අවස්ථාවක් ලැබුණොත් සජිත් සමග එක්වන බව නාමල් ප්‍රකාශ කළාද? 

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දේශපාලනඥයින් විවිධ අවස්ථාවලදී සිදු කරන ප්‍රකාශවලට වැරදි අර්ථ කථනයන් ලබා දෙමින් සහ ඇතැම් නිශ්චිත නොවන ප්‍රකාශ සඳහා නිශ්චිත බවක් ආරෝපණය කරමින් ඒවා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින අවස්ථා නිරතුරුව දැකගත හැකියි.  මේ එලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.   

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අවස්ථාවක් ලැබුණ හොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්වන බවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇතැයි, කියමින් පහත සටහන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. නාමල් – සජිත් සමීපව ඉඳගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමගින් මෙම සටහන පළ කර ඇත්තේ, දමිළ භාෂාවෙනි. 

Facebook | Archived Link

මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීම සඳහා අප මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානාගත විය යුතු බවට වන සමාජ සංවාදයක් පසුගිය සමයේ ඇති රට තුළ ඇතිව තිබූ නමුත් මේ දක්වා එවැනි සන්ධානගතවීමක් සිදුව නොමැත. අවස්ථාවක් ලැබුණු හොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇතැයි, කියමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ එවැන් වටපිටාවක් තුළයි. 

දේශපාලනික වශයෙන් සියලු දෙනාගේම අවධානය යොමු වන මෙවැනි  ප්‍රකාශයක් මන්ත්‍රීවරයා විසින් සිදු කර තිබුණේ නම්, ප්‍රධාන ධාරාවේ පුවත් විකාශයන්හි ඒ සඳහා විශේෂ තැනක් වෙන් කර තිබිය යුතු ය.  ඒ අනුව අවස්ථාවක් ලැබුණ හොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්වන බවට වන ඝෘජු ප්‍රකාශයක් නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකර තිබේදැයි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා. නමුත් මන්ත්‍රීවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවක් තහවුරු නොවී ය. 

ඒ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබේදැයි පරීක්ෂා කර බැලීම සඳහා අප මන්ත්‍රීවරයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් (Facebook සහ X ගිණුම) ද පරීක්ෂාවට ලක් කළා. සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවක් එහිද දැකගත නොහැකි විය.  

කෙසේ වෙතත් අප තවදුරටත් සිදු කළ කරුණු සොයා බැලීමේදී මෙම සමාජ මාධ්‍ය සටහන සඳහා පාදක වන්නට ඇතැයි අනුමාන කළ හැකි ප්‍රකාශයක්  නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පසුගිය 31 වනදා සිදු කර ඇති බවට දැකගතහැකි විය. කිරින්ද පුහුල්වැල්ල ශ්‍රී වර්ධනාරාමයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කර තිබූ අතර මන්ත්‍රීවරයා ඊට මෙලෙස පිළිතුරු දී තිබුණා. 

මාධ්‍යවේදියා: විපක්ෂ නායකතුමා කියලා තියෙනවා ආණ්ඩුව පිහිටුවනවා කියලා එතුමන්ලා ඒ ගැන මොකද හිතන්නේ? 

මන්ත්‍රීවරයා: විපක්ෂයේ බලවේගයක් විදිහට ඕනෑම වෙලාවක අවශ්‍යතාව අනුව ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි විපක්ෂ නායකතුමාගේ වගකීම. 

මාධ්‍යවේදියා:  ඔබතුමත් සහය දෙනවා ද ඒකට 

මන්ත්‍රීවරයා: එතුමන්ලාට ඒ අවස්ථාව ලැබුණොත් අපි බලමු. කොහොමත් දේශපාලන තීන්දුවක් අපි ගන්න ඕන. 

මාධ්‍යවේදියා: එවැනි ආණ්ඩුවක් ආවොත් ඔබතුමා අග්‍රාමාත්‍ය ධුරයට යනවද? 

මන්ත්‍රීවරයා: එවැනි ආණ්ඩුවක් එනවද නැද්ද කියන එක කාලය විසින් විසඳන්න ඕන හැබැයි. තනතුරු තානාන්තරවලට දේශපාලනය කරන න්‍යායක් අපි ළඟ නෑ. අපි ජනතාව වෙනුවෙන් දේශපාලනය කරනවා. මන් හිතනවා මේ ආණ්ඩුව ලව්වා අපිට ගොඩාක් වැඩ ගන්න තියෙනවා. ඒ වැඩටික ගන්නත් ඔ්නා.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙහිදී මාධ්‍යවේදීයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවන බවට ප්‍රකාශයක් සිදු කර නොමැත. ඔහු පවසන්නේ,විපක්ෂයට ආණ්ඩු පිහිටු වීමට අවස්ථාව ලැබුණොත්, ඒ සඳහා සහය දක්වනවාද නැද්ද යන්න බලන බවයි. යනුවෙනි. මෙය ද මන්ත්‍රීවරයා විසින් සිදුකළ හුදකලා ප්‍රකාශයක් නොව අතර එය මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට ලබා දුන්  නිශ්චිත නොවන පිළිතුරකි. 

මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව සිදුකළ අදහස් පළ කිරීම අනුව ද පොදුජන පෙරමුණ විපක්ෂ නායකවරයා සමග සන්ධානගතවීමේ කිසිදු සූදානමක් නොමැති බව තවදුරටත් තහවුරු වේ. එහිදී මහලේකම්වරයා පවසන්නේ, සජිත් ප්‍රේමදාස මහතාට පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති බවයි. තවද පොදුජන පෙරමුණෙන් සිය ප්‍රතිපත්ති මත පදනම් වූ අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව ද මහලේකම්වරයා එහිදී පවසයි. 

පොදුජන පෙරමුණු ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ

 සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සටහන්වල නිර්වද්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ද මේ පිළිබඳව විමසා සිටියා. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල සත්‍යතාවක් නොමැති බවත් ඉදිරි මැතිවරණ පිළිබඳ අදහස් පළ කිරීමට තමවත් කල් වැඩි බවත් මන්ත්‍රීවරයා අප කළ විමසීමේදී කියා සිටියා. වැඩිදුරටත් අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, අනාගත සන්ධානගතවීමක් සම්බන්ධව මෙම අවස්ථාවේ කිසිදු තීරණයක්  ද ගෙන නොමැති බවයි. 

සමගි ජන බල වේගයේ මාධ්‍ය අංශය 

මේ අතර සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් නිර්වද්‍යතාව පිළිබඳව අප සමගි ජන බලවේග මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළා. මාධ්‍ය අංශය කියා සිටියේ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමග ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට කිසිදු සැලැස්මක් සිය පක්ෂයට නොමැති බවයි. ඒ හා සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවත් සමගි ජන බල වේගයේ මාධ්‍ය අංශය තහවුරු කර කියා සිටියා.  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අවස්ථාවක් ලැබුණ හොත් ඔහු සමග එක්වන බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. 

කෙසේ වෙතත් මාතර පැවති වැඩසටහනකින් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් පිහිටවුව හොත් ඊට සහය ලබා දෙන්නේ දැයි, මාධ්‍යවේදියෙකු නැගූ පැනයට නාමල් මන්ත්‍රීවරයා එතුමන්ලාට ඒ අවස්ථාව ලැබුණොත් අපි බලමු යනුවෙන් පමණක් ප්‍රකාශයක් සිදු කර තිබේ. එමගින් සජිත් සමග එක්වන බවක් ප්‍රකාශ නොවේ.  

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන නාමල් රාජපක්ෂ මහතා සිදු කළ ඉහත ප්‍රකාශය විකෘති කර සමාජය නොමග යවන සුළු ආකාරයෙන් සිදු කරන ලද පළ කිරීමක් බව පැහැදිලි වේ.

Avatar

Title:අවස්ථාවක් ලැබුණොත් සජිත් සමග එක්වන බව නාමල් ප්‍රකාශ කළාද? 

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *