොමිලේ ජපන් භාෂාව පුහුණු කිරීම
යන පහසුකම් සලසන බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.
2024.12.30 වන දිනට පෙර සම්පූර්ණකරන අයදුම්පත් තමාගේ දිස්ත්‍රික්කයට අදාළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානයට ගෙනවිත් භාරදීම, අදාළ මධ්‍යස්ථානයට තැපැල් කිරීම හෝ අදාළ විද්‍යුත් ලිපිනයන්ට යොමු කළ හැකි බව එහි දක්වා තිබෙනවා.
මෙම නිවේදනයේ පළාත් 9ට අදාළ දිස්ත්‍රික්ක කිහිපයක තරුණ සංවර්ධන මධ්‍යස්ථානවල පැවැත්වෙන කෘෂි පාඨමාලා ගණනාවක තොරතුතුරු අන්තර්ගතව ඇති අතර සෑම ප්‍රදේශයකම තරුණ සංවර්ධන මධ්‍යස්ථානවල ලිපිනය, දුරකතන අංක සහ විද්‍යුත් ලිපින සඳහන් කර තිබෙනවා.
එමෙන් ම නේවාසික පහසුකම් ඇති සහ නැති පාඨමාලා ද පවතින අතර එක් පාඨමාලාවකට බඳවා ගන්නේ 20- 25ත් අතර ප්‍රමාණයක් බවත් එහි සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් වට්ස් ඇප් ඔස්සේ, මෙම පාඨමාලාව සම්බන්ධයෙන් හුවමාරු වී තිබූ පණිවිඩයේ අයදුම්කරුවන්ට තම තොරතුරු එවන ලෙස දක්වා තිබුණු දුරකතන අංකය, ජාතික තරුණ සේවා සභාවෙන් පළ කර තිබූ දැන්වීමේ පවතිනවා ද යන්න අප පරීක්ෂා කර බැලූ නමුත් එම දුරකතන අංකය දැන්වීමේ සඳහන් කිසිඳු තරුණ සංවර්ධන මධ්‍යස්ථානයකට අයත් එකක් නොවන බව අපට පැහැදිලි වුණා.
අප වට්ස් ඇප් පණිවිඩයේ සඳහන් දුරකතන අංකය True Caller ඔස්සේ පරීක්ෂා කර බැලූ අතර එම අංකයේ හිමිකරුගේ නම ලෙස සඳහන්ව තිබුණේ, විමාලි -NPP Salon Leeyo කිට්ටම්පහුව, වැල්ලම්පිටිය යනුවෙනි. ඒ අනුව තරුණ සංවර්ධන මධ්‍යස්ථානයක දුරකතන අංකයක නමක් එලෙස සටහන් විය නොහැකි ය.
අප මෙම දුරකතන අංකයට ඇමතුම් ලබාගත්ත ද අපට එම අංකයෙන් කිසිවෙක් සම්බන්ධ කරගත නොහැකි විය. වට්ස් ඇප් ඔස්සේ ද ඇමතුම් ලබාගැනීමට උත්සහ කළ ද එය අසාර්ථක විය.
කෙසේ නමුත් මහරගම ජාතික තරුණ සභාවෙන්, මෙලෙස වෙබ් අඩවියේ දැනුවත් කිරීමට අමතරව මෙම පාඨමාලාව පිළිබඳව වට්ස් ඇප් ඔස්සේ හෝ
වෙනත් කිසියම් ක්‍රමවේදයක් ඔස්සේ, දැනුවත් කිරීමක් සිදුකළේ ද යන්න විමසීමක් සිදුකරනු ලැබුවා.
