දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් සිදු කරන ලද බවට වන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරු වී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ලසිත් මාලිංග කියන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජනතාව මුලා කරමින් ක්‍රීඩා කඳවුරු පවත්වන්නේ අනාගතයේ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න – ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති – සුනිල් කුමාර ගමගේ” යනුවෙන් දැක්වෙන සටහනක් සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණේ මෙලෙසින්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විසින් වේගපන්දු යවන්නන්ගේ කුසලතා සෙවීමේ වැඩසටහනක් දියත් කර ඇති අතර ඒ සඳහා 3,500 කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව දක්වමින් සටහනක් ඔහුගේ නිල ෆේස්බුක් පිටුව තුළ දක්වා තිබුණේ මෙලෙසින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද, මෙම වැඩසටහන සදහා ලසිත් මාලිංග සමග එක් වී තිබුණා. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ක්‍රීඩා කඳවුරු පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් බව පවසමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වන්නේ මෙවන් පසුබිමක වීම විශේෂත්වයක්.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සම්බන්ධයෙන් සිදුකළ මෙවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරාවන් ඔස්සේ වාර්තා කර ඇත් ද යන්න පරීක්ෂා කළත් එවැනි වාර්තා කිසිවක් හමුවුණේ නැහැ.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා විසින් මෑතකාලීනව සිදු කර ඇති ප්‍රකාශ
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා විසින් මෑතකාලීනව සිදු කර ඇති ප්‍රකාශ මොනවා ද යන්න සම්බන්ධයෙන් අප විසින් අවධානය යොමු කළා. මාර්තු මස 05 වන දා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡාව තුළදී ද මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇති බවක් හඳුනාගන්නට ලැබෙන්නේ නැහැ. අදාළ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා විසින් සිදු කර ඇති විශේෂ ප්‍රකාශය මෙතනින්.
මාධ්‍ය ලේකම් – ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
අප මේ සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන්ද විමසීමක් කළ අතර එහිදී තහවුරු වූයේ අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන බවත් ය.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා විසින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සම්බන්ධයෙන් සිදු කළ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බව දක්වමින් සටහනක් අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව තුළ පල කර තිබුණේ මෙලෙසින්.

දසත News ලාංඡනය යොදා ගනිමින් නිර්මාණය කළ පෝස්ටුවක්
අදාල සමාජ මාධ්‍ය සටහනෙහි දසත News ලාංජනය දිස් වීම හේතුවෙන් අදාල සටහන දසත News හි පලවූවක් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළ අතර, අදාල දසත News ෆේස්බුක් පිටුව තුළ එවැනි සටහනක් දැකගන්නට ලැබුණේ නැහැ. දසත News විසින් මේ සම්බන්ධයෙන් සටහනක් පල කරමින් තහවුරු කර ඇත්තේ අදාල සටහන දසත News මගින් නිර්මාණය කර හෝ පල කර ඇති සටහනක් නොවන බවත් වෙනත් පාර්ශවයක් විසින් දසත News ලාංඡනය අවභාවිතා කරමින් නිර්මාණය කරන ලද්දක් වන බවයි. එම සටහන මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ජනතාව මුලා කරමින් ක්‍රීඩා කඳවුරු පවත්වන්නේ අනාගතයේ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීම සඳහා බවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ප්‍රකාශ කර ඇති බව දක්වමින් හුවමාරු වන සටහන අසත්‍ය බවයි. අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් සහ අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පල කරමින් තහවුරු කර ඇත. එසේම අදාල සටහන දසත News ලාංජනය අවභාවිතා කරමින් නිර්මාණය කරන ලද සටහනක් බව දසත News විසින් තහවුරු කර තිබෙනවා.


