දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා මුදල් ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයෙන් අසත්‍ය තොරතුරු පැතිර පවතිනවා. ඒ බොහෝමයක් තොරතුරු නොදැනුවත්භාවය මත සිදුවන අසත්‍ය තොරතුරු වේ. මේ සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක් වූ තවත් කරුණක් පිළිබඳ අප සිදු කරනු ලබන පැහැදිලි කිරීමක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
DFCC ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින්(ATM) වෙනත් බැංකුවකට අයත් මුදල් බැංකු කාඩ් පතකින් මුදල් ගැනීමේදී රු. 800 මුදලක් කපා ගන්නා බවට සඳහන් කරමින් සටහනක් සංසරණය වුණා.
මේ සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.
මේ ගැන කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
කිසියම් බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් හරහා, වෙනත් බැංකුවකට අයත් මුදල් බැංකු කාඩ් පතක් මගින් මුදල් ගැනීමේදී සාමාන්‍යයෙන් රු.25-රු.30 වැනි මුදලක් අය කර ගැනීමක් සිදුවනවා.
මේ පිළිබඳව පරීක්ෂා කිරීමට අප ද, DFCC, ATM යන්ත්‍රයක් හරහා වෙනත් පුද්ගලික බැංකු දෙකකට අයත් කාඩ්පතකින් මුදල් ලබා ගැනීමක් සිදුකළ අතර එහිදී ද, ගාස්තුව අය කරනු ලැබුවේ රු.30ක් පමණක් බව නිරීක්ෂණය විය.
DFCC බැංකුව
නමුත් ඉහත ආකාරයෙන් රු.800ක පමණ මුදලක්, එක් මුදල් ගැනීමේ ගනුදෙනුවක දී අය කර ගන්නා බව දක්වා තිබීම විමතියට කරුණක් බැවින් අප මේ පිළිබඳව DFCC බැංකුවේ පාරිභෝගික අංශයෙන් විමසා සිටියා.
ඔවුන් සඳහන් කළේ, සිය DFCC බැංකුවට අයත් ATM යන්ත්‍රයකින්, වෙනත් බැංකුවකට අයත් බැංකු කාඩ් පතකින් මුදල් ගැනීමේදී Lanka Pay ආයතනයේ ලියාපදිංචි වී ඇති බැංකුවලට රු.25 – 30ක ගාස්තුවක් අය කෙරෙන බවත්, එලෙසින් ලියාපදිංචි වී නොමැති බැංකු හෝ මුල්‍ය ආයතන සඳහා ඇතැම් අවස්ථාවල දී රු.800ක වැනි මුදලක් අය කෙරෙන බවයි.
ඒ අනුව LOLC Mastercard සඳහා මේ ආකාරයේ රු. 800 වැනි මුදලක් අය විය හැකි බව ඔවුන් සඳහන් කළා.කෙසේ වෙතත් ඒ පිළිබඳ පාරිභෝගිකයන්ට මුදල් ගැනීමට පෙර ATM යන්ත්රයයේ ද, පණිවිඩයක් මාර්ගයෙන් දැනුවත් කෙරෙන බවත් ඔවුන් පවසා සිටියා.
මේ පිළිබඳ අප තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන LOLC ෆයිනෑන්ස් වෙතින් විමසීමක් කළා.
LOLC Finance
ඔවුන් පවසා සිටියේ, LOLC ෆයිනෑන්ස් යටතේ චිප් එකක් ඇති සහ චිප් නොමැති ඩෙබිට් කාර්ඩ් වර්ග දෙකක් ඇති බවත්, ඉන් 4100 යන අංක වලින් ඇති චිප් නොමැති බැංකු කාඩ්පතක් LOLC ආයතනය මගින් මුලින් හඳුන්වා දුන් බවත්, මේ හේතුවෙන් චිප් නොමැති මුදල් බැංකු කාඩ්පතක් හේතුවෙන් එය DFCC ATM යන්ත්‍රයේ විදේශීය මුදල් බැංකු කාඩ්පතක් ලෙස හඳුනා ගැනීම මත මෙලෙසින් රු.800ක පමණ මුදලක් කපා ගන්නා බවයි. නමුත් අනෙක් බැංකු වලට අයත් ATM යන්ත්‍රවල මෙම ගැටලුව නොමැති බවත් LOLC සමාගම සඳහන් කළා.
LOLC චිප් නොමැති බැරපතකින් හෝ DFCC ATM යන්ත්‍රය හරහා මුදල් ගැනීමේදී මෙපමණ ඉහළ මුදලක් අය කර ගන්නා බව මුදල් ගැනීමට පෙර දන්වන අතර පාරිභෝගිකයාගේ නොදැනුවත් කමින් මේ සඳහා අනුමැතිය(ගනුදෙනුව සම්පූර්ණ කිරීමට YES ලෙස ලබා දීම) ලබා දීම මත මෙම මුදල කපා ගන්නා බවත් ඔවුන් පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් ගනුදෙනුකරුගේ නොදැනුවත්කම මත සිදුවන හෙයින් මේ සඳහා LOLC ආයතනය මගින් එම කාඩ්පත් හිමි ගනුදෙනුකරුට මුදල් ආපසු ලබා දීමේ ක්‍රියාවලියක්(chargeback process) හඳුන්වා දී ඇති අතර මේ පිළිබඳ LOLC මූල්‍ය ආයතනයට දැන්වීමෙන් පසු ඒ සඳහා සිදුකරන ලබන ක්‍රියාවලියකින් පසු මුදල් ආපසු ගෙවීම සිදු කරනු ලැබේ.
අප මේ පිළිබඳ Lanka Pay ආයතනය මගින් ද, විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ මූල්‍ය ආයතන සම්බන්ධ තොරතුරු ලබා දිය නොහැකි බව ත්, අදාළ මූල්‍ය ආයතනය මගින් මෙම තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කළහොත් පමණක් තොරතුරු තහවුරු කිරීමක් සිදු කළ හැකි බවයි.
කෙසේ වෙතත් මහ බැංකුව මගින් ද 2020 අංක 01 දරන සාමාන්‍ය විධානය පොදු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ස්විචය හරහා සිදු කරන ලද ගනුදෙනු සඳහා අය කළ යුතු ගාස්තුව පිළිබඳ 2005 අංක 28 දරන ගෙවීම් සහ පියවීම් පද්ධති පනත, 2005 අංක 28 දරන ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 44 වන වගන්තිය යටතේ දක්වා තිබුණේ, ATM යන්ත්‍රයකින් මුදල් ගැනීමේදී අය විය යුතු ගාස්තුව උපරිමය රු.30කට යටත් වන බව ත්, ඊට වැඩි මුදලක් අය නොවන බව ත් ය. වැඩිදුර තොරතුරු මෙතනින්.
Also Read :
ඕනෑම බැංකු කාඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැත!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok