ගම්පොළ මළ සිරුරු දක්වමින් හුවමාරු වූ ඡායාරූප AI ඡායාරූපයක් නොවේ!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

‘දිත්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුකොට ගෙන මෙරටට සිදු වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, මේ වන විට(02) ආපදා මරණ 465 දක්වා ඉහළට ගොස් තිබේ. පුද්ගලයින් 366ක් අතුරුදන් වී ඇති අතර ඔවුන් සොයා පරීක්ෂාවන්, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදු කරේ. මෙලෙසින් හමුවන මළසිරුරු වල ඡායාරූප ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගන්නා ආකාරයක් දැක ගන්නට ලැබෙනවා. මෙවැනි එක් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වූ අතර මේ පිළිබඳ බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා. මේ ඒ පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Archived Link

මෙම ඡායාරූපය සත්‍ය අවස්ථාවක් නොවන බව ත්, කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවට බොහෝ දෙනෙක් සිය අදහස් දක්වා තිබුණා.

 

WhatsApp ඔස්සේ මෙම ඡායාරූපයේ නිරවද්‍යතාව විමසා බලන ලෙස පාඨක ඉල්ලීම් ද, ලැබුණා.

මේ හේතුවෙන් මෙහි සත්‍ය සොයා කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

‘දිට්වා’ සුළි කුණාටුව හමුවේ, මෙරටට ඇති වූ වැසි තත්ත්වයේදී ගංගා පිටාර ගැලීම්, ජල ගැලීම් සහ කඳු නාය යෑම් වැනි ස්වාභාවික විපත් රැසකට මුහුණ පෑමට මෙරට වැසියන්ට සිදුවුණා. මධ්‍යම කඳුකර ප්‍රදේශයවල විශාල හානියක් වූ අතර ගම්පොළ ප්‍රදේශයේ දී ගංවතුර තත්ත්වයට මුහුණ පෑ පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බව ත්, ඔවුන්ගේ මළ සිරුරු ගොඩ ගසා ඇති බවට දක්වා තිබූ ඡායාරූපයේ අස්වාභාවික තත්ත්වයක් දැක ගන්නට ලැබෙන බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් සඳහන් කර තිබීම නිසා මෙය කෘතිම බුද්ධිය(AI) ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් ද, යන්න අප පරීක්ෂා කිරීමට කටයුතු කළා.

නමුත් මෙම ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර නොමැති බව AI හඳුනා ගැනීමේ මෙවලම් වල ප්‍රතිඵල වල දැක්වුණේ මෙලෙසින්.

ඉහත ඡායාරූපය පිළිබඳ තව දුරටත් අප සිදු කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, මෙහි තව ත් ඡායාරූප අවස්ථාවක් TikTok ඔස්සේ හුවමාරු වී තිබූ බවයි.

TikTok

ඉහත බහුලව සංසරණය වී තිබූ පළමු ඡායාරූපයේ පසුබිම සිටින පුද්ගලයන් ඉහත දෙවන ඡායාරූපයේ ද, දැක ගන්නට ලැබේ.

එමෙන් ම රතු සහ නිල් පැහැයෙන් යුත් කමිසය ඇඳ සිටින පුද්ගලයා සම්බන්ධ ගම්පොළ Keells එකේ පිටුපස ඇති නිවෙස් ජලයට යට වන බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර පුද්ගලයා බවට ද, දැක ගන්නට ලැබේ. එම වීඩියෝව මෙතනින්.

මේ පිළිබඳ දමිළ මාධ්‍ය සමාජ මාධ්‍ය සටහනක් ද, මෙලෙසින් පළ වී තිබූ අතර අප ඒ ඔස්සේ ඉහත අවස්ථාවේ රැඳී උන් පුද්ගලයෙකු දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ඇසින් දුටු සාක්ෂිකරුවන්

ශිරාස් හසන් නමැති එම පුද්ගලයා සඳහන් කළේ, මෙය කෘතිම බුද්ධිය ඔස්සේ හෝ වෙනත් ආකාරයෙන් සංස්කරණය කළ ඡායාරූපයක් නොවන බව ත්, ගම්පොළ Keells සුපිරි වෙළඳසැල පිටුපස ඇති නිවාස සංකීර්ණයට (house scheme)  පැමිණි ගංවතුර තත්ත්වයක් මත නිවසක සිරවී ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ සාමාජිකයන්ගේ මළසිරුරු බවයි.

විශ්‍රාමික පොලිස් නිලධාරිනියකගේ නිවසක් වන එම නිවස පහළ බෑවුමක පිහිටා ඇති අතර ගං වතුර මදක් පැමිණි විට මහල් තුනකින් සමන්විත අසල්වාසී නිවසකින් එම නිවසට පැමිණෙන ලෙස ජීවිතක්ෂයට පත් වූ පවුලේ සාමාජිකයන්ට දැනුම් දුන්නත් ඔවුන් පැමිණ නොමැති අතර ගං වතුර පහව ගිය පසු එම නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී විශ්‍රාමික පොලින් නිලධාරිනි ඇතුළු එම පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු මිය ගොස් සිටි බවත්, එම විශ්‍රාමික පොලිස් නිලධාරිනියගේ මළ සිරුර එම අවස්ථාවේ හමු නොවූ බව ත්ය. එම නිවසේ සුනඛයාද මියගොස් සිටි අතර මළ සිරුරු නිවසින් පිටතට ගත් අවස්ථාවේ ඡායාරූපයක් මෙලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති අතර පසුව එය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවට බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බව ත්, ඔහු සඳහන් කළා.

එමෙන් ම ෆයිරූස් මොහොමඩ් නමැති ඉහත ඡායාරූපයේ දැක ගන්නට ලැබෙන පුද්ගලයා ද, අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු පැවසුවේ, තම අසල්වාසියෙකු වන විශ්‍රාමික පොලිස් නිලධාරි කාන්තාවකගේ පවුලේ සාමාජිකයන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා මෙලෙස ජීවිතක්ෂයට පත් වූ අතර ජලය පිරී තිබූ එම නිවසින් ඔවුන්ව පිටතට ගත් අවස්ථාවේ කවුරුන් හෝ ගනු ලැබූ ඡායාරූපයක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති බවයි.

ගම්පොළ පොලිස් ස්ථානාධිපති

අප මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා ගම්පොළ පොලිස් ස්ථානාධිපතිගෙන් විමසීමක් කළ අතර ඔහු තහවුරු කළේ ද, Keells සුපිරි වෙළඳසැල පිටුපස ඇති නිවාස පෙළහිජීවත් වූ විශ්‍රාමික පොලිස් නිලධාරිනියකගේ නිවසේ සාමාජිකයන් මෙලෙසින් මිය ගිය බව ත්, එම පොලිස් නිලධාරිනිය ඇතුළු සාමාජිකයන් ඊයේ(1) දින භූමදානය කළ බවයි.


Update: 12/04/25මෙම ස්ථානයේ නායයෑම සහ මෙම මළ සිරුරු ඉවත් කිරීම පිළිබඳ Sky News වාර්තා කර තිබුණේ මේ අයුරින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගම්පොළ ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පසු මළ සිරුරු ගොඩ ගසා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් දැක්වූ අදහස් අසත්‍ය බවයි. මෙය ගම්පොළ Keells සුපිරි වෙළඳසැල පිටුපස ඇති නිවාස පෙළට ගැලූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවසක සිරවී මියගිය එකම පවුලේ සාමාජිකයන්ගේ මළ සිරුරු වේ.

 

Avatar

Title:ගම්පොළ මළ සිරුරු දක්වමින් හුවමාරු වූ ඡායාරූප AI ඡායාරූපයක් නොවේ!

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *