Fact Check : ගොවීන් වස දීම නිසා ලංකාවේ මොනරුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබුණාද?

Partly False Social

මොනරා ලංකාවේ ජීවත්වෙන විශාල පක්ෂියෙකි. මෑත කාලයේ දී දිවයින පුරා ඔවුන් ව්‍යාප්තව සිටින බවක් නිරීක්ෂණය වී ඇත. කොළඹ ආසන්නයේද මොනරුන් කිහිප අවස්ථාවකදීම දක්නට ලැබී ඇත. කතරගම දෙවි දෙවියන්ගේ ආසනය ලෙස ද මොනරා සලකන බැවින් මොණරාට සංස්කෘතික අතින් ද ලංකාවේ වැදගත්කමක් ඇත.

වියළි කලාපයේ ගොවීන් බොහෝ විට මැසිවිලි නගන්නේ මොනරුන් රංචු පිටින් පැමිණ තමන්ගේ වගාවන් විනාශ කරන බවටය. ගොයම් පැහෙන කලට මොණරුන් රංචු පිටින් කුඹුරුවලට පැමිණ සිටින අයුරු දැන් සුලබ දර්ශනයකි. මොනරුන් රංචු පිටින් පැමිණ තම කුරක්කන් වගාව විනාශ කරනවා බලා සිටීමට අපොහොසත් වූ ගොවියෙකු දිවිනසාගත් බවට ද මෙම වසර ඇරඹීමත් සමගම වාර්තා විය.

මේ අතරතුර ඔටුවන් දස දහසක් ජිවිතක්ෂයට පත් කිරීමට ඕස්ට්‍රේලියාවෙන් ගත් තීරණය ඇතුළත් වූ සටහන් සමාජ මාධ්‍ය ජාලා හරහා ශීඝ්‍රයෙන් හුවමාරුවීම නිරීක්ෂණය විය. පසුබිම මෙසේ තිබියදී Association of Veterinarians for Humane Management of Animal Population නැමැති ෆේස්බුක් පිටුවක “අහිංසක මොනරුන් වසදී මරා දැමීම තරයේ හෙලා දකිමු. අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ නම් පශුවෛද්‍යවරුන්ට මානුෂිකව සත්ත්ව ගහනයන් පාලනය කල හැකියි.” තේමාව යටතේ මියගිය මොනරුන් දක්වන සේයාරූ තුනක් සමග සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ප්‍රතිචාර-සටහන් රැසක් සමග මේ පුවතය සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වීම ආරම්භ කර තිබුණේය. මේ සමගම “නාකිවිසේ” නමැති ෆේස්බුක් පිටුවක මේ හා සමාන සේයාරූ කිහිපයක් සහිතව “මෙයාව වස දීලා මරලා තියෙන්නේ. ගොවිතැන විනාශ කරනවා කියලා. කෝ අර වතුර බිව්වා කියලා ඔටුවෝ 10,000ක් මරපු එකට දුක්වුණු ශ්‍රී ලාංකික පුරවැසියෝ..” යනුවෙන් කථාංශයක් අන්තර්ගත කර තිබුණේය. පක්ෂ-විපක්ෂ ප්‍රතිචාර සටහන් රැසක් සමග මෙම සටහන ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර විශාල ලෙස හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. 

Link1Link2
Archived Link1Archived Link2

මොනරුන් ඝාතනය කිරීම පිළිබඳව පක්ෂව සහ විපක්ෂව අදහස් දක්වමින් විවාදාත්මක සංවාදයක් ඇරඹී තිබීම කරණ කොටගෙන මෙලෙසින් විශාල වශයෙන් හුවමාරුවන ෆේස්බුක් සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍යය කරුණු විමර්ශනය)

මෙම ඡායාරූප සමීපව පරීක්ෂා කිරීමේදී මොනරුන් විශාල ප්‍රමාණයක් මියැදි සිටි ඡායාරූපය ලංකාවේ එකක් දැයි සැක පහළ වීම නිසා ඒ පිළිබඳව අප Google Reverse Image සෙවීමක් කළෙමු. එහිදී එම ඡායාරූපය රැගත් වාර්තා කිහිපයක් අපට නිරීක්ෂණය විය.