මහරගම ජාතික තරුණ සේවා සභාව
මහරගම ජාතික තරුණ සේවා සභාවෙන් අප වෙත පැවසුවේ, පසුගිය දෙසැම්බර් 15 වන දින නීත්‍යානුකූල ලෙස සිළුමිණ පුවත්පතේ දැන්වීමක් පළ කර මෙම පාඨමාලාව පිළිබඳව දැනුවත් කිරීමක් කළ අතර තරුණ සේවා සභාවේ වෙබ් අඩවියට අමතරව වෙනත් ක්‍රමවේද මඟින් මෙම පාඨමාලාව පිළිබඳ දැනුවත් කිරීමක් සිදුනොකළ බවයි. එනම් වට්ස් ඇප් පණිවිඩයක් ලෙස පාඨමාලා තොරතුරු හුවමාරු නොකළ බව අප වෙත තහවුරු කළා
ඒ අනුව දිවයින පුර තරුණ සංවර්ධන මධ්‍යස්ථාන 23ක පැවැත්වෙන මෙම පාඨමාලාවන් පාඨමාලා ගාස්තුවකට යටත්ව සිදුවන බව තරුණ සේවා සභාවෙන් අප වෙත පැවසුවා. නේවාසික, අනේවාසික පාඨමාලා පැවැත්වෙන බවත්, නේවාසික පහසුකම් සහිත සිසුන්ට නොමිලේ එම පහසුකම් සහ ආහාර සඳහා දෛනිකව රු.300ක මුදලකුත් ලබාදෙන බව අප වෙත පැවසුවා. NVQ 4 සහතිකයක් ලබාදෙන බවත් තරුණ සේවා සභාවෙන් තහවුරු කළා. එමෙන් ම කෘෂිකර්මය සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම් ආදී තාක්ෂණික කාරණා ද මෙම පාඨමාලාවල අවධානය යොමුකරන බවත් ජාතික තරුණ සේවා සභාව පවසනවා.
එමෙන් ම වට්ස් ඇප් පණිවිඩයේ දැක්වෙන ලෙස ඊයේ දිනයේ (3) මහරගම තරුණ සේවා සභාවේදී කොළඹ අවට සිසුන්ට පාඨමාලා දැනුවත් කිරීමක් පැවති බවත්, ඊට 400ක පමණ සිසුන් සහභාගී වූ බවත්, තවත් සිසුන් සම්බන්ධ වීමට විස්තර විමසන බවත් මහරගම ජාතික තරුණ සේවා සභාවෙන් අප වෙත පැවසුවා.
මේ අනුව පැහැදිලි වන්නේ, වට්ස් ඇප් පණිවිඩයේ කෘෂි පාඨමාලාව සම්බන්ධ තොරතුරු සත්‍ය වුවත් අයදුම්කරුවන්ට තොරතුරු එවන ලෙස සඳහන් කර තිබූ දුරකතන අංකය සැකසහිත බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් දිස්ත්‍රික්කවල තරුණ සංවර්ධන මධ්‍යස්ථාන මෙම පාඨමාලා තොරතුරු ෆේස්බුක් ඔස්සේ පළ කර තිබූ අතර ඒවායෙහිද වැඩිදුර තොරතුරු දැනගැනීමට අමතන ලෙස දුරකතන අංක දක්වා තිබුණත්, අයදුම්කරුවන්ගේ තොරතුරු එම අංක වෙත එවන ලෙස දක්වා තිබුණේ නෑ. එවැනි පළ කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
කෙසේවෙතත් මේ සඳහා අයදුම්කරන අයදුම්කරුවන් ජාතික තරුණ සේවා සභාවේ මේ සම්බන්ධ දැන්වීමේ පළ කර ඇති ක්‍රමයට පමණක් තමන්ගේ අයදුම්පත් යොමු කිරීම කළ යුතු බව මින් පෙන්වා දිය හැක.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclution)
අපගේ කරුණු විමර්ශණය ඔස්සේ පැහැදිලි වන්නේ, වට්ස් ඇප් පණිවිඩයේ සඳහන් කෘෂි පාඨමාලා තොරතුරු සත්‍ය වුවත්, පාඨමාලා අයදුම්කරුවන්ගේ අයදුම්පත්, තොරතුරු එවිය යුත්තේ වට්ස් ඇප් අංකයකට නොවන බවයි.
අදාළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානවල තැපැල් ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට අයදුම්පත් යොමුකළ යුතු අතර එම තොරතුරු මහරගම ජාතික තරුණ සේවා සභාවේ වෙබ් අඩවියේ හෝ 2024.12.15 දින සිලුමිණ පුවත්පතේ මෙම පාඨමාලාවට අදාළ දැන්වීමේ සඳහන්වනවා.
ඒ අනුව ඔබ යම් කිසි පාඨමාලාවකට අයදුම් කරන්නේ නම්, ඊට අදාළ නිල තොරතුරු විමසා බලා, අදාළ ආයතනයේ ලිපින, විද්‍යුත් ලිපින සහ දුරකතන අංක බව තහවුරු කරගෙන ඔබේ තොරතුටු ඇතුළත් අයදුම්පත් යොමු කිරීමට සැලකිලිමත්වන්න.

Title:කෘෂිකර්ම පාඨමාලවකට අදාළව ඔබගේ විස්තර එවන ලෙස සංසරණය වන පණිවිඩය !
Fact Check By: Piumika LakshaniResult: Insight
