
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මහා මාර්ගයක ධාවනය වන බස් රථයක් විසින් යතුරුපැදියක් ඇදගෙන යන ආකාරය සහ බස් රථය ඉදිරිපස කොටසට යට වී යතුරුපැදිය පෙරළී ඇති ආකාරය නිරීක්ෂණ වන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වී තිබුණා. වීඩියෝවේ නිරීක්ෂණය වන ආකාරය අනුව බස් රථ රියදුරු විසින් යතුරුපැදිකරුවන් අනතුරට ලක්කර ඇති බවට බොහෝ දෙනා වටහා ගෙන තිබීම මත අප විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් වන කරුණු පැහැදිලි කිරීමේ වාර්තාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
“බයික් එකත් තල්ලු කරගෙනම නවත්තන්නේ නැතිව පැනලා යන්න හදපු බස් එක” යනුවෙන් දක්වමින් අදාළ වීඩියෝව සමාජ මාධ්‍යය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින්ම පුවත අසත්‍යයක් ලෙස අදහස් දක්වා තිබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අප විසින් කටයුතු කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :
අප විසින් සිදුකළ පරීක්ෂාවේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉහත වීඩියෝවේ මුල් වීඩියෝව සොයා ගැනීමට හැකි වුණා. එහි දක්වා ඇත්තේ, “බයික් ඇදන් යන බස්. මේකෙ මුල ටික Video එකේ නැති බව සලකන්න. බයික් එකේ දෙන්නා බස් එකේ ඉන්නවා. එයාලා ඇතුලේ ගහගන්නවා” යනුවෙනි.
අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තාකර ඇත්ද යන පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් අදාළ වීඩියෝව “බස් එකට ගොඩ වුණු චන්ඩින්ගෙන් ඩ්‍රයිවර්ට ගුටි පූජාවක්. බස් එක බයික් එකකුත් ඇදගෙන කිලෝමීටරයක් දුර ගිය හැටි” යනුවෙන් දක්වමින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
ශ්‍රී ලංකා පොලීසිය
ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් නිකුත් කර තිබුණා. ඒ හරහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙහි සත්‍ය සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කර තිබුණා.
ඒ අනුව 2026.06.10 වන දින සවස මාවනැල්ල ප්‍රදේශයේදී මෙම යතුරුපැදිකරු හා බස් රථ රියදුරු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් යතුරුපැදිකරු හා පසුපැදිකරු (යතුරුපැදියක පදවන තැනැත්තාට පිටුපස අසුනේ ගමන් කරන තැනැත්තා) සමඟ බස්රථය පසුපස හඹාවිත් කඩුගන්නාව පොලිස් වසමේ හේනාවල රෝහල ඉදිරිපිට මාර්ගයේදී බස් රථය හරස් කර යතුරුපැදිය නවතා බසයට නැග බස් රථ රියදුරුට පහරදීමට කටයුතු කර ඇත.
එම අවස්ථාවේ බස් රථ රියදුරු නොසන්සුන්ව බස් රථය ඉදිරියට ධාවනය කිරීමට කටයුතු කිරීමේදී බස් රථයට යටවී යතුරුපැදිය අනතුරට ලක්වී ඇත. කඩුගන්නාව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධව දැනුවත් වීමෙන් එදින රාත්‍රියේම අදාළ යතුරුපැදිකරු හා පසුපැදිකරු යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑමට ලක්වූ රියදුරුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ. සැකකාර යතුරුපැදිකරු සහ පසුපැදිකරු මහනුවර ජාතික රෝහලේදී මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට ලක්කිරීමෙන් අනතුරුව අදිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම සටහන ඔස්සේ දක්වා ඇත. එම සම්පූර්ණ සටහන මෙතනින්.
කඩුගන්නාව පොලීසිය
මෙම යතුරුපැදිකරුවන් දෙදෙනා විසින් බස් රථ රියදුරුට පහර වීමට තැත් කිරීමේ හේතුව කුමක්ද යන්න පැහැදිලි නැති බැවින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා අප විසින් කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු විසින් සඳහන් කළේ, මාර්ගයේ ගමන් කිරීමේදී අදාළ බස් රථය ඇගට කපා ගෙන ගිය බව පවසමින් මෙම යතුරුපැදිකරුවන් විසින් අදාළ බස් රථය හඹා ගොස් යතුරුපැදිය බස් රථය ඉදිරියෙන් නවත්වා බසයට නැග රියදුරුට පහර දීමට කටයුතු කර ඇති බවයි. එම අවස්ථාවේ බස් රථ රියදුරු විසින් බසය දිගටම ධාවනය කිරීම නිසා, මෙලෙස යතුරුපැදිය බසය සමග ඇදී ගොස් ඇති බව ඔහු සඳහන් කළා.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
මේ සම්බන්ධයෙන් අප විසින් සිදුකළ විමසීමේදී, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින්ද සඳහන් කළේ, අදාල බස් රථය මාර්ගයේදී ඇඟට කපාගෙන ගිය බව පවසමින් මෙම යතුරු පදිකරුවන් විසින් මෙලෙස බසයට නැඟ පහර දීමට කටයුතු කර ඇති බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