Google Reverse Image Link

මෙම වාර්තා දෙකම පවසා තිබුනේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුදුචෙරි අසල කොන්ඩලන්කුප්පම් ග්‍රාමයේ 2017 වසරේදී වගා භූමියක මියගොස් සිටි මොනරුන් විසි දෙනකුගේ මළ මළසිරුරු හමු වූ බවත්, ගොවියන් විසින් භාවිතා කළ පළිබෝධනාශක මෙම මොනරුන් මියයාමට හේතුව බවටත්ය. එබැවින් මෙම ඡායාරූපය ඇතුළත්  මොනර ඝාතනය සිදුවී ඇත්තේ ලංකාවේ නොව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ බව තහවුරු විය.

LinkArchived Link

සංවාදාත්මක ප්‍රතිචාර සටහන් පරික්ෂා කිරීමේදී මෙම මෙම සටහන් වලට පාදකවු සටහනක් නිරීක්ෂණය විය. ලොව සුපතළ පක්ෂි විශේෂඥයකු (ornithologist) වන කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය සරත් කොටගම මහතා “මොනර ගහනය වැඩිවීම තර්ජනයක් නම් හොඳම විසඳුම මරණ එක තමයි” යනුවෙන් දිනපතා පුවත්පතකට කළ ප්‍රකාශයක් නිරීක්ෂණය විය. පරිසර විපර්යාසය සහ නරියන් වැලි විලෝපිකයින් අඩුවීම හේතුකොටගෙන මොනර ගහනය වැඩි වී ඇති බවට අදහස් දක්වන මහාචාර්ය වරයා මේ පිළිබඳව නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැති වුවත් මොනර ගහණය වැඩි නම් ඔවුන් මරණයට පත් කරාට වරදක් නොමැති බව අඩංගු එම වාර්තාව පහතින්.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු තහවුරු කරගැනීම සඳහා අපි මහාචාර්ය සරත් කොටගම මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමු. මහාචාර්ය සරත් කොටගම මහතා පවසා සිටියේ පුවත්පත ඔහුගෙන් විමසූයේ ඕස්ට්‍රේලියාවේ ඔටුවන් ඝාතනය කිරීම පිළිබඳ බවත්, ඔහුගේ පිළිතුර විකෘති කොට එය මොනරුන්ට සම්බන්ධ කර ඇති බව පැවසීය. මොනර ගහනය වැඩිවීම පාලනය කර ගැනීම සඳහා ඔවුන් මරාදැමීමට ලංකාවේ මේ තාක් කල් සිදු නොවූ බවත්, ගොවීන් වසදී මොණරුන් මරා දැමීම පිළිබඳව විවිධාකාර කතා පැතිර ගියද තවමත් ඒ පිළිබඳව නිශ්චිත සාක්ෂි ලැබී නොමැති බව පැවසීය.  ආරක්ෂිත සතෙක් වන මොණරා මරා දැමීම පිළිබඳව තීරණයක් ගත හැක්කේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව බව පැවසීය. මොනර ගහනය පිළිබඳව සමීක්ෂණයක් කර ඔවුන් වර්ධනය වී ඇත්නම් එම සාක්ෂි පදනම් කරගෙන තීරණයක් ගත හැකි බව පෙන්වා දුන්නේය. මූලික පලිබෝධ ක්‍රමවේදයක් අධ්‍යයනයක් තුළින් හඳුන්වා ආක්‍රමණශීලී සත්ත්වයින් මෙන්ම ශාක ඉවත් කිරීමේ තීරණයක් ගත යුතු බවට මහාචාර්ය සරත් කොටගම මහතා අවධාරණය කළේය.

