2025 වසරේදී දූෂණය අතින් ශ්‍රී ලංකාව තවත් පහලට වැටිලා ද ?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

World Economics ආයතනය විසින් මෑතක දී පලකරන ලද අදාල දූෂණ සංජානන වාර්තාවක් බව දක්වමින්, දූෂණයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් ඇති බව දක්වමින් බලයට පැමිණි රජයක් යටතේ ද 2025 දූෂණ දර්ශකයට (Corruption Perceptions Index) අනුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ලකුණු 24.7 ක් වැනි ඉතාම අඩු අගයක් බව හඟවමින් සමාජ මාධ්‍ය පුරා කතාබහක් ඇති වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“2025 World Economics Corruption Index හි අලුත්ම වාර්තාවට අනුව අපිට 24.7/100 (Distinction නෙවෙයි හොඳේ, ‘D’ කියන්නේ අන්තිම අඩිය. ( 2024 32/100% තිබ්බ අගය මේ අවුරැද්දේ 24.7% ට බැස ඇත).අන්ත දූශිතයැයි පවසන රාජපක්ශ සමයේ ලංකාව ලෝකයේ දූශනය අවම රටවල් අතර 87 වන ස්ථානයේ පැවති අතර වර්ථමානයේ 121 වෙනි ස්ථානයේ පසුවෙයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පල වී තිබුණා.

Facebook | Archived Link Facebook

මේ ආකරයෙන් පළවූ තවත් සටහන් පෙළක් පහතින්.

Facebook  X X

2024 වර්ෂයේදී ගෝලීය දූෂණ වාර්තාවට අනුව 32% වූ ශ්‍රී ලංකාව 2025 වාර්තාවට අනුව 24.7% දක්වා පහත වැටී ඇති බවටත්, ඒ අනුව ශ්‍රී ලංකාව දූෂණ විරෝධී සටනින් පරාජයට පත් වෙමින් පවතින බවත් සඳහන් කරමින් මෙම සමාජ මාධ්‍ය සටහන් පල වී තිබුණා. 

මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් පළවී තිබු අතර ඒ ගැන කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

Transparency International -CPI (දූෂණ සංජානන දර්ශකය)

රාජ්‍ය අංශයේ දූෂණය පිළිබඳ ලොව පුරා බහුලව භාවිතා වන ශ්‍රේණිගත කිරීමක් ලෙස සැලකෙන දූෂණ සංජානන දර්ශකය – CPI (Corruption Perception Index), ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලැබේ. විශේෂඥයින් සහ ව්‍යාපාරිකයින්ට අනුව, එම වාර්තාව ඔස්සේ රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම් අනුව රටවල් සහ ප්‍රදේශ 180ක් ශ්‍රේණිගත කරනු ලබන අතර මෙම දර්ශකය 0 සිට 100 දක්වා පරිමාණයන් ඒ සඳහා භාවිතා කරන ලැබේ. 0: අධික ලෙස දූෂිත සහ 100: ඉතා පිරිසිදු යනුවෙන් දක්වනු ලැබේ.

Transparency International ආයතනය විසින් අවසන් වරට නිකුත් කර තිබෙන CPI වාර්තාව 2024 වර්ෂයට අදාළ ය, 2025 සඳහා මෙතෙක් වාර්තාවක් පළකර නැහැ

Transparency International ආයතනය විසින් 2024 වර්ෂයට අදාල CPI වාර්තාව 2025 පෙබරවාරි මස 11 වන දා නිකුත් කර ඇති අතර මේ වන විට අවසන් වරට නිකුත් කර ඇති CPI වාර්තාව ලෙස එම වාර්තාව Transparency International ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙලෙසින්

ඒ අනුව එලෙස අවසන් වරට පළකර තිබෙන 2024 වසර සඳහා දූෂණ සංජානන දර්ශක අගයන්හි දැක්වෙන්නේ 2023 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අගය, දර්ශක දෙකකින්, එනම් 34 සිට 32 දක්වා අඩුවී ඇති බව දැකගනන්ට ලැබෙනවා.

මෙම අගය, ගෝලීය සාමාන්‍යට ද වඩා අඩු අගයක පවතින අතර ගණනය කිරීම සඳහා සලකා බලා ඇති රවටල් සහ ප්‍රදේශ 180න් ලංකාව ලබා ඇත්තේ 121 වැනි ස්ථානයයි. 

එසේම මෙහි පැරණි වාර්තා ද අප පරික්ෂා කළ අතර 2012 දී ශ්‍රී ලංකාවේ CPI අගය 40 ක තිබු අතර එය ඉන්පසු වසර වලදී අඩුවීමක් ඇති වී බව දැක ගන්නට ලැබෙනවා. 2020 දී 38ක් වූ මෙම අගය ඉන්පසුව ක්‍රමයෙන් අඩු වී 2023 දී 34 ක් සහ අවසාන වශයෙන් 2024 දී 32 දක්වා අඩු වී ඇති බව දැක ගන්නට ලැබෙනවා. 

කෙසේවෙතත් 2025 වසර සඳහා මෙහි වාර්තාවක් පළවී ඇති අයුරු දැක ගන්නට නොලැබෙන බැවින් සහ Transparency International CPI දර්ශකය තුළ ඉංග්‍රීසි හෝඩියේ අකුරු අකුරු ශ්‍රේණි භාවිතා නොකර එය 0-100 පරිමාණයෙන් පුර්ණ සංඛ්‍යා ලෙස සංඛ්‍යාත්මකව ලකුණු පමණක් ප්‍රකාශයට පත් කෙරෙන බැවින්, අප මේ පිළිබඳව වැඩිදුර කරුණු පරීක්ෂාවක් සිදුකළා.

Transparency International සන්නිවේදන සහ සන්නාම කළමණාකරු

මේ සම්බන්ධයෙන් අප Transparency International Sri Lanka ආයතනයේ උපායමාර්ගික සන්නිවේදන සහ සන්නාම කළමණාකරු කසුන් සංකල්ප මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ 2025 වර්ෂයට අදාළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්හි CPI වාර්තාව (Corruption perception Indicator) තවමත් නිකුත් වී නොමැති බවයි.

2025 වසරට අදාළ වාර්තාවේ අවසන් අදියරේ කටයුතු සිදු වෙමින් පවතින බවත්, එසේ නිකුත් කිරීමට නියමිත CPI වාර්තාව, 2025 වසරට අදාලව නවතම යාවත්කාලීන කිරීම් සහිත වාර්තාව වන බවත්, එම වාර්තාව ඉදිරියේදී පල කරනු ඇති බවත් ඔහු සඳහන් කළා. 

ඒ අනුව World Economics විසින් පල කර තිබෙන CPI දර්ශකය, 2024 වර්ෂයේ දත්ත මත පදනම් වී සකස් කර තිබිය හැකි අතර ඒ සම්බන්ධයෙන් Transparency International ආයතනයට වගකීමක් ගත නොහැකි බවත් ඔහු සඳහන් කළා. 

World Economics හි වාර්තාව

Transparency International ආයතනය මගින් වාර්ෂිකව නිකුත් කරන දූෂණ සංජානන දර්ශකයේ දත්ත මුලික වශයෙන්ම පාදක කරගනිමින්, එක්සත් රාජධානිය පදනම් කරගත් පර්යේෂණ සංවිධානයක් වන “World Economics” විසින් දූෂණ සංජානන දර්ශකයක්, “Corruption Perception Index” (CPI), ප්‍රකාශයට පත්කරනු ලබනවා. 

World Economics විසින්, Transparency International අවසන් වරට නිකුත් කර ඇති 2024හි CPI දත්ත යොදාගනිමින් සකස් කරන ලද ගෝලීය දූෂණ සංජානන දර්ශකයේ 24.7 යන අගය ඔස්සේ “D ශ්‍රේණිය” යටතේ ශ්‍රී ලංකාව දක්වා ඇත. එම දර්ශකය මෙතනින්. මෙය 2024 වර්ෂයට සාපේක්ෂව පහත වැටීමකි. 

කලාපිය අනෙකුත් රටවල් හි මෙම අගයන් පරික්ෂා කිරීමේ දී ද ඉන්දියාව සහ නේපාලය ලංකාවට මදක් ඉහළින් හොඳ අගයක සිටින අතර පකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ලංකාවට පහළ අගයක සිටිනවා.

මේ දිනවල හුවමාරු වන්නේ 2025 වසරේ මුල භාගයේ දී පළකර තිබු වාර්තාවක්!

කෙසේවෙතත් ඉහත වාර්තාව මෑතක දී පළකරන ලද්දක් බව සමාජ මාධ්‍ය සටහන්හි හඟවා තිබු බැවින් අප World Economics විසින් දත්ත ලබා දී ඇති සබැඳියේ අතීත වාර්තා (Archives) ද පරික්ෂා කළ අතර එහිදී තහවුරු වියේ 2025 වසරේ මුල් භාගයේ සිටම, මෙම වාර්තාව අදාළ සබැඳියේ තිබු බවයි.

2025 April Archive

ඒ අනුව මෙය World Economics විසින් මෑතක දී පළකර තිබු වාර්තාවක් නොවන බවත්, 2025 පෙබරවාරි මස, 2024 වසර සඳහා Transparency International ආයතනය එළි දැක්වූ වාර්තාවේ දත්ත මත පදනම් කර ගනිමින්, ඊට දින කිහිපයකට පසුව යාවත්කාලින කර තිබු වාර්තාවක් බවයි.

