
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මේ දිනවල තරගාවලියක් සඳහා ලංකාවට පැමිණ සිටින, නිමාවුණු IPL තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්‍යවන්ශීව ඇගයීමට ලක් කරමින් සම්මානයක් පිරිනමා ඇති බවට දැක්වෙන බවට වයිරල් වූ, නමුත් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ව්‍යාජ සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :

අදාළ සටහන, විවිධ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පළ කර තිබූ අතර, ක්‍රිකට් රසිකයන් විසින් බහුලව එය හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.

ඒ අනුව සැබෑ ලෙසම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්‍යවන්ශී, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතින් ඇගයීමට පාත්‍ර වී ඇද්ද යන්න පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා.
Fact check (කරුණු විමර්ශනය කිරීම)
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ 15 හැවිරිදි ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්යවංශී, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතින් විශේෂ සම්මානයක් ලබන ආකාරයයි. වෛභව්, 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී Orange Cap සම්මානය ඇතුළු වාර්තා රැසක් තබමින් ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනාගත් දක්ෂ පිතිකරුවෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා A, ඉන්දියා A සහ ඇෆ්ගනිස්ථානය A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වීමට වෛභව් සූර්යවංශි ඇතුළු ඉන්දීය ක්‍රිකට් A කණ්ඩායම 2026 ජූනි 05 වනදා ශ්‍රී ලංකාවට පැමිණියා. මෙම තුන්කොන් එක්දින තරගාවලිය 2026 ජූනි 9 සිට ජූනි 21 දක්වා දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ජූනි 9 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන A කණ්ඩායම් තුන්කොන් තරගාවලියට වෛභව් සූර්යවංශිගේ පැමිණීමත් සමඟ ඇති වී තිබෙන ඉහළ මාධ්‍ය ආකර්ෂණය පිළිබඳව ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්යවංශී සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් සිදුව නැහැ.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු මෙරට අග්‍රාමාත්‍යවරිය අතින් එලෙස ඇගයීමකට පාත්‍ර වූයේ නම්, ඒ සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ මෙන්ම, ඉන්දීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා තුළත්, නිල විශ්වාසනීය මූලාශ්‍ර ඔස්සේත් ඒ සම්බන්ධයෙන් වාර්තාකර තිබිය යුතුයි. නමුත් අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ, ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ කිසිදු නිල විශ්වාසනීය පුවත් මූලාශ්‍රයක් විසින්, ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්යවංශී, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතින් විශේෂ ඇගයීමකට පාත්‍ර වූ බවක් හෝ එවැනි හමුවක් සිදු වූ බවට වාර්තා කර තිබුණේ නැහැ.
අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය අංශය
අදාල ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මාධ්‍ය අංශය විසින් තහවුරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය සහ සටහන අසත්‍යයක් බවයි. ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්‍යවන්ශි සහ ශ්‍රී ලංකා අමාත්‍යවරිය අතර හමුවක් සිදුවී නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් තහවුරු කළා.
කෘතිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කළ ඡායාරූපයක්
වෛභව් සූර්යවංශී සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් සිදුවූ බවට කිසිදු වාර්තාවක් නොමැති බැවින්, අදාළ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමුකිරීමට කටයුතු කළා. එහිදී මෙම ඡායාරූපය සැබෑ එකක් නොවන බවත්, එය කෘතිම බුද්ධිය භාවිතයෙන් සකස් කරන ලද ව්‍යාජ රූපයක් බව තහවුරු වුණා.




අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්‍යවන්ශී, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් ඇගයීමට පාත්‍ර වූ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බවයි. අදාළ ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇත. ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්‍යවන්ශි සහ ශ්‍රී ලංකා අමාත්‍යවරිය අතර හමුවක් සිදුවී නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් තහවුරු කළා.