Association of Veterinarians for Humane Management of Animal Population ෆේස්බුක් පිටුවේ සටහනට වූ ප්‍රතිචාරයකට පිළිතුරු වශයෙන් එම ‍ෆේස් බුක් පිටුවේ කර්‍තෘ කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ මොනරුන්ට වස දී ඝාතනය කර ඇති බවට සඳහන් කිරීම නිසා එම කරුණු සනාථ කර ගනු වස් අපි කුරුණෑගල පහටි වයඹ පළාතේ සහකාර වනජීවී අධ්‍යක්ෂ කාර්යාලය හා දුරකථනයෙන් සම්බන්ධ වීමු. එවැනි සිදුවීමක් පිළිබඳව ඔවුන්ට වාර්තා වී නොමැති බව අවධාරණය කළේය.

තවද එම සටහනට අදාළ අනෙකුත් ඡායාරූප 2018 නොවැම්බර් මස Prabath Nadeera Rajapaksha නැමැත්තෙකු පළකර තිබු සටහනක දක්වා තිබුනේ මෙලෙසිනි. එම ඡායාරූප පෙළ සමඟ තිබු සටහනින් කොටසක දක්වා තිබුනේ “…කුඹුරේ සිටි ගොවීන්ගේ විමසීමේදී ඔවුන් සදහන් කලේ මොනරුන්ගෙන් වන වගා හානී අවම කිරීම පිණිස ඇතැම් ගොවීන් කුඹුරට වී වැපිරීමේදී ඒවාට කුරේට හෝ එවැනි අධි අන්තරාදායක කෘමිනාශක කලවම් කරමින් යොදන බවයි. තවත් සමහරෙකුගේ අදහස වූයේ කුඹුරු සදහා කෘමිනාශක යෙදු පසු කුඹුරු වල සිටින කෘමි සතුන් හා කුඩා සතුන් මොනරුන් විසින් ආහාරයට ගැනීමෙන් මෙම උපද්‍රවයට ලක්වන බවයි” යනුවෙනි.

Complete PostArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශණයෙන් තහවුරු “මේ අහිංසක සත්තුත් ජිවත් වෙන්න ආසයි..පිටරටක නෙවේ ලංකාවේ..” යන තේමාව යටතේ පළවු සටහනේ ඇති සේයාරුවේ දක්වන මොනර ඝාතනය සිදුවී ඇත්තේ ඉන්දියාවේ බවය. තවද 2018 වසරේ සිදුවු සිද්ධියක් ආශ්‍රිත ඡායාරූප පෙළක්ද මේ සඳහා යොදගෙන ඇත. ආරක්ෂිත පක්ෂි විශේෂයක් වන මොනරුන් සිදු කරන වගා කරන හානිය නිසා මහා පරිමානයෙන් මරා දැමීම මේ වනතෙක් දිවයිනේ සිදු නොවී ඇති බවද අනාවරනය විය. එම කරුණු පිළිබඳව නිසි අධ්‍යයනයක් පවා කර නොමැති බව අනාවරණය වූ අතර ගොවියන් වස දී මොණරුන් මරා දැමීම පිළිබඳව වක්‍රාකාරව ප්‍රවෘත්ති පැතිර ඇතත් ඒ පිළිබඳව නිශ්චිත සාක්ෂි නොලැබී ඇති බව තහවුරු විය.

එනිසා ගොවීන් විසින් මොනරුන් වස දී මරා දමා ඇතැයි ෆේස්බුක් පිටුවල පලවන සටහන් සියල්ලම 2018 වසරේ සිද්ධියක් සහ ඉන්දියාවේ මොණර ඝාතනයක් සම්බන්ධ ඡායාරූප පෙළක් යොදා ගනිමින් සිදුකරන ලද නොමඟ යවන සුළු ප්‍රකාශ බව නිගමනය කරමු.

Avatar

Title:Fact Check : ගොවීන් වස දීම නිසා ලංකාවේ මොනරුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබුණාද?

Fact Check By: Sahan Perera 

Result: Partly False


1 thought on “Fact Check : ගොවීන් වස දීම නිසා ලංකාවේ මොනරුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබුණාද?

Leave a Reply