මීට පෙර World Economics හි පළ කිරීම් සමඟ පරික්ෂා කිරීමේ දී ද මෙය සමාන වන අතර, TI වර්තාව පළකර දින කිහිපයකින් පසුව ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කර තිබු බව අපගේ පරික්ෂාවේ දී පැහැදිලි වුණා.

කෙසේ නමුත් 2024 Transparency International දත්ත යොදාගනිමින් සකස් කළ ද World  Economics විසින් Level of Corruption Perception (2025) ලෙස ඔවුන්ගේ දත්ත පළකර තිබෙන බැවින් ඇතිව තිබු මේ පටලැවිල්ල ගැන අප එම ආයතනයෙන් විමසීමක් සිදුකළ අතර ඒ අනුව මෙම වාර්තාව යාවත්කාලින කිරීමට ද බලාපොරොත්තු වෙමු.

Transparency International සහ World Economicsහි දත්ත

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් World economics හි අතීත සංඛ්‍යාලේඛන පරික්ෂා කිරීමේ දී ද එය Transparency International හි අගයන්ට සමානුපාතික ව විචලනය වී ඇති බව දැක ගත හැකිය. එක් එක් වසරවලදී ශ්‍රී ලංකාවට හිමි වූ ස්ථානය සහ අගය මෙලෙස දැක්විය හැකිය.

වසරTransparency International හි අගයWorld Economics හි අගයන්වර්ගීකරණය (World Economics)ගෝලීය ශ්‍රේණිගත කිරීම (TI)ගෝලීය සාමාන්‍ය අගයට සාපේක්ෂව ලංකාවේ අගය (TI)
20153728.6C83rd-6 points
20163627.8C95th-7 points
20173829.3C91st-5 points
20183829.3C89th-5 points
20193829.3C93rd-5 points
20203829.3C94th-5 points
20213728.6C102nd-6 points
20223627.8C115th-7 points
20233426.2C115th-9 points
20243224.7D121st-11 points

ඒ අනුව පැහැදිලි වන්නේ ද මෙම දර්ශක දෙක සමානුපාතිකව වෙනස්වන බවත්, 24.7 අගයට පහත වැටි ඇති බව පෙන්වමින් හුවමාරු වන අගයේ ද මීට පෙර අගය වන්නේ 26.2 මිස 32ක් නොවන බවත් 32 වන්නේ Transparancy International හි 2024 වෙනුවෙන් ලංකාව ලබා ගෙන ති අගය බවත්, එය 34 සිට 32 දක්වා 2023 සිට 2024 ට පහත වැටී ඇති බවයි.

World Economics සහ Transparency International හි පසුගිය වසර කිහිපය සඳහා ශ්‍රී ලංකාවේ අගයන් වෙනස් වී තිබු අයුරු පහතින්. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ දූෂණය අතින් ශ්‍රී ලංකාවට 24.7 ක අගයක් ලබා ගෙන තිබෙන්නේ 2025 වසර වෙනුවෙන් World Economics විසින් මෑතක දී පළකර තිබු වාර්තාවකින් නොව, 2024 වසර සඳහා Transparency International ආයතනය පල කර තිබෙන CPI වාර්තාවේ දත්ත මත පදනම්ව නිර්මාණය කර ඇති දර්ශකයක් මගින් ලබාගත් අගයක් බවයි. එම වාර්තාව 2025 වසරේ මුල් භාගයේ සිටම පළකර තිබෙනවා.

එසේම World Economics අවසන් වාර්තාව අනුව ද 24.7 ක අගයට ලංකාව පතතට වැටී තිබෙන්නේ 32 සිට නොව ඊට පෙර World Economics හි ලංකාව වෙනුවෙන් වූ CPI අගය වන 26.2 සිට ය.

2025 වසරට අදාල Transparency International ආයතනය විසින් පල කරන CPI වාර්තාව තවමත් නිකුත් වී නොමැති අතර එය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව Transparency International Sri Lanka හි සන්නිවේදන සහ සන්නාම කළමණාකාරීත්වය විසින් තහවුරු කළා. ඒ අනුව එම දත්තවලට අදාළ World Economics දර්ශකන් එලි දැක්වෙනු ඇත්තේ ඉන්පසුව වන අතර 2025 දූෂණය සංජානන අගයන් පරික්ෂා කළ හැක්කේ ඉන්පසුවයි.

Avatar

Title:2025 වසරේදී දූෂණය අතින් ශ්‍රී ලංකාව තවත් පහලට වැටිලා ද ?

Fact Check By: Pavithra Hansani 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *