අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය අදාළ කාලය තුළ කිසිඳු ලිංගික එක්වීමක් සිදුනොකළ බවට අධිකරණ වෛද්‍ය නිලධාරී පැවසුවා ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය මාර්තු 10 වන දා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් බරපතළ ලෙස ලිංගික හිංසනයට ලක් කිරීමේ ඛේදනීය පුවතක් වාර්තා වූ අතර එම සිදුවීම, කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් නැවතත් සමාජයේ කතාබහක් නිර්මාණය වීමට මුල් විය. එම මොහොතේ මෙරට වෛද්‍යවරු පවා එම සිදුවීමට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලමින් වැඩවර්ජනයන් පවා දියත් කරනු ලැබුවා.

එවැනි පසුබිමක් තුළ මෙම සිදුවීමට අදාළව ව්‍යාජ පුවත් එම සිදුවීම සිදු වූ කාලවකවානුවේ ද නිර්මාණය වූ අතර ඊයේ (28) දිනයේ ද එම සිදුවීමට අදාළ තවත් ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවති බැවින් ඒ සම්බන්ධයෙන්  අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“ අතවරයට ලක් වූ බව කියන වෛද්‍යවරිය අදාළ කාලය තුළ කිසිඳු ලිංගික එක්වීමක් සිදුකර නෑ – අධිකරණ වෛද්‍ය නිලධාරී” යනුවෙන් සඳහන් කළ පොස්ට්ටුවක් සමාජ මාධ්‍ය  ඔස්සේ  පළ කර තිබුණේ මේ අයුරින්.

ඒ සමඟ ම පහත සමාජ මාධය සටහ ද පළ කර තිබුණා.

“GMOA එකෙ කුහකයො ටික නාහෙන් අඬන කොටම අපි කිව්ව නේ ස්ට්‍රයික් කරල ආන්ඩුව මුල්ලට කරන්න ඔන කමට ගහන ගේමක් කියල..

සැක කරය අඳුන ගන්න උසාවියට එන්න බැරි

අතවරයෙන් පස්සෙ නාලා ඇඳුම් ටිකත් පුච්චල දැම්ම දොස්තර බබා පව්…

මේ වගෙ කුමන්ත්‍රණ ගැන හොද අවදානෙන් ඉන්න ඔන අනුර සහොදරය”

ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික හිංසනයට ලක්වීමේ සිදුවීම සිතා මතා දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් නිර්මාණය කළ සිදුවීමක් බවට ඇඟවීමට උත්සහ ගෙන ඇති බව පෙනී යනවා. 

කෙසේ වෙතත් අප මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අයුරින් අතවරයට ලක් වූ බව කියන වෛද්‍යවරිය අදාළ සිදුවීම සිදු වූ බව කියන කාලය තුළ කිසිඳු ලිංගික එක් වීමක් සිදු වී නොමැති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අධිකරණයේ ප්‍රකාශ කිරීමක් සිදුකර තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය මාර්තු 10 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි වෛද්‍යවරියක බරපතළ අපයෝජනයට ලක් කිරීමේ මෙම සිදුවීම මෙරට මාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් ලෙසා වාර්තා වූ අතර ඉන් පසුව ද ඊට අදාළ පුවත් සහ එහි සැකකරු සම්බන්ධව පුවත් මේ වන තෙක් මාධ්‍ය තුළ වාර්තා කරනු ලැබුවා.

එබැවින් මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අයුරින් අතවරයට ලක් වූ බව කියන වෛද්‍යවරියට අදාළ කාලය තුළ කිසිඳු ලිංගික එක්වීමක් සිදුවී නොමැති බවට අධිකරණ වෛද්‍යවරයා පැවසූ බවට පුවතක් වාර්තා කර තිබේද යන්න සම්බන්ධයෙන් ද අප පරීක්ෂා කිරීමක් සිදුකළා.

නමුත් මෙරට කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් හරහා ඊයේ දිනයේ හෝ ඊට පෙර එවැනි පුවතක් වාර්තා කර තිබුණේ නෑ. 

නමුත් මෙම සිදුවීමට අදාළව ඊයේ (28) දිනයේ සියලුම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කළ පුවතක් වුණේ, මෙම සිදුවීමට මුහුණ දුන් පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් සැකකාර හිටපු යුද්ධ හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී පහසුවෙන් හඳුනා ගැනීමට සමත් වූ බවයි. ඒ සම්බන්ධ ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

ප්‍රධාන මාධ්‍ය තුළ ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අයුරින් පුවතක් වාර්තා වී නොතිබුණු බැවින් අප වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තහවුරු කරගැනීම සඳහා අනුරාධපුර අධිකරණ වාර්තාකරු සම්බන්ධ කරගනු ලැබුවා.

අනුරාධපුර අධිකරණ වාර්තාකරු

ඔහු අප වෙත පැවසුවේ ඊයේ දිනයේදී මෙම සිදුවීමට අදාළව හඳුනාගැනීමේ පෙරට්ටුව පැවති බවත් එහිදී වෛද්‍යවරිය විසින් සැකකරු හඳුනාගැනීම සිදුවූ බවත් ය. එනමුත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් එම වෛද්‍යවරිය අදාළ කාලය තුළ ලිංගික එක්වීමක් සිදුනොවූ බවට අධිකරණ වෛද්‍යවරයා විසින් කිසිඳු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකළ බව ඔහු තහවුරු කරනු ලැබුවා. සැකකරුවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළ බවත්, මෙය සම්පූර්ණයෙන් ම ව්‍යාජ පුවතක් බවයි ඔහු පවසන්නේ.

ලිංගික අපරාධයකට ලක්වූ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියගේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් BBC සිංහල විසින් සවිස්තරාත්මක වාර්තාකරණයක් සිදුකර තිබූ අතර එම වාර්තාකරණය තුළ ද අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් සමාජ මාධ්‍ය සටහනේ සඳහන් ආකාරයේ දැනුම්දීමක් අධිකරණයට සිදුකළ බවට වාර්තා කර තිබුණේ නෑ.

A5 News Sri Lanka

මෙම සමාජ මාධ්‍ය පොස්ට්ටුව A5 News Sri Lanka ෆේස් බුක් පිටුවේ පුවත් පළ කරන ආකෘතිය බැවින් අප එම ෆේස්බුක් පිටුව පරීක්ක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. 

ඒ අනුව එම ෆේස්බුක් පිටුව ඔස්සෙ සටහනක් තබමින් පරිශීලකයන් දැනුවත් කර තිබුණේ, A5 News මගින් පලකළ පුවතක් ලෙස හැඟෙන පරිදි ව්‍යාජ ලෙස සැකසූ පුවතක් කිසියම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරමින් සිටින බවයි. එම සමාජ මාධ්‍ය සටහන මෙතනින්. (Archive Link)

ඒ අනුව එම සමාජ මාධ්‍ය පෝස්ටුව A5 News මගින් පලකළ පුවතක් නොවන බව පැහැදිලි වනවා. 

සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය පැමිණිල්ල මගින් පොලිසීයට පැවසූ දේ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ අතර එහිදී වෛද්‍යවරිය අතවරයට ලක්වීමෙන් අනතුරුව පැවති අප්‍රසන්න භාවය නිසා තමා ස්නානය කළ බව සඳහන් කර තිබීම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව ඒ සම්බන්ධව නැවත විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. ඇතමුන් මෙය සාක්ෂි විනාශ කිරීමක් බවට ද අදහස් දක්වා තිබුණා. 

කෙසේ වෙතත් මාර්තු 17 පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවට පැමිණිලිකාර වෛද්‍යවරිය නොපැමිණීම මත එය ද කල් දැමීම සිදුවූ අතර නැවතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ මත පළ විය.

මෙම සියලු සිදුවීම් ද අලළා මෙම අසත්‍ය පුවත සමඟ පළ කළ සටහන මඟින් මෙය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) විසින් සිතාමතා නිර්මාණය කර එම අවස්ථාවේ වෛද්‍යවරු වර්ජනය කිරීමේ සිදුවීම ආණ්ඩුව වැට්ටවීම සඳහා කළ කුමන්ත්‍රණයක් බවට දක්වා තිබූ බැවින් මේ සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටුවේ සාමාජික වෛද්‍ය  පාලිත රාජපක්ෂගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටුවේ සාමාජික වෛද්‍ය  පාලිත රාජපක්ෂ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) වෙනුවෙන් අදහස් දක්වමින් පැවසුවේ, ආණ්ඩුවක් වැට්ටවීමට හෝ සෑදීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට අවශ්‍ය නොවන බවයි. වෛද්‍යවරියගේ ආත්ම ගරුත්වය වඩාත් වටින බැවින් ඇය වෙනුවෙන් වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙනී සිටින බව එම මහතා පවසනවා.

සහෝදර වෛද්‍යවරියකගේ ජීවිතය පාවාදීල, ඇයගේ චරිතය ඝාතනය කර ආණ්ඩුවක් වැට්ටවීමේ බාල, පටු අපේක්ෂාවන් නොමැති බව වෛද්‍ය  පාලිත රාජපක්ෂ පවසනවා. මෙවැනි අසත්‍ය පුවත්වල සත්‍ය ඉදිරියේදී අධිකරණයේදී නිවැරදි කරුණු සමඟ ඔප්පු වේ යැයි ඔහු වැඩිදුරටත් පවසනවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අතවරයට ලක් වූ බව කියන වෛද්‍යවරිය අදාළ කාලය තුළ කිසිඳු ලිංගික එක්වීමක් සිදුකර නොමැති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පැවසූ බවට වන පුවත් අසත්‍ය බව තහවුරු වනවා. 

මෙතෙක් අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් එවැනි වාර්තාවක් මෙම සිදුවීමට අදාළව අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර A5 News මගින් පලකළ පුවතක් ලෙස හැඟෙන පරිදි ව්‍යාජ ලෙස සැකසූ පුවතක් බව පැහැදිලිවනවා.

Avatar

Title:අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය අදාළ කාලය තුළ කිසිඳු ලිංගික එක්වීමක් සිදුනොකළ බවට අධිකරණ වෛද්‍ය නිලධාරී පැවසුවා ද?

Written By: Piumika Lakshani  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *