දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෝ කලක සිට හුවමාරු වන ඡායාරූප සටහනක් වන වෘකයන් සහ ඔවුන්ගේ රැළ බොහෝ සාකච්ඡාවල මාතෘකාවක් වී ඇත. විශේෂයෙන් මේ රැළෙහි නායකත්වය සම්බන්ධයෙන් මිනිසාට ද, ආදර්ශයක් ලෙස දක්වමින් මෙම සටහන් කලින් කලට හුවමාරු වුණා. මෙම ඡායාරූපය පිළිබඳ සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“වෘක රංචුවක අපූරු සැකැස්ම..” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ, කැනේඩියානු ඡායාරූප ශිල්පියකු වෘක රංචුවක සැකැස්මක් ඡායාරූප ගත කර ඇති අතර එය විශ්මයජනක ලෙස පවසමින් එම රැළ ගමන් කරන අනුපිළිවෙළ බවට දක්විමන් සටහන් කර තිබුණේ මේ අයුරින්.
රැලේ ඉදිරියෙන්ම ගමන් ගන්නේ මහල්ලන් ඔවුන් රෝගාතුරව සිටියත් ඉදිරියෙන්ම ගමන් ගන්නේ වේගය රදා පත්වාගන්නයි
ඊට පසුපසින් ගමන් කරන්නේ රැලේ ශක්තිවන්තම සතුන් 5දෙනා යම් ප්‍රහාරයකදී රැලේ ඉදිරි පෙළ ආරක්ෂා කරන්නේ ඔවුන්
ඔවුන්ට පසුපසින් ගමන් කරන්නේ ගැබ්බර ගැහැණු සතුන් සහ පැටවුන් ඔවුන් මුලුමනින්ම ආරක්ෂිතයි
ඊට පසුපසින් ගමන් ගන්නේ තරුණ වියේ ශක්තිවන්තම සතුන් 5ක් ඔවුන් පසුපෙළ ආරක්ෂා කරයි
අවසානයේ තනිව ගමන් කරන්නේ රැලේ නායකයා ඔහු කිසිවෙකුට අතරමන් වීමට ඉඩ නොදෙයි. සිය රංචුව ආරක්ෂිතව ගමනාන්තය කරා ගෙනයයි. ඕනෑම දිශාවකින් එන ප්‍රාහාරයකදී වහා දිවගොස් සිය රැල ආරක්ෂා කරයි යනුවෙන් මෙහි වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා. එම වීඩියෝව පහතින්.
මෙම තේමාවෙන් පළ වූ තව ත්, සමාජ මාධ්‍ය සටහනක් පහතින්.

ඉහත දක්වා ඇති සටනේ දැක්වෙන කරුණු වල නිර්වද්‍යතාව අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම ඡායාරූපය සම්බන්ධ සත්‍ය තොරතුරු සෙවීමට අප ප්‍රථමයෙන් ම Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී දැක ගැනීමට ලැබුණේ, මෙම ඡායාරූපය සම්බන්ධ විදේශීය සමාජ මාධ්‍ය පරිශීලකයින් අතරේ ඉහත තේමාවෙන් ම සටහන් පළ වී ඇති බවයි.

අප මේ පිළිබඳව කළ වැඩිදුර පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, 20111 වසරේදී Frozen Planet නම් වාර්තාමය චිත්‍රපටයක මෙම ඡායාරූප පළ වී ඇති බව ත්, මේ ඡායාරූපය සම්බන්ධයෙන් එහි පළ වී ඇත්තේ “ඇල්ෆා ගැහැණු” (alpha female)රැළට නායකත්වය දුන් බවත්, ඉතිරි වෘකයන් ශක්තිය ඉතිරි කර ගැනීම සඳහා ඇගේ මාර්ග අනුගමනය කළ බවත් ය. මේ පිළබඳව The Guardian වෙබ් අඩවියේ සඳහන් වන්නේ, Chadden Hunter නමැති BBC ඡායාරූප ශිල්පියා විසින් මෙම අවස්ථාව ඡායාරූප ගත කර ඇති බවයි.

උතුරු කැනඩාවේ ආක්ටික් කවයේ දඩයම් කරන timberwolves 25 දෙනෙකුගෙන් යුත් දැවැන්ත රැළක් මෙම ඡායාරූපයේ පෙන්නුම් කෙරෙන බව ත්, මොවුන් ගමන් කරන්නේ වුඩ් බෆලෝ ජාතික වනෝද්‍යානයේ ශීත ඍතුවේ මැද භාගයේදී උෂ්ණත්වය -40°C පමණ වන වටපිටාවක බව ත් ය. ඇල්ෆා ගැහැණු සතා විසින් මෙහෙයවන ලද මෙම වෘක රැළ, ශක්තිය ඉතිරි කර ගැනීම සඳහා ගැඹුරු හිම හරහා තනි රැළක් සේ ගමන් කරන බව ත්, මෙම ජාතික වනෝද්‍යානයේ වෘක රැළ ඔවුන්ගේ ප්‍රමාණයෙන් දස ගුණයකින් බයිසන් දඩයම් කිරීමේ විශේෂඥයින් වන ලෝකයේ එකම වෘකයන් වන බව ත් ඔවුන් පෘථිවියේ විශාලතම සහ බලවත්ම වෘකයන් බවට පත්ව ඇති බව ත්, මෙහි වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව මෙහි පැහැදිලි වන්නේ, මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ඇල්ෆා ගැහැණු කණ්ඩායම විසින් බවත් දුර්වලම සාමාජිකයින් විසින් නොවන බවත්ය.
විශේෂයෙන් ශීත ඍතුවේ දී වෘකයන් ආහාර දාමයේ ඉහළ මට්ටමක සිටින අතර විලෝපිකයන් ස්වල්පයක් හෝ නොමැති බැවින් නායකයා රැළ ආරක්ෂා කිරීම සඳහා රැළේ පිටුපස රැඳී සිටින බවට ඇතැම් මත පෙන්ව දේ. කෙසේ වෙතත් ඇල්ෆා පිරිමි / ගැහැණු යන පදය මතභේදාත්මක වුවද, බොහෝ විට ගැඹුරු හිම හරහා වෘකයන් ගමන් කරන විට තනි ගොනුවකින් රැළ මෙහෙයවන්නේ ශක්තිමත් වෘකයෙකු බව ඇතැම් ලිපි වලින් සනාථ වේ. ඒ ආකාරයෙන් පළ වූ ලිපි මෙතනින් සහ මෙතනින්.
ස්වභාවික වෘක රංචුවල, නායකත්වය සාමාන්‍යයෙන් දරනු ලබන්නේ අභිජනන යුගලය වන දෙමාපියන් විසින් වන අතර ඔවුන් අත්දැකීම් සහ සහයෝගීතාවය තුළින් රැළට මඟ පෙන්වයි. මෙම ව්‍යුහය ආධිපත්‍ය ධූරාවලියකට වඩා පවුල් ඒකකයකට සමාන බව ඇතැම් පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙලෙසින්.
1970 ගණන්වල “ඇල්ෆා” යන පදය නිර්මාණය කළ ජීව විද්‍යාඥ ඩේවිඩ් මෙක් Live Science හි පැහැදිලි කර ඇත්තේ, වල් වෘක රැළ පවුල් මෙන් ක්‍රියා කරන බවත්, අභිජනන යුගලය කණ්ඩායමට නායකත්වය දෙන බවත්ය.
ඒ අනුව තව දුරටත් පැහැදිලි වන්නේ, වයස්ගතම හෝ දුර්වලම වෘකයන් රැළට නායකත්වය දෙන බවට ඇති අදහස අසත්‍ය වන අතර වෘක රැළක් මෙහෙයවනු ලබන්නේ අභිජනන යුගලය විසින් වන අතර, රැළේ ව්‍යුහය සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහයෝගය අවධාරණය කරයි. වැඩිහිටි හෝ දුර්වල වෘකයන් රැළ විසින් රැකබලා ගනු ලැබේ. නමුත් නායකත්ව භූමිකාවන් භාර නොගනී.
මේ සම්බන්ධයෙන් Snopes ජාත්‍යන්තර කරුණු විමර්ශන වාර්තාව පළ කර තිබුණේ මේ අයුරින්.
Also Read : According To This Viral Post, The Weakest Wolves Lead Their Pack. Here’s The Truth
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Title:දුර්වලම වෘකයන් රැළට නායකත්වයට දෙන බවට පළවන ඡායාරූප සටහනේ ඇත්ත!
Fact Check By: Pavithra SandamaliResult: Misleading
