වසර 7කට පසු පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම !

Local Government Election 2025

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ප්‍රාදේශීය සංවර්ධනය අරමුණු කරගත් පළාත් පාලන ආයතනයන් වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයින් තෝරාපත් කර ගැනීමට අදාළ පළාත් පාලන ඡන්ද විමසීම මෙවර පැවැත්වෙන්නේ, වසර 7කට පසුවයි. එනම් මෙම වසරේ පැවැත්වෙන්නේ, මෙරට 17 වන පළාත් පාලන ඡන්ද විමසීමයි.

මැතිවරණ ඉතිහාසය තුළ වැඩි වාර ගණනක් කල් ගිය ඡන්ද විමසීම කුමක් ද යන්න කවුරුන් හෝ ප්‍රශ්න කළහොත් ඊට එකම පිළිතුර වන්නේ ද පළාත් පාලන ඡන්ද විමසීමයි. 

සාමාන්‍යයෙන් වසර 04 කට වරක් පැවැත්විය යුතු වන මෙකී පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වරට පැවැතියේ 2018 වසරේදීය. ඒ අනුව ඊළඟට පැවැත්විය යුතුව තිබුණේ 2022 වසරේදී වුවද එම ඡන්දය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කල් දමනු ලැබුවා. අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 2023 වසරේදී නාම යෝජනා කඳවනු ලැබුව ද, පැවති රජයෙන් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය අරමුදල් ලබා නොදීම නිසා මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවිය.

ඒ අනුව 2023 පෙබරවාරි 24 වැනිදා, මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමූ අතර, එම වසරේ ම අප්‍රේල් 25 වැනිදාට නැවත මැතිවරණය නියම කළ නමුත් පසුව ඡන්දය නැවතත් කල් දැමීමක් සිදුවිය. අනතුරුව 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවනු ලැබූ නාමයෝජනා ආපසු කැඳවීම පිණිස, ලැබුණු නාමයෝජනා අවලංගු කර නව නාමයෝජනා කැඳවීම සඳහා විශේෂ පනත් කෙටුම්පත සකස් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වීමත්, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුකූලව   වත්මන් රජය ඊට අදාළ විශේෂ විධාන පනත සම්මත කරගැනීමත්, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය අරමුදල් ලැබීමත් සමඟ මෙවර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

ඒ අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා බිලියන 11ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

එමෙන් ම මෙවර පළාත් පාලන මැතිවණරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව ද ඉකුත් මහ මැතිවරණයට සාපෙක්ෂව 155,976 කින් වැඩි වී තිබෙනවා.

මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන මොනවා ද?

2025 පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා 28ක්, නගර සභා 36ක් ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු සමස්ත පළාත් පාලන ආයතන 339ක් සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති ඇතුළු සභිකයින් තෝරා පත්කරගැනීම සිදුවනවා.

මෙහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා අවසන් නිසාත්, සීමා නිර්ණය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කල්මුණේ මහ නගර සභාවට පවතින නිසාත් මෙවර, එම පළාත් පාලන ආයතන දෙක හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වෙනු ඇත.

ඇප තැන්පත් කිරීම සහ නාම යෝජනා භාර දීම

2017 අංක 16 දරණ පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුකූලව පසුගිය මාර්තු 3 වන දින පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා දැන්වීම් මැතිවරණ කොමිෂන් සභාව මඟින් පළ කරනු ලැබුවා.

නමුත් 2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ  නාමයෝජනා සම්බන්ධයෙන් පැවති නඩු 3ක් හේතුවෙන්   දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව, කිලිනොච්චිය පූනාකාරි ප්‍රාදේශීය සභාව යන ආයතන තුන සඳහා නාමයෝජනා කැඳවීම පසුගිය මාර්තු 3 වන දින සිදුනොකරන ලදී.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගරු අධිකරණයට මේ සම්බන්ධයෙන් මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසු එම නඩු ඉවත්කරගෙන දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව සහ කිලිනොච්චිය පූනාකාරි ප්‍රාදේශීය සභාව සඳහාත් නැවත පසුගිය මාර්තු 10 වන දින නාමයෝජනා කැඳවීම සිදුකරනු ලැබුවා.

ඒ අනුව පසුගිය මාර්තු 3 වන දින නාමයෝජනා දැන්වීම් නිකුත් කළ පළාත් පාළන ආයතන 336 සඳහා නාම යෝජනා භාර ගැනීම 2025 මාර්තු 17 වන දා සිට මාර්තු 19 වන දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සහ මාර්තු 20 වන දා දහවල් 12 දක්වා නාම යෝජනා භාර ගැනීමට නියමිත තිබෙනවා.

නාම යෝජනා සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට මාර්තු 3 වන දා සිට මාර්තු 19 වන දා දහවල් 12 දක්වා කාලය ලබා දී තිබූ අතර ඒ අනුව එය අදින් අවසන් වනවා.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසුගිය මාර්තු 12 වන දා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනු ලැබුවා.

එමෙන් ම පසුගිය මාර්තු 10 වන දින නාමයෝජනා කැඳවීමට දැන්වීම් නිකුත් කළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව, කිලිනොච්චිය පූනාකාරි ප්‍රාදේශීය සභාව සඳහා අදාළ නාම යෝජනා භාර ගැනීම මාර්තු 24, 25 සහ 26 වන දින පෙ. ව 8.30 සිට පස්වරු 4.15 දක්වා සහ මාර්තු 27 වන දා දහවල් 12 දක්වා සිදුවනවා.

2025 පළාත් පාලන ඡන්ද විමසීම කවදා ද?

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය කර නොමැත. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ නාම යෝජනා භාරගන්නා අවසාන දිනයේ සිට දින 35ක් හෝ උපරිම දින 49ක් අතර ඕනෑම දිනයකදී පළාත් පාලන ඡන්ද විමසීම අනිවාර්යෙන් පැවති යුතු බවයි.

2025.03..03 දින නාම යෝජනා කැඳවීමේ දැන්වීම් නිකුත් කළ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම 2025 මැයි මස 6 වන අඟහරුවාදා දින පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ.ඒල්.රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

ඒ අනුව මෙවර පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්දය භාවිතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය අංගයක් බැවින් පළාත් පාලන ආයතනයන්ගේ ප්‍රමුඛ කාර්යයන් වන ප්‍රාදේශීය සංවර්ධනයට අදාළ නීති සකස් කිරීම, සංවර්ධන සැලසුම් සකස් කිරීම, අයවැය සම්පාදනය මහජන උපයෝගිතා සේවාවන් පවත්වාගෙන යාම, මහජන සෞඛ්‍යාරක්ෂාව යන කාරණා පිළිබඳ නිසි අවබෝධයක් සහිත සුදුසු අපේක්ෂකයන් තෝරාපත් කර ගැනීම ඡන්ද දායකයන් ලෙස අපගේ ද වගකීමකි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *